පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කිරීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයකු හා සංවර්ධන ලොතරයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සේන සූරියප්පෙරුම සමඟ කළ කතාබහකි.
•නව ආණ්ඩුව බලයට පත්වීම ඔබ කියවා ගන්නේ කුමන ආකාරයටද?
මෙතෙක් පැමිණි සම්ප්‍රදායානුකූල ගමන් මඟ වෙනස් කරමින් රටේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීම අරගලයක් ලෙසයි මා දකින්නේ. 2019දී පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ කෙටි කාලයකින් කඩා වැටුණා. එය ගෝඨාභය රාජපක්ෂගේ කඩාවැටීමකට වඩා මෙතෙක් පැමිණි ආර්ථික ගමන් මඟේ අර්බුදයක් විදියටයි මා දකින්නේ. 2022 පුපුරායාම තුළින් සිදු වුණේ එයයි. ඒ ගමන් මඟේ තවදුරටත් රැඳී සිටීමෙන් කිසිදු විසඳුමක් නොමැති බව ජනතාවට ඒත්තු ගිය නිසයි ඒ පුපුරායාම සිදු වුණේ.
පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් 159ක් ඡන්දයෙන් පත් කළේ ජවිපෙ හෝ ජාජබ පාක්ෂිකයන් නොවෙයි. වාමාංශික ප්‍රගතිශීලී අදහස් දරන, සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරි පිරිස් හා සම්ප්‍රදායික පක්ෂවලට ඡන්දය ලබාදී අපේක්ෂා භංගත්වයට පත් වූ පිරිස් විසින්. මෙය අප නිවැරදිව වටහා ගත යුතුයි.
විවිධ ප්‍රතිවාදී කණ්ඩායම් විසින් තිඹිරිගෙයිදීම මේ දරුවා විනාශ කරන්න කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් තිබෙනවා. ආණ්ඩුව ශක්තිමත් වුණොත් ඔවුන්ගේ පැවැත්ම මීටත් වඩා අර්බුදකාරී තැනකට ගමන් කරන බව හොඳාකාරවම දන්න නිසා විවිධ ප්‍රශ්න මතුකරමින් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්නයි ඔවුන් කල්පනා කරන්නේ. නමුත් ඒ සියලු බලවේග මේ වන විට ඉතාම දුර්වල වී තිබෙනවා. මෙයින් ගම්‍ය වන දේ තමයි නව ආණ්ඩුව කෙරෙහි ජනතාව අපෙක්ෂා තබා තිබෙනවා කියන කාරණය. එපමණක් නෙමෙයි ඔවුන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳ අවදියෙන් සිටිනවා. ඒ නිසා ආණ්ඩුව පටන් ගන්න ඕන අන්න ඒ අපේක්ෂාවන් කොහොමද යථාර්ථයක් කරන්නේ කියන තැනින්.
•මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් වෙන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ පසුබිමක. ඒ මින් පෙර කිසිදු ජනාධිපතිවරයෙක් හෝ ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයක්. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?
ලෝකයේ ඇතැම් රටවල් මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී නිසි ක්‍රියාමාර්ග නොගෙන විශාල අගාදයකට ඇද වැටුණා. ඊට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වුණේ බුද්ධි ගලනය ඉතා ඉහළ අගයක් ගැනීමයි. බුද්ධිමතුන් සහ පිළිගත් වෘත්තිකයන් පමණක් නොවෙයි සාමාන්‍යයෙන් යමක් කමක් කර කියාගන්න පුළුවන් අය වගේම තරුණයන්, සාමාන්‍ය උදවිය පවා රටින් පිටව ගියා. මේ රටේ ඡන්දයකදී තරුණ ඡන්ද ප්‍රතිශතය සියයට 65ට අඩු වී තිබුණේ නැහැ. නමුත් මෙවර මැතිවරණයේදී සියයට 65ක් තරුණ ඡන්ද අඩු වී තිබුණා. එහි තේරුම තමයි ඔවුන් විශාල ප්‍රමාණයක් රට හැර ගොස් තිබෙනවා කියන කාරණය.
මෙවැනි අර්බුදවලදී මැදපෙරදිග ආසියාවේ සහ යුරෝපයේ ඇතැම් රටවල් කඩා වැටෙන්න බලපෑ ප්‍රබල හේතුවක් වුණේ මේ බුද්ධි ගලනය සහ පුරවැසියන් රට හැරයාමයි.
2022 ආර්ථික අර්බුදයත් එක්ක අපේ රටෙත් ඒ දේ සිද්ධ වුණා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති වුණා, විදුලිය නැති වුණා, සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා, ඩොලර් එක 290 සිට 400 මට්ටමට ඉහළ ගියා. ඒක මිනිස්සුන්ට දරාගන්න බෑ වගේම ආර්ථිකයටත් දරාගන්න බැරි කම්පනයක්. ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයිඑම්එෆ් එක එක්ක ගිවිසුම්ගත වෙලා එය යම් ආකාරයකට පාලනය කිරීමට සමත් වුණා. අපි එය පිළිගන්න ඕන. නමුත් එය මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් ක්‍රමවේදයක්ද කියන ගැටලුව මතු වෙනවා. ඔහු කළේ පරණ පුරුදු ට්‍රැක් එකට මාරු කිරීම පමණයි. ඒ නිසා ජාතික ජන බලවේගයට සහ ජනාධිපති අනුර දිසනායකට ලැබුණේ සුවිශාල අභියෝගයක්.
මේ අර්බුද ආරම්භ වෙන්නේ කොවිඩ්වලට පසුව ආ ගෝඨාභය ආණ්ඩුව ගත්ත වැරදි තීන්දු තීරණ එක්ක. අද මිනිස්සු කියනවා පොල් නෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පොල් වගාවට අවශ්‍ය පොහොර ටික කලට වෙලාවට ලබා දුන්නේ නැහැ. ඒක ලංකාවේ තේ වගාවටත් බලපෑවා. වෙනත් භෝග වගේ නෙවෙයි. මේ භෝග දෙකටම කලට වෙලාවට පොහොර වැටුණේ නැත්නම් එහි ප්‍රතිඵල එන්නේ වසර තුන හතරක් ගියාමයි. අනික මේ කාලවල කොහොමටත් පොල් ඵලදාව අඩුයි. මේ ගැටලු දෙකටම එකවර මුහුණ දෙන්න වුණාම ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. පොල් හිඟයට හේතුව දැන් හරි පැහැදිලියි. ඒ වගේම තේ අපනයනය සියයට 25කින් අඩුවෙලා තිබෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ ආපු ආර්ථික අර්බුදයත් එක්ක සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර රාශියක් කඩා වැටුණා. ඒ බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වෙනවා. ඒත් එක්කම සංචාරක කර්මාන්තය, ප්‍රවාහනය හා අපනයන ආර්ථිකය මේ සියල්ලක්ම කඩා වැටුණා. එහෙම බැලුවම මේ ආර්ථිකය කම්පන දෙකකට මුහුණ දී තිබෙනවා.
ආර්ථික අර්බුදය සඳහා ක්ෂණිකව මුහුණ දීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා එක්ක ඉදිරියට යන්න වෙනවා. ඒ සඳහා මේ මොහොතේ වෙනත් විකල්පයක් නැහැ. අප මීට පෙර 16 වතාවක් අයි එම් එෆ් එකට ගියා. ඒ ගියේ ගත්ත ණය ගෙවා ගන්න බැරුව. ඔවුන් විසින් බංකොලොත් කරපු ආර්ථිකයක් එක්කයි ආණ්ඩුව මේ රට භාර ගත්තේ.
වසර 76 පුරා බිඳ වැටුණු රටක් මාසෙකින් දෙක තුනකින් ගොඩගන්න බැහැ. එහෙම හිතනව නම් ඒක මුග්ධකමක්. නව පාලනයට වැඩ කරන්න සාධාරණ කාලයක් දිය යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුණේ ඇයි? ඔවුන් ගත්ත තීන්දු තීරණ මොනවද? ඒ පිළිබඳ පසු විපරමක් කළ යුතුයි. ඔහු වරද්ද ගත්ත එක තැනක් රජයේ ආදායම අඩු කර ගැනීම. රජයේ බදු ආදායම සියයට 15 සිට සියයට 8ට අඩු කළා. එහිදී ඔහුගේ උපාය වුණේ ආයෝජන වැඩි කර ගැනීමයි. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ඒකෙන් මේ සියලු බර මහ භාණ්ඩාගාරයට දැරීමට සිදු වුණා; වැටුප් ගෙවන්න මුදල් නැති වුණා; පෞද්ගලික අංශයෙන් ගත්ත ණය ගෙවාගන්න බැරි වුණා; ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර බලන් හිටියා; පරාටේ නීතියට යන්න එපා කියලා කිව්වා; මේ ආණ්ඩුවටත් ඒ බලපෑම ඇවිත් තිබෙනවා. මේ විදියට බැලුවම වත්මන් ආණ්ඩුවට හම්බ වුණේ දෙකොණ නෙමෙයි සිවු කොණම පත්තු වෙන විලක්කුවක්.
•මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අනුගමනය කළ යුතු උපායමාර්ග මොනවාද?
මේ තත්ත්වයෙන් ආර්ථිකය ගොඩ ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ක්‍රමානුකූලව පිළියම් යෙදිය යුතු කාර්යයක්. අපි ආයොජන සඳහා විදේශ රටවලට ආරාධනා කළාට විදේශ ආයෝජන එකපාරට එන්නේ නැහැ. ලෝකයේ ආයෝජකයන් උනන්දු කරන මූල්‍ය ආයතන තවම යහපත් චිත්‍රයක් ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව ඉදිරිපත් කර නැහැ. එවැනි පසුබිමක් නිර්මාණය වුණාමයි ආයෝජකයන් මේ රටට එන්නේ.
ඉන්දියාව චීනය වැනි රටවල් හිතවත්කම මත යම් යම් ආයෝජන සිදු කළාට ලෝකයේ සිටින මහා පරිමාණ ආයෝජකයන් අපේ රටේ ආයෝජනය කරන්න උනන්දු වන බවක් තවම පෙනෙන්නට නැහැ. අපට හිතවත් රටවල් පවා මේ රටේ ආයෝජනය කරන්නේ උපාය මාර්ගික වැදගත්කම සැලකිල්ලට අරගෙනයි. එය මේ ආණ්ඩුවට තිබෙන අභියෝගයක්.
අනෙක් වැදගත්ම කාරණය තමයි බල ශක්තිය. අපේ බලශක්තිය සඳහා යන වියදම වැඩියි. ඒ වගේම අපට බලශක්ති හිඟයක් තිබෙනවා. ආයෝජකයන් පැමිණීමට නම් ඒ යටිතල පහසුකම් දියුණු කළ යුතුයි. ඒ වගේම අනෙක් දකුණු ආසියානු රටවලට සාපෙක්ෂව අපේ කම්කරු වැටුප් වැඩියි. අපේ රටේ තිබුණු ඇඟලුම් කර්මාන්ත පවා ආර්ථික අර්බුදයත් එකක මතු වූ ප්‍රශ්න නිසා වෙනත් රටවලට ඇදී ගියා. බංගලාදේශයේ උද්ගත වූ අර්බුදයත් එක්ක නැවත ඒවා මෙරටට ලැබෙමින් තිබෙනවා. තේවලට හා රබර්වලට හොඳ මිලක් ලැබෙමින් තිබෙනවා. ඒ වගේම අපි කුකුළු මස් අපනයනය කළා. එයත් පසුගිය කාලයේ බිඳ වැටුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ලෝකය පුරා අපේ කුළුබඩුවලටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒවා අමුද්‍රව්‍ය ලෙසම අපනයනය නොකර ඒවාට අගයන් එකතුකර අපනයනය කිරීම කෙරෙහි අවධාය යොමු කළ යුතුයි.
නිවෙසක් නිවැරැදි ආකාරයට පරිපාලනය නොකළොත්, පියා, මව තම යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු නොකළොත්, ළමයි එක පවුලක් ලෙස කටයුතු නොකළොත් ඒ නිවෙස විනාශ වී යනවා. අපේ ආර්ථිකයත් ඒ වගේ. අපි දේශපාලනිකව බෙදිලා, ජාතින්, ආගම් විදියට බෙදිලා රටකට ඉදිරියට යන්න බැහැ. නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුවට හොඳ ජනවරමක් ලැබී තිබෙනවා. වතුකරයේ සහ උතුරේ දමිළ ජනතාවත් නැඟෙනහිර මුස්ලිම් ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් ඒකරාශි වෙලා මේ රට ඉස්සරට යන්න ඕන කියන පණිවිඩය මේ ජනවරම මඟින් සංඥා කර තිබෙනවා. එය ඉතාම සාධනීය තත්ත්වයක්. නමුත් දේශපාලන වශයෙන් බෙදී ආණ්ඩුව යන ගමනට අකුල් හෙළීම බරපතළ ගැටලුවක්. දේශපාලනිකව මොන ප්‍රශ්න තිබුණත් මේ ජනවරම තෙරුම් ගෙන සියලු දෙනා එක්ව මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.
•මේ දුෂ්කර ගමන යාමට නම් ආණ්ඩුව ඉතාම කල්පනාකාරීව ක්‍රියා කළ යුතු වෙනවා. ඔබ එය පැහැදිලි කර දෙන්නෙ කොහොමද?
පළමුව ආණ්ඩුව ප්‍රවේසම් වෙන්න ඕන. ආණ්ඩුව මේ ඇති කර තිබෙන අනවශ්‍ය පීඩනයෙන් ඉවත් විය යුතුයි. මේ කිසිදු දෙයකට කලබල නොවී, හොඳ හුස්මක් අරන් නිවී සැනසිල්ලේ තමන් කළ යුතු කාර්යභාරය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගේ අරමුණ වී තිබෙන්නේ ආණ්ඩුව විවිධ උපක්‍රම යොදාගනිමින් ව්‍යාකූල කර මේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමයි. ඒ සඳහා මුහුණ දීමට නම් ආණ්ඩුව නිහඬව හා විවේකීව මේ දෙස බැලිය යුතු වෙනවා.
අපි වතුරේ බැහැගෙන යමක් හොයද්දි බොර වෙන වතුරේ අපට කිසිවක් පෙනෙන්නේ නැහැ. එහෙනම් අපි වතුරෙන් ඉවත් වෙලා එය නිශ්චල වෙලා පැහැදිලි වෙනකම් ඉන්න ඕන. එවිට අපට සියල්ල පැහැදිලිව දකින්න පුළුවන්කම ලැබෙනවා.
නිදසුනකට අපි හාල් ප්‍රශ්නය අරන් බැලුවොත් එහෙම ලොකුවට කලබල විය යුතු එකක් නෙමෙයි. හාල් අවශ්‍ය ප්‍රමාණයට රට තුළ තිබෙනවා. පුද්ගලික මෝල් හිමියන් කිහිප දෙනෙකු එකතු වෙලා කෘත්‍රිමව හාල් හිඟයක් මවලා වෙළෙඳපොළේ හාල් නැති තත්ත්වයක් උදා කළා. ගිය කන්නයේ ගත්ත වීවලින් හදපු හාල්වලට තිබුණු මිල හරි. මිල වෙනස් වෙනව නම් වෙනස් වෙන්න ඕන මේ කන්නයේ වී මිල වැඩි වුණොත් විතරයි. පොහොර සහනාධාරය දුන්නා, ඉන්ධන මිල අඩු කළා. ඒත් මිල අඩු වුණේ නැහැ. ආර්ථික අර්බුදය තිබුණු කාලේ පැවති පිරිවැයමයි අදත් තියෙන්නේ. නිදහස් වෙළෙඳ ක්‍රමය ඇතුළේ ආණ්ඩුවට ඒකට මැදිහත් වෙන්න බැහැ.
අද රුසියාව ගත්තත් චීනය ගත්තත් මේ ප්‍රතිපත්තිවලමයි ඔවුනුත් කටයුතු කරන්නේ. ඔවුන් යම්යම් නීති සකස් කරමින් රජයේ අධීක්ෂණය යටතේ තමයි සියලු කටයුතු සිදු කරන්නේ.
හාල් ටොන් 60,000ක් රට තුළට ගෙන්න ඕනකම තිබුණ නම් ඒ වෙලාවේ ආණ්ඩුව ගත්ත තීරණය වැරදියි. ඊට හේතුව තමයි, ආණ්ඩුවට අයත් සංස්ථා සමාගම්වලට සල්ලි නැහැ මේවා ගේන්න. රාජ්‍ය සතුව අධික ලෙස පාඩු ලබන සංස්ථා සහ සමාගම් 58ක් තියෙනවා. සතොසට හෝ සමුපකාරයට සල්ලි නැහැ හාල් ගෙන්න. ඒ මොහොතේ ආණ්ඩුවට කළ යුතුව තිබුණේ පෞද්ගලික අංශයට ඒ සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දීමයි.
කොටුවේ තොග වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආකාරය සැලකිල්ලට ගත්තොත් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවක් වගේමයි. එක දුරකතන ඇමතුමකින් පුළුවන් හාල් නැවක් ගේන්න, පොල්තෙල් නැවක් ගේන්න. එච්චරටම ඔවුන් බලවත්. මොන ප්‍රශ්නයක් රට තුළ තිබුණත් පිටකොටුවේ වෙළෙඳ අධිරාජ්‍ය ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති කළේ නැහැ.
හොඳම උදාහණය රටේ අරගලය ආපු වෙලාවේ ඩොලර් නැති වුණා. ඒත් මිනිස්සු ණයට බඩු දුන්නා. දවස් 90ක් ණය දුන්නා, දවස් 180ක් ණය දුන්නා. හිඟයකින් තොරව බඩු ගෙනත් බෙදා හැරියා. ආණ්ඩුව කළ යුත්තේ එය පාලනය කිරීම පමණයි. ජනාධිපතිවරයා ඒ අය හමුවී සාකච්ඡා කරාම ඒ වැඩේ වෙනවා. ඒ නිසා කලබල වෙලා ප්‍රශ්න විසඳීම නෙමෙයි අවශ්‍ය වන්නේ. බොහෝම සැහැල්ලුවෙන් ඒ දෙස බලා අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි.
අනෙක් අතට මහ බැංකු වාර්තා එක්ක බැලුවම අපේ ආර්ථිකය හැකිලිච්ච ආර්ථිකයක්. ආණ්ඩුව බලයට ඒමට පෙර සියයට 50කින් හැකිළී තිබුණා. මේ වෙද්දි එය සියයට 30 දක්වා අඩුවී තිබෙනවා. අපේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ සීයයට 80යි. එහෙමනම් මේ ආර්ථිකය තව සියයට 20කින් ඉදිරියට යා යුතු වෙනවා. ඒ සඳහා නව ආයෝජකයෝ රට තුළට එන්න ඕන, නව තාක්ෂණය රට තුළට එන්න ඕන, අධ්‍යාපනය දියුණු වෙන්න ඕන, අලුත් රැකි රක්ෂා අවස්ථා ඇති වෙන්න ඕන, ජනතාවට වඩා පහසු ආකාරයට ගමන් කළ හැකි ප්‍රවාහන සේවා ඇති වෙන්න ඕන. මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව මූලික අවධානය යොමු කළ යුතු වෙනවා. එවිට මේ තිබෙන අර්බුදකාරී වාතාවරණය නිමා කළ හැකියි.
රසික කොටුදුරගේ