මම මේ මෑතක් වෙනකම් පොත්, පත්තර කියෙව්වා. දැන් ඉතින් මට පොත් කියවන්න අමාරුයි. ඩොක්ටර් කිවුවා ඇහැට කාච දැම්මොත් පෙනීම ගන්න පුළුවන් කියලා. ඒ නිසා මට මගේ ඇස්වලට කාච දාගන්න ඕනේ. එතකොට මට සාමාන්‍ය දැනීම පොත්, පත්තර ආයෙත් කියවන්න පුළුවන් වේවි.” මෙසේ කීවේ විභාගයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් සිටින අයකු නොවේ. ඔහු දැන් ගත කරමින් සිටින්නේ තම දිවියේ 104 වැනි වසරයි.
මේ තරම් වයස්ගත පුද්ගලයකු ඇස්වලට කාච දැමීමේ සැත්කමක් කර දෙන්න යැයි ඉල්ලා සිටි විට බොහෝ දෙනකු පුදුමයට පත්වනු ඇත. එවැනි සැත්කමක් කළ හැකි ද යන්නත් විමතියට කරුණකි. නමුත් පසුගිය නොවැම්බර් 23 වැනි දා එම සැත්කම සාර්ථකව සිදු කෙරිණි. සැක්කම සිදුකළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් පවසන්නේ ඔහුගේ සැත්කම ඉතාමත් සාර්ථක වූ බවයි.
ඔහු ශ්‍රී ලංකාවේ අක්ෂි කාච දැමීමේ සැත්කමක් සිදුකළ වයස්ගතම පුද්ගලයා විය යුතුය. මීට පෙර මෙතරම් වයස්ගත පුද්ගලයකුට කාච දැමීමේ සැත්කමක් කළ බවට ලිඛිත සාක්ෂියක් හමු වී නැත.
වයස අවුරුදු 104 ක් වන පුංචිඅප්පු විතාන, මාතර කොටවිල ප්‍රදේශයේ දරුවන් 07 දෙනකුගෙන් යුතු පවුලක හයවැනි දරුවා ලෙස 1921 ජූලි මස 23 වැනි දා උපත ලබා ඇත. එල්.කේ.සුමනාවතී සමඟ විවාහ වී පිටබැද්දර, හත්තොටුව ප්‍රදේශයේ පදිංචි වූ ඔවුන්ට දරුවන් 08 දෙනෙකි. ඔහු මේ වනවිට ගාල්ලේ, හපුගල සිය දියණියකගේ නිවසේ ජීවත් වෙයි.
සිය දරු මුනුබුරන් පිරිවරාගෙන ඉතාමත් සතුටින් කාලය ගත කරන ඔහු දැන් මීමුත්තා කෙනෙකි. දරුවන්ගේ දරුවන් ද විවාහ වී මවුපියන් වී ඇත. ඔවුන් සමඟ එක්ව අතීත සිදුවීම් සිහිපත් කරමින් කාලය ගත කිරීමට මහත් සේ ප්‍රියකරන පුංචිඅප්පු විතානගේ මතක ශක්තිය ද පුදුමාකාරය.
පැරණි ශ්ලෝක, ගී, කවි, සීපද ඔහුගේ මුවගින් නිකුත් වන්නේ නිතැතිනි. අතීතයේ තමන් ඇසූ දුටු දේ තම දරුවන්ටත් මුනුබුරු මිනිබිරියන්ටත් කියා දෙන්නට ඔහු කැමතිය. කෘෂිකර්ම නිලධාරියකු ලෙස රජයේ රැකියාවක නිරත වූ විතාන නිතරම පවසන්නේ අධ්‍යාපනය ජීවිතයේ ප්‍රමුඛතම කාර්යය කරගත යුතු බවයි. තම දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දීම මුඛ්‍ය පරමාර්ථය කරගත් ඔහු අදටත් සියලු නෑයන්ගේත් හිතවතුන්ගේත් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මඟ පෙන්වීම කරයි.
පුවත්පතක් ශත පහට මිල දී ගත හැකි කාලයේ සිට ඇස් පෙනීම අඩුවන තෙක් අඛණ්ඩව දිනපතා මෙන්ම සති අන්තයේ පුවත්පත් ද මිල දී ගෙන අකුරක් නෑර කියවීමට හුරුවී සිටි ඔහුගේ ප්‍රධානම විනෝදාංශය සාමාන්‍ය දැනීම පොත්පත් කියවීමයි.
“මම මේ සාමාන්‍ය දැනීම පොත් කියවන්නේ විභාගයට යන්න නෙවෙයි. මම ඒකට කැමතියි. මැරෙන තුරු ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න දේවල් කාටවත් ගන්න බෑ. මම ඉගෙන ගන්න දේවල් පොඩි අයට කියල දෙනවා. එයාලා මාව බලන්න ආවම ඒවා ගැන ප්‍රශ්න අහනවා.”
කිසි දිනක ජංගම දුරකතනයක් භාවිත කර නැති විතාන තමන් පොත පතින් කියවූ දෑ ජංගම දුරකතනය තුළින් දැක බලා ගැනීමට කැමැත්තක් දක්වයි. මීට අමතරව නොවරදවාම රූපවාහිනි පුවත් විකාශ නරඹයි. දාම් ක්‍රීඩාවේ යෙදීමට ප්‍රියකරන විතාන පරාජය කිරීමට පහසු නැත.
“කාච දැම්මාට පස්සේ වෙනදට වඩා හොඳට ඇස් පේනවා. දැන් මට නැවත පොත් කියවන්න පුළුවන්. ඒ නිසා මම හරිම සතුටින් ඉන්නේ.” විතාන කීවේය.
පුද්ගලික රෝහලක දී විතානට කාච දැමීමේ සැත්කම කළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මෙසේ කීවාය.
“මේ තරම් වයස්ගත මහත්මයෙක් ඇස් කාච දාන්න ඕන කියලා මා හමුවට ආවම මම ඇත්තටම පුදුම වුණා. හුඟක් අය මේ වයසේ දී පොත් පත් කියවන්න ඕන කියලා කියන්නේ නෑ. මම ඇස් පරීක්ෂා කළාම කාච දැමීමේ අවශ්‍යතාව තිබුණා. ඇස්වල වෙනත් ප්‍රශ්න මොනවත් තිබුණේ නෑ. ඒ වගේම එතුමාට වෙන රෝගී තත්වයන් තිබුණෙත් නැහැ. ඉතාමත් නීරෝගියි. කාච දැමූ විට පෙනීම දියුණු වෙන බව පැහැදිලි වුණු නිසා එතුමාගේ ඉල්ලීමට අනුව මම කාච දැමීමට තීරණය කළා. එක් ඇසක කාච දැමීමේ සැත්කම කළා. දැන් ඒ ඇස ඉතාමත් හොඳ තත්ත්වයේ තිබෙනවා. ඇස්වල වටිනාකම, දැනුමේ අවශ්‍යතාව දැනගෙන ඔහු ඉදිරිපත්වීම ඇත්තටම සතුටක්. අපේ ඇස් නීරෝගිව තබා ගැනීමට අප උනන්දු විය යුතු බවට විතාන මහත්මයා රටට ආදර්ශයක් දුන්නා.”
කරාපිටිය සමූහ- එස්. ලොකුකරවිට