Home » රටේ ශ්‍රම බලකාය බල ගන්වන වෘත්තීය පුහුණු අධිකාරිය.. VTA

රටේ ශ්‍රම බලකාය බල ගන්වන වෘත්තීය පුහුණු අධිකාරිය.. VTA

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

තරුණ වියට එළඹීමත් සමඟින් තරුණ ප්‍රජාවට අවැසි මූලික අවශ්‍යතාවක් වන්නේ සුදුසු රැකයාවක්, වෘත්තියක් ලබා ගැනීමයි. මේ සඳහා විවිධ වූ පාඨමාලා ඇති අධ්‍යාපන ආයතන සඳහා යොමු වුවද නොමිලේ (ඇතැම් පාඨමාලා) ලබා ගත හැකි වටිනා අවස්ථාවක් වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් ලබා දෙන බව නොදන්නා පිරිස් සහ එමඟින් ලබා ගත හැකි අවස්ථා ගැන නිසි අවබෝධයක් නොමැති පිරිස් තවමත් මේ සමාජයේ සිටිති. මේ වෘත්තීය පුහුණු අධිකාරිය පිළිබඳ තොරතුරු ඔබට, ඔබගේ දූ දරුවන්ට, මිතුරු මිතුරියන්ට ලබා ගත හැකි අවස්ථා ගැන වූ දැනුම්වත් කිරීමකි.

වෘත්තීය පුහුණු අධිකාරිය 1995 අංක 12 පනතෙන් පිහිටුවාලීය. ඒ යටතේ දිවයින පුරා වෘත්තීය පුහුණු ආයතන 193ක් පවතී. ඒවා අතරින් NVTI – National Vocational Training Institutes 08ක් ඇති අතර, K tech එක ඉන් එක් අයතනයකි. ඊට අමතරව නාරාහේන්පිට, නියාගම ආදී ලෙස ස්ථාන 08ක මේ ආයතන පිහිටුවා ඇත. සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් පුහුණු ආයතන 22ක් ද පිහිටුවා තිබේ.

මේ සියලුම ආයතන මඟින් වසරකට ආසන්න වශයෙන් සිසු සිසුවියන් 35000ක් පමණ පුහුණු ශ්‍රමිකයන් ලෙස දේශීය හා විදේශීය ශ්‍රම වෙළෙඳපොළට මුදා හැරෙයි. වසරකට පාසලකට ඇතුළත් වන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 16%ක් පමණ වේ. මෙයට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විදෙස්ගත අධ්‍යාපනය සඳහා යන පිරිස 12%ක් පමණ ඉහත සිසුන් ප්‍රමාණයට එකතු වේ. ඊට අමතරව 50%ක් පමණ ප්‍රමාණයක් අ.පො. ස. සා/පෙළ සහ අ.පො.ස. උ/පෙළ විභාග වලින් පසුව උසස් අධ්‍යාපනය නොලබා ශ්‍රම වෙළෙඳපොළට එකතුවේ. මේ පිරිසට වෘත්තීය දැනුම ලබා දීම වෘත්තීය පුහුණු අධිකාරියේ ඉලක්කය ලෙස හැඳින්විය හැකියි. මේ මානව සම්පත, රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකි වන ලෙස ඔවුන්ට නිපුණතාවක් ලබා දීම වෘත්තීය පුහුණු අධිකාරියේ පරමාර්ථය ලෙස හැඳින්විය හැකියි.

“ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්“ යන්න වෘත්තීය පුහුණු අධිකාරියේ දැක්ම වන නිසා ඒ අනුව කටයුතු කිරීම සිදු වේ. මේ අනුව වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් සිසුන්ට හැකියාවක් ලබා දී, එම හැකියාවට සුදුසු අන්දමේ රැකියා සොයා දීමක් ද සිදු කෙරේ. මේ හැකියාව ලබා දීම සඳහා ආයතන 193ක ජාලයක ක්ෂේත්‍ර 18ක් ඔස්සේ පුහුණු පාඨමාලාවන් 103කට අධික සංඛ්‍යාවක් ලබා දීමට කටයුතු කරයි. මේ අනුව පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

වෘත්තීය යතුර ලෙසින් හඳුන්වන ක්‍රමවේදයක් ද මෙහිදී ක්‍රියාත්මක කරයි. එය අවශ්‍ය වූවන්ට, ලබා දෙන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීම මඟින් ආයතනය විසින් එම සිසුන්ට වඩාත් සුදුසු වන්නේ කුමන වෘත්තිය ක්ෂේත්‍රයක් ද යන්න නිර්ණය කළ හැකි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ සිසුවාගේ මනස වැඩකරන ආකාරය දැන ගැනීම සඳහා ප්‍රශ්න පෙළ ගස්වා තිබීමයි. ඒ අනුව ගැළපෙන ක්ෂේත්‍රයට සිසුවා යොමු කිරීම මඟින් වැඩි ඵලදායී වෘත්තීය පුහුණුවක්, නිපුණතා ශක්‍යතාවක් ඇති වේ. මේ පරීක්ෂණය මනෝමිතික පරීක්ෂණය (Psychometric Test) ලෙස හැඳින්වේ.

ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (National Vocational Qualification Framework) අප බොහෝ දෙනෙක් දන්නා NVQ ලෙස හඳුන්වන්නේ මෙයයි. NVQ 4 දක්වා සහතික පත්‍ර පාඨමාලා මට්ටම වන අතර NVQ 5 ඩිප්ලෝමා මට්ටමයි. උසස් ඩිප්ලෝමා මට්ටම NVQ 6 ලෙස හඳුන්වන අතර NVQ 7 මට්ටම උපාධිය වේ. K tech ආයතනයේ NVQ 6 මට්ටම දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. ඉන් පසුව මේ සිසුන්ට තමා කැමැති ආකාරයට දේශීයව හෝ විදේශීය ශ්‍රම වෙළෙඳපොළෙන් රැකියාවක් සොයා ගත හැකියි.

NVQ 5, NVQ 6 ලබා ගත් සිසුවෙකුට යම් ලෙසකින් උපාධිය දක්වා යාමට අවශ්‍ය යැයි හැඟේ නම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී මීළඟ අදියර සඳහා අවුරුදු තුනක පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් NVQ 7 මට්ටමේ උපාධිය (Bachelor of Technology) ලබා ගත හැකියි. මෙහි විශේෂත්වය වන්නේ වෘත්තීය සුදුසුකම් සහිතව උපාදියක් ලබා ගැනීමට හැකිවීමයි. මෙලෙසින් NVQ 7 උපාධිය ලබා ගත් සිසුවෙකුට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වී ඉදිරි අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරයටම ශාස්ත්‍රපති, ආචාර්ය උපාධි දක්වා අධ්‍යයන කටයුතු සිදු කිරීමේ අවස්ථාව ද පවතී.

පාඨමාලාවන් අනුව පාඨමාලා කාලය වෙනස් වන අතර, ආයතනික පුහුණුව ලබන කාලය හා 4 මට්ටම මාස 6 සිට අවුරුදු එකහමාර දක්වා විය හැකි අතර NVQ 3 හා 4 පාඨමාලා සඳහා අනිවාර්ය කර්මාන්තගත පුහුණුවක් ලැබිය යුතුය. හෝටල් ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවන්හි ප්‍රායෝගික පුහුණුව සඳහා අපි සිසුන් දිවයිනේ තිබෙන සුප්‍රසිද්ධ, ජනප්‍රිය හෝටල් හා ඒ හා සම්බන්ධ ආයතන වලට යොමු කරන අතර අනෙකුත් පාඨමාලා සදහා ද එම ක්ෂේත්‍රයන්හි ප්‍රසිද්ධ ආයතන වෙත යොමු කිරීම ද සිදු කරනු ලබයි. වෘත්තීය පුහුණු අධිකාරිය බොහෝ පෞද්ගලික ආයතන සමඟ රැකියා සැපයීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම මඟින් ඔවුන්ට අවශ්‍ය සේවකයන් මේ ආයතන හා වෘත්තීය පුහුණු ආයතනය එක්ව ගොඩනැගීම සිදු කරයි. මේ නිසා එම ආයතනවල ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට මෙන්ම පුහුණුවෙන් පසුව එම ආයතනවලම රැකියා ලබා ගැනීමටත් මේ අනුව සිසුන්ට හැකියාව ලැබේ. මේ නිසා වෘත්තීය පුහුණු අධිකාරියේ ආයතන මඟින් වෘත්තීය පුහුණුව ලබා ගන්නා සිසු සිසුවියන්ට ස්ථිරවම රැකියා අවස්ථා ලැබීම ද විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇති කළ තිරසර සංවර්ධන අරමුණු 18න් අටවැන්න වන්නේ සැමට යෝග්‍ය රැකියා සහ ආර්ථික සංවර්ධනයට දායක වීමේ සම අවස්ථා ඇති කිරීමයි. ඒ අනුව වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් සිදු කෙරෙන වැදගත් කාර්යයක් ලෙස දැක්විය හැක්කේ ‘සැමට සම අවස්ථා සැපයීම‘ යන අදහස ඔස්සේ ක්‍රියා කිරීමයි. රජයේ අරමුණ වන්නේ සියලුම පුද්ගලයන්ට ආර්ථිකයේ ක්‍රියාකාරී වීමට සම අවස්ථාවක් ලබා දීමයි. එය සාමාන්‍ය පුද්ගලයන්ට බොහෝ විට ලැබුණත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නොලැබී යන අයිතිවාසිකමකි.

මේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඕනෑම සමාජයක ජීවත් වේ. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ලෙස සැලකෙන්නේ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කථන ආබාධිත ඇති සිසුන් සදහා, ඔටිසම් සහිත තත්වයන් ඇති සිසුන් සඳහා නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාවන් පවත්වා ගෙන යනු ලබයි. මේ යටතේ කථන ආබාධිත සිසුන් සඳහා Graphic Designing – NVQ level 4 පාඨමාලාවක් ද, ඔටිසම් සිසුන් සඳහා Computer ICT NVQ level 2 පාඨමාලාවක් ද ඩවුන් සින්ඩ්‍රෝම් සිසුන් සඳහා Food & beverage NVQ level 3 පාඨමාලාවක් ද පවත්වනු ලබයි. Food & beverage පාඨමාලාව හදාරන සිසුන් සදහා ගල්කිස්ස මහ හෝටලයේ මේ වනවිට ප්‍රායෝගික පුහුණුව ලබා දීමට කටයුතුකර ඇති අතර ඔවුන්හට ගල්කිස්ස මහ හෝටලයේ රැකියා අවස්ථා ලබා දීමට එකඟතාවය පළකර ඇත.

බොහෝ ව්‍යාපාරික ආයතන මඟින් ඔවුන්ගේ ආයතන සමාජ වගකීම් (CSR) සපුරාලීමට මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම මොවුනගේ ඇති විශේෂත්වයක් වන්නේ තමා කරන කටයුත්තට දැඩි අවධානයක් යොමු කරමින් වඩාත් හොඳින් එය සිදු කිරීමට ඇති හැකියාවයි. මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ට අනෙක් පුද්ගලයන්ට මෙන්ම ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් වීමට වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් හැකියාව ලබා දීමට කටයුතුකර ඇත.

මෙයට අමතරව දිවයින පුරා ඇති අනෙකුත් වෘත්තීය පුහුණු ආයතන සඳහා සියලුම පාඨමාලාවන්ට එම සිසුන්ගේ කැමැත්ත පරිදි සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබේ. මේ සිසුන් සමඟ කටයුතු කිරීම සඳහා උපදේශකවරුන් 45 දෙනෙකුට විශේෂිත වූ පුහුණුවක් ද ලබා දී ඇත.

පරිවාසගතව සිටින දරුවන් සඳහාත් වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු කරයි. මෙහිදී ඔවුන්ට පරිවාසයෙන් පිටතට යාමට නොහැකි නිසා එම ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම මඟින් වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකවරුන් එම ආයතනවලට අනුයුක්ත කර මේ පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක කරනු ලබයි. රූපලාවණ්‍ය, කොණ්ඩා කැපීම, ජලනළ කාර්මික, විදුලි කාර්මික ශිල්පය වැනි පාඨමාලා ද ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම සහභාගී විය හැකි පරිදි ක්‍රියාත්මක වේ. මෙවැනි දරුවන් පරිවාසයෙන් පිටතට පැමිණි පසුව අසරණ වීම වළක්වා සමාජයට වැඩදායී, සමාජයේ ස්වාධීනව ජීවත්විය හැකි පිරිසක් කිරීමටත් රටේ ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් කිරීමටත් මේ අනුව හැකි වී තිබේ.

පුනරුත්ථාපනය කරන පිරිස් සඳහා ද වෘත්තීය පුහුණු පාඨමාලා ඇති අතර පුනරුත්ථාපන කඳවුරුවල ලබා දෙන පුහුණු පාඨමාලා වැඩි දියුණුකර ඒවාට NVQ සහතික ලබා දීමට ඉදිරියේදී සැළසුම් කර ඇත. සාමාන්‍ය සහතිකයකට වඩා NVQ සහතිකයකට ඇති වෙළෙඳපොළ වටිනාකම ඉතා ඉහළය. එමෙන්ම සිරකරුවන් සඳහා ද වෘත්තීය පුහුණු පාඨමාලා එම ආයතන වලට ගොස් ලබා දීම සිදු කරන නිසා මේ පුද්ගලයන් සාමාන්‍ය සමාජයට පිවිසෙන්නේ වෘත්තීය සුදුසුකම් සහිත පුද්ගලයන් ලෙසයි.

ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූ පුද්ගලයන්ට වසර 22ක සේවා කාලය සම්පූර්ණ කළ පසු විශ්‍රාම ගැනීමට හැකියාව ඇත. මෙසේ විශ්‍රාම ගියත් ඔවුන් රටේ ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ හැකියාවෙන් යුතු පිරිසක් වන නිසා ඔවුන්ට ද වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාවන් පවතී. මෙම ආරක්ෂක අංශ සඳහාම ක්‍රියාත්මක කරනු ලබන අප ආයතනය මගින් වත්තල රණවිරු සම්පත කේන්ද්‍රයේ හා අනුරාධපුර කලාවැව හමුදා කඳවුරු තුළ පවත්වාගෙන යනු ලබයි.

මේ සියල්ලට අමතරව පෙර දැනුම ඇගයීමේ ක්‍රියාවලිය (RPL) යන ක්‍රමවේදය ඔස්සේ දැනටමත් කිසියම් වෘත්තියක නියැලී සිටින නමුත් විධිමත් සහතිකයක් නොමැති අදාළ වෘත්තිය‍ සඳහා අවශ්‍ය නිපුණතා සපුරා සිටින පුද්ගලයන්ට තමාගේ නිපුණතාවය සහතික කරගැනීම මගින් NVQ සහතිකයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද වෘත්තීය පුහුණු අධිකාරිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී අදාළ පුද්ගලයා විසින් සපුරාලිය යුතු නිපුණාතාවයන්හි කිසියම් හිඩසක් පවතීනම් අදාළ හිඩැස පිරවීම සදහා Gap filling programme ද වෘත්තීය පුහුණු අධිකාරිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. එමගින් අදාළ නිපුණතාව සම්පූර්ණ කර ගැනීමටත් ඉන් අනතුරුව NVQ සහතිකයක් ලබා ගැනීමටත් අවස්ථාව උදාකර ඇත.

විදේශසේවා නියුක්ති කාර්යාංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත. ඒ අනුව විවිධ රටවල්වල විදේශ රැකියා අවස්ථා සඳහා පුහුණු කිරීම් සිදු කිරීම ද, අදාළ ඇගයීම් සිදු කිරීමට ද වෘත්තීය පුහුණු අධිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඒකාබද්ධි වී ඇත. මේ ක්‍රමවේදය යටතේ ඊශ්‍රායලය වැනි රටවලට ශ්‍රමිකයන් යැවීමට හැකියාව ලැබී තිබේ. මෙහිදී නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම මඟින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා ගැනීමටත් හැකියාව ලැබේ.

ඇතැම් දරුවන් අ.පො.ස. සා/පෙළ විභාගයෙන් පසුව උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොලබයි. නමුත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් න්‍යායක් ලෙස උපාධියක් ලබා ගැනීම වැනි යමකට යොමු වීමේ දී 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාගෙන ඇතිදැයි පරීක්ෂාකොට බලයි. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා අ.පො.ස. සා/පෙළින් පසුව වෘත්තීය පුහුණු අධිකාරිය විසින් කෙරෙන වෘත්තිය පුහුණුවක් සඳහා අනුයුක්ත කරනු ලබයි. මේ සිසුන් පාසල් අධ්‍යාපනය ලබනවා හා සමානවම මේ පාඨමාලාව වසර 2ක කාලයක් හදාරන අතර මෙය පාසල මඟින්ම මේ දරුවන් නියාමනය කරයි. මේ සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය සක්‍රිය ලෙස දායක වේ.

මේ අනුව රටේ ශ්‍රම බලකාය බලගැන්වීම උදෙසා වෘත්තීය පුහුණු අධිකාරිය සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කරයි.

ඔබත් පාඨමාලාවක් හැදෑරීමට කැමතිනම් අදම VTA අමතන්න 011 7 270270, 011 7 277888

අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division