සීතල උඳුවප් මාසයේ නත්තල් සීනු හැඬවීමට ඇත්තේ තව දින කිහිපයකි. ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් මෙන්ම අන්‍ය ආගමික බැතිමතුන් ද සීතල නත්තලේ අසිරිය විඳීමට පෙළ ගැසී සිටින මොහොතක පැරිස් නුවර නෝත්‍රදාම් දේවස්ථානය පිළිබඳ ඇසෙන්නේ ද ඒ තරමටම ප්රබෝධජනක පණිවිඩයකි.
නෝත්‍රදාම් ඩි පැරිස් හෙවත් නෝත්‍රදාම් දේවස්ථානය වසර 860කට එපිට ඓතිහාසික වටිනාකමින් යුතු මධ්‍යතන යුගයේ කදිම ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන වූ කතෝලික ආසන දෙව්මැදුරකි.
කන්‍යා මරියතුමිය වෙනුවෙන් කැප කර ඇති, 4 වැනි ශතවර්ෂයේ ගොඩනැගූ මෙම ආසන දෙව්මැදුර ප්‍රංශ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානය දිස්වන කැඩපතක් බඳුය. එවැනි සුවිශේෂී වටිනාකම් රැසකින් යුතු මෙම ඉපැරණි දේවස්ථානයට 2019 අප්‍රේල් 05 වැනිදා ඇතිවූ ගින්නෙන් දැඩි අලාභානි සිදු විය. ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් ගේ ඉලක්කය වූයේ මෙම දේවස්ථානය පිළිසකර කර යථා තත්ත්වයට පත්කර නැවත ජනතාව වෙත විවෘත කිරීමය.
එම උත්සාහය මල්ඵල ගන්වමින් ඉකුත් දෙසැම්බර් 07 වැනිදා නෝත්‍රදාම් දේවස්ථානය ලෝක රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පූජකවරුන්ගේ මඟපෙන්වීම හා මෙහෙයවීම ඔස්සේ ඉතාම සාර්ථකව සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරිසියේ අගරදගුරු ලෝරන්ට් උල්රිච් විසින් තුන් වරක් දේවස්ථාන සීනුව නාද කිරීමෙන් පසු දේවස්ථානය නැවත වරක් විවෘත වූ බව සංකේතාත්මකව ප්‍රකාශ විය. බිෂොප්වරු 170කගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 08 වැනිදා උදෑසන විශේෂ දේව මෙහෙයක් පවත්වා ඇති අතර, ශුද්ධ වූ ජලයෙන් රැස්ව සිටි පිරිස දෝවනය කිරීමේ චාරිත්‍රය අගරදගුරු විසින් සිදු කර තිබේ.
ප්‍රංශ ජනපති හා ඔහුගේ ආර්යාව වන බ්රිගිට් මැක්ටොන් දේවස්ථානයේ ඉදිරි පෙළ අසුන් ගෙන සිටි අතර, ලක්සම්බර්ග් හි මහා ආදිපාද හෙන්රි හා මහා ආදිපාදවරිය වූ මාරියා තෙරේසා ඔවුන් සමීපයෙන් අසුන්ගෙන සිටි දර්ශන විදෙස් මාධ්‍ය ප්‍රදර්ශනය කර තිබිණි.
වසර 5කට පසු නැවත විවෘත වූ නෝත්‍රදාම් දේවස්ථානය, පූජක උතුමන්ලාගෙන් මෙන්ම ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සැදුම්ලත් සම්භාවනීය අමුත්තන්ගෙන් පිරී ගොස් තිබිණි. මෙම සම්භාවනීය පිරිස අතරට ප්‍රංශ විලාසිතා සමාගම්වල සභාපතිවරුන් හා ඉහළ පෙළේ දේශපාලනඥයන් ද ඇරයුම් ලැබූ බව වාර්තා විය.
ජනපති ට්‍රම්ප්ගේ පැමිණීම
නෝත්‍රදාම් දේවස්ථානය නැවත විවෘත කිරීමේ උත්කර්ෂවත් පූජනීය උත්සවයට පැමිණි රාජ්‍ය නායකයන් අතර කැපී පෙනෙන ලෝක නායකයකු ද විය. ඒ අන් කවරෙක් නොව තව සති 6කින් දෙවැනි වරටත් අමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයට යන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ලොව රාජ්‍යතාන්ත්‍රික පිරිස් ට්‍රම්ප්ගේ නෝත්‍රදාම් ප්‍රංශ සංචාරය විස්තර කර තිබුණේ, එය ට්‍රම්ප්ට භූ දේශපාලන වේදිකාවේ ඉතාම හරසරින් යුතුව පෙනී සිටීමට මංපෙත් විවර වූ කදිම පසුබිමක් සැකසූ බවය. ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් ජනපති ට්‍රම්ප් ප්‍රංශයේ ELysee රජ මාළිගාවේ දී ඉතාම උණුසුම් අන්දමින් පිළිගෙන ඇත.
උත්සවශ්‍රීයෙන් යළි විවෘත වීම
යුක්ක්‍රේන ජනපති සෙලෙස්ති ද මෙම සම්භාවනීය ලෝක නායකයන් අතරට ප්‍රංශ ජනපතිගේ ඇරයුමින් එක් වූ තවත් සුවිශේෂි නායකයෙකි.
ප්‍රංශය ලොව අද්විතීය නිර්මාණකරුවන්ගේ නාට්‍ය හා රංග කලාවේ ප්රවීණයන්ගේ, සංගතීය හා කලාකාමීත්වයේ හදවත බඳු යැයි පැවසුවහොත් එය නිවැරදිය. නෝත්‍රදාම් දේවස්ථානයේ ආරම්භක දේව මෙහෙයට සහභාගී වූ බිෂොප්වරුන් පැලඳ සිටි රනින් නිම වූ කුරුස නිර්මාණය කර තිබී ඇත්තේ ප්‍රංශයේ කීර්තිමත්ම නිර්මාණකරු වූ Jean – Charles de Castelbajac වීම ඉතා සුවිශේෂී කරුණකි. ඔහු පැරිසියේ දිගු කලක් අගරදගුරුවරයකු ලෙස සේවය කර මියගිය කාදිනල් තුමකු වූ Jean Marie Lustiger, Jean-Charles සමඟ දිගුකාලීන මිතුදමක් පැවැත් වූ අයකු වීම ද විශේෂත්වයකි.
නෝත්‍රදාම් දේවස්ථානය නැවත විවෘත කිරීමේ උත්සවයට වේල්සයේ විලියම් කුමරු ද ආරාධනා ලැබ පැමිණ ඇති අතර, අමෙරිකා එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් හා විලියම් කුමරු අතර සමීප සාකච්ඡා පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පැරිසියට යන අයකුට දෙසැම්බර් 07 වැනිදා නැවත විවෘත වූ නෝත්‍රදාම් දේවස්ථානය නැරඹීම හා වන්දනා කිරීම සුන්දර අත්දැකීමක් වනු ඇත.
පී. ආර්. දුෂාන්ති සිල්වා