පළමුවෙනි වතාවේදී මම උසස් පෙළ විභාගය හොඳටම ඇන ගත්තෙමි. ‘කුඩා කාලයේ දක්ෂයකුව සිට , ඒ ලෙවල් පළමුවැනි වතාවේ ඇන ගත්තෙ ඇයි’දැයි දරුවෝ මගෙන් ප්‍රශ්න කළහ. හරි ගිය තැන්වලට වඩා වැරදුණු තැන් දරුවන්ට කියාදීම සුදුසු යැයි මට කල්පනා විය.
උසස් පෙළ කාලයේ දී අධ්‍යාපන කටයුතුවලට වඩා මගේ උනන්දුව තිබුණේ විෂය බාහිර ක්රියාකාරකම්වලටය. පාසල් විවාද කණ්ඩායමේ වැඩවලටත්, නාට්‍ය චිත්‍රපට නැරඹීමටත් වැඩි කාලයක් ගතවිය. ඒ කාලයේ අපි සතියට වතාවක්වත් සෝවියට සංස්කෘතික මන්දිරයේ බිත්තියකට එල්ල කොට පෙන්වූ චිත්‍රපටි බලන්නට ගියෙමු. මහජන පුස්තකාලයේ පැවැති සාහිත්‍ය සංගීත සම්මන්ත්රණ එකක්වත් ඇරියෙ නැත.
මගේ මව්පියෝ බලා සිටියේ මා කවදා හෝ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන තෙක් ය. නමුත් මම පාසැල් කාලයේම වෛද්‍ය විද්‍යාලයට ගොස් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කැඳවා ගෙනවිත් පාසලේ දේශන සංවිධාන කළෙමි. ටියුෂන් පන්ති මඟහැර හයිඩ් පිටියේ වමේ දේශපාලන රැස්වීම්වල කතා අසා සිටියෙමු.
මම මේ සියල්ලක්ම දරුවන්ට නොවලහා හෙළි කළෙමි. කොළඹ මරදාන පාරෙන් හැරී ආනන්ද මාවත දිගේ ගොස් ‘ඉස්කෝලෙන් පැන්නේ මෙතනින්’ යැයි පාසල් තාප්පයේ තැනක්ද ඔවුන්ට පෙන්වූයේ බිරිඳගේ විරෝධය නොතකාය. ඒ තරම් උසකින් පැන්නේ කෙසේ දැයි මටත් පුදුම හිතුණේ එදා ය.
මගේ පුතා ගියේත් මගේ පාසලටමය. ඔහු ප්‍රාථමික අංශයෙන් ජ්‍යෙෂ්ඨ අංශයට ගොස් සතියක් යන්නට පෙර සවසක මා හමුවිය.
“තාත්තා පැන්න තැනින් දැන් කොහොමවත් පනින්න බෑ. උඩින් වැටක් ගහලා”
මගේ ඇඟේ හිරිගඩු පිපිණ. එතනට ගියේ ඇයිදැයි ප්‍රශ්න කරන්නට හිතුණත් මම නිහඬව සිටියෙමි. ඒකා මා මෙන් තාප්පයෙන් පැන්නෙ නැති බව දැන්නම් හොඳටම විශ්වාසය.
එකල, ඒ තාප්පයෙන් පැන අප පළමුව ගියේ මරදාන ක්‍රවුන් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කළ ‘ගීත්’ හින්දි චිත්‍රපටය නැරඹීමටය. දෙවනුව ‘අභිමාන්’ ය. තවත් දවසක උද්ඝෝෂණයක සංවිධාන කටයුතු ගැන අහන්නට මොරටුව විශ්වවිද්‍යාලයට ගියේ ආදි ශිෂ්‍ය අයියා කෙනෙක් හමුවීමටය. කෙසේ වෙතත් මේ සිදුවීම්වල සැර බාල කොට අම්මා සමඟ කියන්නටත් මා අමතක කළේ නැත. ඒ මතු ආරක්ෂාව ගැන සිතලාය.
මෙම සිදුවීම් ආවර්ජනය කරමින් සිටි සවසක අපේ මිතුරෙක් පිළිබඳ අපූරු කතාවක් හෙළිදරව් විය.
අප සියලු දෙනා තාප්පයෙන් පනින මෙම අප්‍රකට ස්ථානය පසු කලෙක සුප්‍රකට වී තිබේ. ඒ අනුව එක් දිනක් එතනින් පනිනා සිසුන් ඇල්ලීම සඳහා දැලක් එලා තිබේ. අප මිතුරා ඇතුළු පිරිසක් ඒ දැලට හසුවිය. දඬුවම බරපතළය. දඬුවම් පැමිණවීමට පෙර දෙමාපියන්ගෙන් කෙනෙක් කැඳවාගෙන එන්නැයි නියෝගයක් ලැබිණ.
අපේ මිතුරාට ඒ තත්ත්වයට මුහුණ දීම කොහෙත්ම කළ නොහැක. පාසලෙන් ලැබෙන ඕනෑම දඬුවමක් ඉවසා සිටීමට පුළුවන. එහෙත් ගෙදර ගොස් මේ කතාව කියන්නට බැරිය. ගෙදර තාප්පයෙන් පැන කොහේ හෝ අතුරුදන්වීම ඊට වඩා සුදුසු යැයි ඔහු මිතුරන්ට කීවේය.
අවසානයේදී මිතුරෙක් අපූරු යෝජනාවක් කළේය. ඒ අනුව ඔවුන් මරදාන පාරේ පොත්හලක සිටි ආදි ශිෂ්‍ය අයියා කෙනෙක් හමු වූහ.
“අම්ම කෙනෙක් දෙන්නම්; ගෙවන්න ඕනේ” ඔහු කීවේය.
එකල අද මෙන් දෙමාපියන් පාසලට එන්නේ නැත. පාසල ඇරෙන තුරු ගස් යටට වී බලා සිටින අම්මලා කොහෙත්ම දකින්නට හිටියේ නැත. ගුරුවරු, දරුවාගේ මව පියා කවුදැයි රූපකායෙන් හඳුනන්නේ නැත. ඒ නිසා මේ පිළිතුර ප්‍රායෝගිකය.
“කීයක්ද අයියේ ගෙවන්න ඕනෙ.”
“රුපියල් පනහක්වත් දෙන්න වෙයි”
යාලුවෝ එකතු වී රුපියල් පනහක් එකතු කරගත්හ. ඔවුනට යන්නට සිදුවුණේ විහාරමහාදේවී උද්‍යානයටය. අලුත් අම්මා එහි පවිත්‍රතා සේවිකාවක්ය.
“මොකක්ද වැරැද්ද? “ඇය ඇසුවේ ගොරහැඩි හඬකිනි. කට දෙපැත්තෙන් බුලත් කෙළ වෑහෙයි.
“ඉස්කෝලෙ වෙලාවෙ තාප්පෙන් පැනල ඇන්ටි.”
ඇය මිතුරා දෙස රවා බැලුවාය.
“යකෝ අපේ අම්මවත් මෙහෙම රවන එකක් නෑ.”. මිතුරාට එසේ සිතුණත් ඔහු එය කාටවත් කීවේ නැත.
“රුපියල් පනහට බෑ. සීයක් ඕනේ.”
ඇගේ ස්ථාවරය දැඩිය. මේ වෙලාවේ විකල්පයක් තිබුණේ නැත. අතේ තිබූ සියලුම පොඩි සල්ලි සමඟ රුපියල් 60 ක් ඔවුහු ඇය අතේ තැබුවෝය.
“ඉතුරු හතළිහ, හෙට උදේට දෙන්නම් ඇන්ටි.”
ගෙදරට මොනවා හෝ බොරුවක් කියා රුපියල් දහය බැගින් රැගෙන එන්නට යාළුවෝ එකඟ වූහ. ඒ කාලයේ රුපියල් දහයක් යනු ලොකු මුදලකි. මරදාන පාරේ අම්බාල් කැෆේ එකේ ලොකු තෝස තුනක් ම සත හතළිස් පහකි.
බුලත් විටක් කටේ පුරවා ගත් මෙබඳු නාගරික ගැමි ගැහැනියක් අම්මා ලෙස පෙන්වාදීමට සිදුවීම ගැන මිතුරාට ලොකු කම්පාවක් තිබුණේය. එහෙත් කරන්නට දෙයක් නැත.
නියමිත වෙලාවට ඇය පාසල් ගේට්ටුව ළඟට පැමිණ සිටියාය. බාල සාරියකින් සැරසී සිටි ‘අලුත් අම්මා’ වෙතින් හැමූ ලාබ සෙන්ට් සුවඳ අපේ මිතුරාගේ දෑසට කඳුළු නංවා තිබේ. මුහුණේ වැඩිපුර පුයර තවරාගෙන සිටියත්, ඇය සිතූ තරම් අවලස්සන නැත.
“කෝ ඉතුරු සල්ලි?” ඔහු වහා අතේ ගුළි කරගෙන සිටි රුපියල් දහයේ කොළ හතර ඈ අත තැබුවා ය.
එතැන් සිට ඈ හැසිරුණේ ඇත්ත අම්මා වගේය. වැරදිකාර අනෙක් දරුවන්ගේ දෙමාපියන් දෙස ඈ නිකමටවත් බැලුවේ නැත. අවසානයේ ඔවුන්ගේ වෙලාව ආවේය. අංශ භාර ගුරුතුමා ඇයට කතා කළේ තාත්තාගේ වාසගමෙනි.
“ඔයගොල්ලන්ගෙ පුතා බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ.”
“මොකක්ද සර් එයා කරල තියෙන්නෙ?
“ ඇය කතා කළේ වේදනාත්මක වෙව්ලන කටහඬකිනි.
“මෙයා තව ළමයි ටිකක් එක්ක ඉස්කෝලෙ වෙලාවෙ තාප්පෙන් පැනලා යන්න ගියා. අපි බොහොම අමාරුවෙන් මේ කට්ටිය අල්ලගත්තේ.”
“ඉස්කෝලෙ වෙලාවෙ තාප්පෙන් පැන්න…..!”
ඇය එයම පුනරුච්චාරණය කළාය. ඇගේ දෑස කඳුළින් තෙත් විය.
“යකෝ මෙයා මාලනී ෆොන්සේකට වැඩිය හොඳට රඟපානවා නේ.” අපේ මිතුරාට සිතිණ.
ඇය කෝපයෙන් ගුගුලාය.
“දෙමව්පියො කොච්චර අමාරුවෙන්ද කීයක් හරි හම්බ කරල මේ ළමයි ඉස්කෝලේ එවන්නේ… ඇයි මෙහෙම කරන්නේ…? “
අත් බෑගය පසෙක තබා වහා නැගිට මිතුරා වෙත පැන්නාය. අනතුරුව දෑතින්ම මිතුරාගේ මුහුණට වේගවත් අතුල් පහරවල් එල්ල කරන්නට පටන් ගත්තාය. අසල වූ ගුරුවරියක් පැන ඇය මෙල්ල කරගන්නා තෙක් අපේ මිතුරාට අලුත් අම්මාගෙන් පහර කන්නට සිදුවිය.
“ඔහොම ළමයින්ට ගහන්න එපා මිසිස් …., ; අපි පළමුවැනි වතාවට අවවාද කරලා බලමු.”
අංශ භාර ප්‍රධානියාට ද තමා මෙතෙක් දරූ දඬුවම් ස්ථාවරය වෙනස් කරන්නට සිදුවිය.
මේ සියල්ලක් අතරේ අලුත් අම්මාගේ කෝපයෙන් දිලිසුණු ඇස් නොකඩවාම අපේ මිතුරා දෙස යොමු වී තිබිණ. ඒ ඇස් ඔහුට තවමත් මතකය.
කුලියට ගත්තා වුණත් අම්මා, අම්මාම ය.
අපේ මිතුරා එදා සිට අද වන තුරුත් කිසිම තාප්පයකින් පැන්නේ නැත.