Home » අවදානම හැඳින මී උණ රෝගය පරදමු

අවදානම හැඳින මී උණ රෝගය පරදමු

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

කලින් කලට විවිධ රෝග පැතිර යෑම අරුමයක් නොවුණත් එවැනි රෝග වසංගත තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුව ජනතාව දැනුම්වත් කරමින් සිටී. මේ දිනවල ඩෙංගු උණ රෝගයට අමතරව මී උණ ද මෙරට ජනතාවට පීඩා කරමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරන පරිදි 2023 වසරේ පමණක් මෙරටින් හඳුනා ගත් මී උණ රෝගීන් සංඛ්‍යාව 9,000 ඉක්මවා ඇති අතර, සිදුවී ඇති මරණ සංඛ්‍යාව 200කි. මේ වසරේ මේ දක්වා හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කුමුදු වීරකෝන් පැවැසුවාය.

වැලඳෙන්නේ කොහොමද?

මී උණ යනුවෙන් සුලබ ලෙස හඳුන් වන්නේ Leptospirosis රෝග තත්ත්වයයි. නාගරික ජනතාවට මී උණ තරමක් විරල රෝගයක් වුවත් කෘෂිකාර්මික කටයුතුවල නිරත ගොවි ජනතාවට නම් එය සුලබ රෝගයකි. මෙම රෝගයට ප්‍රධාන හේතු කාරකය වන්නේ Leptospira interrogans නමැති ස්පයිරෝකීට් (spirochetes) වර්ගයට අයත් බැක්ටීරියාවකි. ශ්‍රී ලංකාවේ වසර පුරාම මී උණ රෝගය වාර්තා වුවත් මාර්තු සිට මැයි මාසය දක්වාත් ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වාත් යම් වැඩි වීමක් පෙන්නුම් කරයි. ඊට හේතුව එම කාල මෝසම් වැසි සක්‍රිය කාලය සහ ගොවීන් යල සහ මහ කන්නය ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරත වන කාලය වීමය.

අවදානම වැඩි කාටද?

වී ගොවිතැන ආශ්‍රිතව මඩ සහ ජලය ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටින ගොවීන්, ගංවතුරට මුහුණදී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රිතව වෙනත් රාජකාරි කටයුතුවල නිතරව සිටින්නන්, පතල් ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිත රැකියා කරන්නන් මී උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමට ලක්වන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කුමුදු වීරකෝන් සඳහන් කළාය. එපමණක් නොව කැපුම් තුවාල හරහා පමණක් නොව දිලීර ආසාදන තුවාල හෝ කකුල් පැලීම් හරහා ද බැක්ටීරියාව ශරීරයට ඇතුළු විය හැකි බව ද ඇය පැවැසුවාය.

රෝග ලක්ෂණ

තද උණ, තදබල මස්පිඬු වේදනාව, ඇස් රතු වීම යනාදිය මී උණ රෝග ලක්ෂණ වන අතර, ඒ සමඟ වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමඟ ලේ පිටවීම, මුත්‍රා පිටවීමේ අඩුකම වැනි රෝග ලක්ෂණ ද ඇති විය හැකි බව ඇය පැවසීය. මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වාගත හැකි බවත් එසේ නොවුණහොත් වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකිය. කුඹුරු හා ජලය ආශ්‍රිත රැකියා සඳහා යොමුවන පිරිසට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රතිජීවක ඖෂධ දෙන අතර, ඒ අනුව තමන්ගේ ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මඟින් අදාළ ප්‍රතිජීවක ඖෂධ නොමිලේ ගත හැකිය.

“කුඹුරට, මඩට බහින්නට පෙර සතියකට පෙරත් ඉන්පසුව සති පහක් යනතුරු මී උණ වැළැක්වීම සඳහා ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගයෙන් ආරක්ෂා විය හැකිය. එම ඖෂධ වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාගත යුතු අතර, එසේ නොමැතිව හිතුමනාපෙට ෆාමසියෙන් මිලදී ගෙන පාවිච්චි කිරීම නොකළ යුතුයි. විශේෂයෙන්ම මී උණ රෝගය වැලඳුණහොත් ගොඩවෙදකම් කරමින් කාලය නාස්ති කර මරණය කැඳවා නොගන්නා ලෙසත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කුමුදු වීරකෝන් වැඩිදුරටත් එසේ ද පැවසුවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division