ඉතා ජනාකීර්ණ ඉතිහාසගත නාවික තොටුපොළක් වන ‘එමිනොනු‘ පිහිටියේ පැරණි කොන්ස්තන්තිනෝපල් නගරය ආසන්නයේය. එම නැව්තොටේ සිට ඇවිද යන දුරින් පිහිටි සර්කෙසි දුම්රිය ස්ථානය සියවසකටත් වඩා පැරණි ජාත්‍යන්තර දුම්රියපොළකි. අදටත් දුම්රියෙන් දේශසීමා හරහා ගමන් කරන මගීන් සැහෙන දෙනෙක් මේ දුම්රිය ස්ථානයේදී හමු වෙයි. නොඑසේ නම් එය ජාත්‍යන්තර මගීන්ට වටිනා ගමනාන්තයකි. ඉස්තාන්බුල් දිස්ත්‍රික්කයට උදාවූ සරත් සමයේ මැද වැසිබර දවසක මම එමිනොනු නැව්තොටෙන් බැස සර්කේසී දුම්රිය ස්ථානය දෙසට ඇවිදගෙන ගියෙමි. කහ පැහැ ගත් ඕක් කොළ මතට වැහි බිඳු පතිත වෙද්දී ඒවා නටුවෙන් ගිලිහී ගොස් තෙතබර බිම් ගඩොල් මත පතිත වෙයි.
දුම්රිය වේදිකාව සිසාරා සැන්දෑ හිරු දිගු සෙවණැලි ඇඳ තිබේ. ඔටෝමාන් හා යුරෝපීය මිශ්‍ර ගෘහ නිර්මාණ ශිල්පය මෙසේ යැයි කියපාන විශිෂ්ට පර්යන්ත ගොඩනැගිල්ල, 1889 දී මුල්වරට එවකට කොන්ස්තන්තිනෝපල් ගමනාන්තය වූ මෙහි ආ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය පිළිගන්නා විට සිටි ආඩම්බර පෙනුමෙන් 1977 අවුරුද්දේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සිය අවසන් දුම්රිය පිටත් කළ දවසේ සිටි නිහඬ මුහුණින්ම සිටියි. මම විසිතුරු ඔරලෝසු කණුව පරීක්ෂා කරමින් සිටියදී මායාමය තිමිරය මැදින් ඇය දුටුවෙමි. ට්වීඩ් ඇඳුමකින් සැරසී සිටින කාන්තාවක්, හාත්පස පෙනෙන සෑම විස්තරයක්ම අල්ලා ගන්නා බවක් පෙනෙන තියුණු ඇස්වලින් වටපිට බලමින් සිටියාය.
එය විය නොහැකිය. නමුත් එය මට පෙනේ. පහුගිය සියවසේ මුල් භාගයේ ලෝ පුරා ආදරය ලද ලියන්නිය අගතා ක්‍රිස්ටි 1930 ගණන්වල ඡායාරූපවල සිටියාක් මෙන් මා ඉදිරියේ දර්ශනය වේ. පැරිස් නගරයේ සිට කොන්ස්තන්තිනෝපල් දක්වා ගමන් ගත් අධි සුඛෝපභෝගී ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ගාවාගෙන ලියවුණු පොත් හා නිර්මාණය වුණු චිත්‍රපට දුසිම් ගණනක් අතරින් වඩාත් ජනප්‍රිය වූ ඇය ලියූ Murder on the Orient Express පොත මෙන්ම ඒ අනුව නිර්මාණය වූ චිත්‍රපට ගැන ද දැන සිටි මම දෙවරක් නොහිතා ඇය වෙත ඇවිද ගියෙමි.
“පුදුමෙනුත් පුදුමයි. ක්‍රිස්ටි මහත්මිය. ඔබ මෙතැන?”
ඇය ළෙන්ගතු සිනහවකින් මා දෙස බැලුවාය.
“ආහ්, ඔබ මාව අඳුරනවා. පුදුම වෙන්න දෙයක් නැහැ, අපි මේ ඉන්න තැන නිසා වෙන්නැති. මේ ස්ටේෂන් එකේ කතා ගොඩක් තියෙනවා නේද?”
“ඇත්ත වශයෙන්ම ඔව්. ඔරියන්ට් එක්ස්ප්‍රස් හි ගමනාන්තය – ඔබ විසින් ප්‍රසිද්ධියට පත් කළ දුම්රිය හා දුම්රිය ස්ථානය .”
“ඔබ දන්නවාද’ ඇය ඇසුවාය, “පළවෙනි ඔරියන්ට් එක්ස්ප්‍රස් 1883 දී පැරිසියේ ගැරේ ඩි ලෙස්ට් සිට පිටත් වූ දා පටන්, එය මිනිසුන් සංචාරය ගැන සිතන ආකාරය වෙනස් කළා. ඒ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාම පමණක් නොවෙන ගමනක්’
රෝද සහිත ගමන් මලු තල්ලු කරගෙන ස්මාර්ට් ෆෝන් අතින් ගත් සංචාරක පවුල් අප දෙස බලා අත වනමින් යන හැටි ඇය මඳක් බලා සිට මෙසේද කිව්වාය.
“දැන් ඔබ මඳක් වටපිට බලන්න, ඉස්සර කොන්ස්තන්තිනෝපල්; දැන් ඉස්තාන්බුල්. නම විතරක් වෙනස් වුණාට නගරය එහෙම්මමයි. ඒ අසිරිමත් මායාව නැති වෙලා නෑ; එය හුදෙක් නව මුහුණු එකතු කරගෙන විතරයි. අර ඈත පෙනෙන ඊජිප්තු බසාරයේ වෙළෙන්දන් තාමත් කුංකුම සහ එනසාල් විකුණනවා. දේවස්ථානවල යාඥා හඬ තවමත් ගෝල්ඩන් හොර්න් ජල පහර හරහා දෝංකාර දෙනවා ඇහෙනවා නේද?”
ග්‍රෑන්ඩ් බසාර් වෙත යන පාර සිය මොබයිල් තීරයේ උපකාරයෙන් සොයමින් යන සංචාරකයෝ පිරිසක් අප අසලින් ගමන් කළහ.
“බලන්න” අගතා ක්‍රිස්ටිගේ ඇස් දිලිසිණි. “ඔය යන මගීන් මීට අවුරුදු එකසිය විස්සකට ඉස්සර බෙඩේකර් කියන මාර්ගෝපදේශක පොත්වල උදව් අරන් ගමනේ ගිය මගීන්ට වඩා එතරම් වෙනස් නෑ. ඉස්තාන්බුල් සෑමවිටම නැඟෙනහිර සහ බටහිර ලෝකයා හමුවීමේ නවාතැනක්. ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ වගේ හමුවීම් සුවිශේෂ කරා. ගාම්භීර කරා.”
“ඒකද ඔබ ප්‍රසිද්ධ මාරක කතා පොතට මේ කෝච්චිය සම්බන්ධ කරන්න හිතුවේ?”
“බාහෙට ඇත්ත. ඒත් ඊටත් වඩා, එය සංකීර්ණ මිනිසුන් එකට සිටි සංවෘත අවකාශයක්. විවිධ රටවල විවිධ අදහස් තියෙන ආගන්තුකයන් එකට කොටු කරලා වෙන් කරන්න බැරි සමීපභාවයක් ගොනු කරපු පරිසරයක් එතැන තිබුණා. ඉස්තාන්බුල් වගේ – ඔටෝමාන් මන්දිරවල බයිසැන්තියානු කැටයම් තිබෙන නගරයක්, යුරෝපීය හෝටල් සංකීර්ණ සෙවණේ ආසියානු කුළුබඩු වෙළෙඳපොළවල් වර්ධනය වෙන අමුතු එකමුතුවක්.”
“ඔබේ කාලයට වඩා දැන් මේ නගරය ගොඩක් විශාල වෙලා. දියුණු වෙලා,” මම කීවෙමි.
“ඔව්, ඉස්තාන්බුල් සෑම පැත්තෙන්ම අතිවිශාල වෙලා. එය දැන් වඩාත් දෘශ්‍යමාන වෙලා. අපේ කාලයේ, අභිරහස් අඳුරු පටු මංතීරුවල සහ බොස්ෆරස් ඉවුරු දිගේ ලී මන්දිරවල සැඟවී තිබුණ කතන්දර දැන් වඩා උස්මහත්වූ මන්දිරවලට මාරු වෙලා. නමුත් ඒවා තවමත් අබිරහස් කතා හා ප්‍රේම කතා ලියන්න බීජ සපයනවා නේද?” කියමින් ඇය සිනාසුණාය.
ඈත මුහුදු යාත්‍රාවක නළා හඬක් දුම්රිය නැවතුම්පොළ පුරා දෝංකාර දුන්නේය. කබාය සකස් කරගනිමින් අගතා ක්‍රිස්ටි වටපිට බැලුවාය.
“මගේ නවකතාව ගැන සහ ඉස්තාන්බුල් ගැන මිනිසුන් හරියට තේරුම් ගන්නේ නෑ. ඔවුන් සිතන්නේ එය අතීතය ගැන, නොස්ටැල්ජියාව ගැන කතාවක් කියල. නමුත් ඒවා ඇත්ත වශයෙන්ම අතීතය සහ වර්තමානය එකට නර්තනයේ යෙදෙන තැන්. මේ සර්කෙසි ස්ටේෂන් එක දිහා බලන්න: තවමත් ප්රතාපවත්ව සිටගෙන, තවමත් එහි අරමුණ ඉටු කරමින් සිටිනවා, පරණ ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මෙහි නොආවත්. දැන් බලන්න ඔබ කොහි සිට ද මේ විස්තරය හොයාගෙන ආවේ. අර එළියේ පින්තූර ගන්න මිනිසුන් දිහා බලන්න. අර වියපත් යුවළ සමහරවිට මීට අවුරුදු හතළිහකට කලින් මධුසමය ගෙවන්න තෝරා ගත්තේ මේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය වෙන්නැති. ඒක ගමන් කරන තරු පහේ හෝටලයක් වගේ තිබ්බේ ”
“පොදුවේ දුම්රිය ගමන්වල තිබ්බ අර රොමැන්ටික් ගතිය දැන් අඩුවෙලා වගේ” මම සුසුමක් හෙළුවෙමි.
“එහෙමද?” ඇය ඇහිබැම එසවූවාය. “නැත්නම් එහි ස්වරූපය වෙනස් වෙලා ද? අර දුම්රිය එනතුරු ඉන්න තරුණ බැක්පැකර්වරු – ඔවුන් අතේ තියෙන මෙවලම් එක්ක අපි ගෙවපු ජීවිතයම හොයනවා වෙන්න බැරිද?.’
ඇය දුම්රියපොළේ විසල් බිත්ති ඔරලෝසුව දෙස බැලුවාය. “ඔබ සංචාර ගැන කතා කරනවිට, මගේ සංචාරයත් දිගටම කරගෙන යාමට වෙලාව හරි. එත්
අර බලන්න”. ඇය නුදුරේ පේන ටොපකපි මාලිගයට පිටුපාමින් හිරු බැස යන අයුරු පෙන්නුවාය.
“1889 දී පළමු ඔරියන්ට් එක්ස්ප්‍රස් පැමිණි දා පටන්ම ඒ දර්ශනය වෙනස් වෙලා නෑ . ඒ වගේ ඉස්තාන්බුල්වල සමහර දේවල් සදාකාලිකව තියේවි.” බොස්ෆරස් දියතලය මත රන්වන් ආලෝකයක් මවමින් හිරු බැස යද්දී, මම ඇයට සමුදීමට හැරුණෙමි – නමුත් දුම්රිය ස්ථානයේ විකාශන හඬ හා මුසු වූ ඒ මායාත්මක සංවාදයේ දෝංකාරය පමණක් ඉතිරි කරමින් ඇය නොපෙනී ගොස් සිටියාය. මම දුම්රියපළෙන් පිටතට පියවි සිහියෙන් ඇස් යොමද්දී, සුපුරුදු පරිදි ඉස්තාන්බුල් නගරය ජීවයෙන් ස්පන්දනය වෙමින් තිබිණ: සංචාරක යුවළක් වීදි බළලුන් ඡායාරූපගත කරති. ග්‍රිල් කළ කෙබාබ් සුවඳක් වාතයේ මුසු විය. එවිටම නවීන මැදිරි පිරි ට්රෑම් රියක් සුල්තාන්මෙහ්මෙට් නගරය දෙසට ඇදී ගියේය.
ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මා සිටින සර්කේසි දුම්රිය ස්ථානය වෙත ආ ගමන අවසන් වුවද මගේ චිත්ත රූපවලට හමු වූ අගතා ක්‍රිස්ටි අදහස් කළේ කුමක්දැයි මට වැටහුණි. සංචාරයේ ආදර කතා, ඉස්තාන්බුල්හි සුන්දර අබිරහස්, ලෝකවාසීන්ගේ රැස්වීම් පොළ – ඒවා අවසන් වී නොතිබුණි. ඒවා හුදෙක් පරිණාමය වී ඇති අතර, මේ නගරයේ වීදිවලට යටින් ස්තර වශයෙන් ඇති ශිෂ්ටාචාරවල පරිච්ඡේද සමඟ සුරැකිව පවතී. මට හිතුණේ ඔරියන්ට් එක්ස්ප්‍රස් ගමන එහි ගමනාන්තය වුණ කොන්ස්තන්තිනෝපලය තරම්ම අසාමාන්‍ය හෝ අසිරිමත් එකක් වෙන්නට ඇති බවයි.