ගොඩමඩ දෙකම සරුසාරය පළබරය
කටුරොද ගම්මානෙ තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
මේ අපූරු පද පෙළත් සමඟ අපගේ මතකයට නැෙඟන්නේ ප්‍රතිභාපූර්ණ කවියෙකු වූ සාගර පලන්සූරිය කිවිඳුන්ය.
සාගර පලන්සූරිය නාමයට වඩා ඔහු අපට සමීප වන්නේ කේයස් කී විටයි.
වර්ෂ 1908 මාර්තු 11 වන දින සබරගමුවේ කළල්ඇල්ල ගම් පියසේදී උපන් හෙතෙම පසුව කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි වූයේය.
එවකට කේයස් නමින් පුවත්පත් ගණනාවකට ලිපි සැපයූ ඔහු, පසුව සිවුරු හැරදා සාගර පලන්සූරිය ලෙස නිර්මාණ ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළේය.
ඒ අතර පිළිරුව, ධීවර ගීතය, විසිවුණ තරු, කැලණි විත්ති වැනි පද්‍ය කෘති සමාජයේ කීර්තියට ලක් විය.
භාරත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ආභාසය ලබාගත් ඔහු ප්‍රකට වූයේ කොළඹ යුගයේ සිංහල කවිය ගීතවත් සරල මඟකට යොමු කිරීමේ පුරෝගාමීයා ලෙසය.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අංශයේද කලක් සේවය කළ කේයස් මහතා වරක් නවදිල්ලි නුවර පැවති ආසියානු ලේඛක සම්මේලනයේ දී අප රට නියෝජනය කිරීමට ද වරම් ලැබුවේය.
ඉංග්‍රීසි බස හොඳින් හදාරා ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළ කේයස් පත්‍රකලාවේදියෙකු හා දක්ෂ විචාරකයකු ලෙස ද ක්‍රියා කළේය.
චතුර කථිකයෙකු වූ මෙතුමා දේශපාලනයට අවතීර්ණ වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රබල ලෙස සිංහල භාෂාව, සාහිත්‍ය මෙන්ම බුද්ධ දර්ශනය ගැන හඬක් නැගුවේය.
කවිය තුළින් ඉතාමත් සියුම්ව හැඟීම් ප්‍රකාශනය සිදු කළ කේයස් සිංහල කවිය නව මාවතකට රැගෙන ගිය කවියෙකි. ඔහු නිරායාසයෙන්ම ප්‍රකට වූයේ සිය නිර්මාණවලින් චිත්ත රූප මවා පෙන්වීමේ හැකියාව ඇති නිර්මාණකරුවකු ලෙසය.
ළමා සාහිත්‍ය හා ස්වභාව ධර්මය අලළා පොත් රාශියක් රචනා කළ ඔහු පැතිකඩ ගණනාවකින් ඉටු කළ නොනිමි මෙහෙවර අවසන් වූයේ 1961 ජුනි මස 22 වනදා වියෝවත් සමඟයි.
දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය,
මහරගම මධ්‍ය මහා විද්‍යාලය, මහරගම