අප ජීවත් වන්නේ, වෙළෙඳ දැන්වීම් පිරි ලෝකයක ය. ඇස ගැටෙන ගැටෙන තැන දකින්නේ වෙළෙඳ දැන්වීම් ය. කනට ඇසෙන්නේද වෙළෙඳ දැන්වීම් ය. වැඩිහිටියකු නම් ඔබ වෙනුවෙන් වෙළෙඳ දැන්වීමක් ඇත. ඔබේ අත රැඳි ළදරුවා වෙනුවෙන්ද වෙළෙඳ දැන්වීම් ඇත. එදා පුවත්පතින් ඇරැඹි වෙළෙඳ දැන්වීම් ඩිජිටල් තාක්ෂණය සමඟ අද මායාකාරී, රැවටිලිකාරි දෙයක් බවට පත්ව තිබෙන අතර එයින් මිනිසුන්ගේ සිතුම් පැතුම්වලට විටෙක ඇති වී ඇත්තේද අභියෝගයකි.
වෙළෙඳ ප්‍රචාරණ සමාජයට සිදු කරන බලපෑම හා දෙතුන් ගුණයකින් වැඩි වේගයකින් ළමා ලෝකය වෙනස් කිරීමට සමත්ව ඇත්තේය. ළමයින්ගේ වෙළෙඳ භාණ්ඩ වන කිරිපිටි, සබන්, බිස්කට්, යෝගට්, සිසිල් බීම වැනි වෙළෙඳ දැන්වීම්වලට ළමයින්ගේ සහභාගිත්වය ලබාගෙන ඇත්තේ කොතරම් ප්‍රමාණයකින්ද යන්න අප කිසිදා විමසීම් කළේ නැත. මවුපියන් වශයෙන් අප ඊට එරෙහි වූයේද නැත. මේ නිසාවෙන් ළමුන් අහිතකර වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීම අද බොහෝ දුරකට ඉදිරියට ගොස් ඇතිවාක් සේම, එයින් දරුවන්ගේ ළමා ලෝකයට වන බලපෑමද නොසිතු අයුරින් ඉහළ ගොස් ඇති බව මතයයි. විශේෂයෙන් වෙළෙඳ ප්‍රචාරණය සඳහා ළමුන් යොදා ගැනීම පිළිබඳ පර්යේෂණවලින් පෙනී යන්නේ දරුවන්ට එය විවේචනාත්මකව ඇගයීමට නොහැකි නිසා වෙළෙඳ දැන්වීම්වල අහිතකර බලපෑම්වලට ගොදුරු විය හැකි බවයි.
මේ නිසා පසුගිය රජයන් විසින් වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා නොගැනීම පිළිබඳ අවස්ථා කිහිපයකදීම අවධාරණය කළද ඒවා ක්‍රියාත්මක වීමක් සිදුවූයේ නැත. වත්මන් රජය විසින් දරුවන්ට වෙළෙඳ දැන්වීම්වලින් වන හානිය නිසා වයස අවුරුදු 12ට අඩු දරුවන් නුසුදුසු වෙළෙඳ ප්‍රචාර සඳහා යොදා ගැනීම තහනම් කිරීම, සෞඛ්‍යට අහිතකර දෑ අලෙවි කරන්නේ නම් එහි අඩංගු මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එම ඇසුරුමේම සඳහන් කළ යුතුවීම ඇතුළත් නීති පද්ධතියක් 2025 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සිදු කරමින් පවතියි.
ජනවාරි 1 වැනිදා සිට අත්හිටුවනවා
“කුඩා දරුවන්ට වඩාත් අහිතකර ජනතාවගේ සෞඛ්‍යට බරපතළ හානි ඇති කරන ආහාර රැසක් පිළිබඳ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ජනවාරි මස 1 වැනිදා සිට තහනම්. එසේම නුසුදුසු දැන්වීම් සඳහා කුඩා දරුවන් යොදා ගැනීමද තහනම්. ඉදිරියේදී සෞඛ්‍යට අහිතකර දෑ අලෙවි කරන්නේ නම් එහි අඩංගු රසායකිනක මෙන්ම මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එම ඇසුරුමේම සඳහන් කළ යුතු වෙනවා. මෙවන් අහිතකර දැන්වීම් ප්‍රචාරය නොකිරීම සම්බන්ධයෙන් වසර 19 ක් තිස්සේ ගැසට් ප්‍රකාශයට පත්කළද ඒ උත්සාහයන් අසාර්ථක වුණා. වත්මන් රජය කිසිදු බලපෑමකට යටත් නොවී මෙම ප්රචාරක දැන්වීම් පළ කිරීම ජනවාරි මස 1 වැනිදා සිට තහනම් කෙරෙනවා.” ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණිය.
මුලින් සඳහන් කළාක් මෙන් පැවැති රජයන් වසර කිහිපයක් තිස්සේ මේ තීරණය ක්‍රියාත්මක කිරීම කල් දමමින් සිටියද, එය තවත් ප්‍රමාද නොකිරීමට වත්මන් රජය තීරණය කිරීම අගය කොට සැලකිය යුතු කරුණකි. මෙම තීරණය ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව සූදානම් වෙන්නේ දරුවන් වෙනුවෙන් හොඳම දේ කරන්නටය.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සිළුමිණට අදහස් දක්වමින් පවසා සිටියේ විවිධ පාර්ශ්ව දරන මත අවධානයට ලක්කරමින් මේ පිළිබඳ අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් නිම කිරීමට සූදානම් බවයි.
දරුවන් යොදා ගැනීමට අපි විරුද්ධයි
“ අපි මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මේ පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙනවා. අන්තරායකර හා අපදාකාරි දැන්වීම් සඳහා මෙන්ම නුසුදුසු වෙළෙඳ දැන්වීම් සඳහා දරුවන් යොදා ගැනීමට අපි විරුද්ධයි. අප සිටින්නේ එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන තැනයි. මේ අවස්ථාවේ මේ ගැන විවිධ පාර්ශ්ව මත දක්වමින් තිබෙනවා. ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි.” ඒ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිරන්තරයෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙයි. ඔවුන්ද මේ කර්තව්‍යයෙහිලා මූලිකත්වය ගැනීමට සූදානම්ය.
වැඩිවෙන පැමිණිලි
“වර්තමානයේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් අභියෝග රැසක් තිබෙනවා. ඒ අතර ළමයින් විවිධ අපයෝජනයට ලක්වීම් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා ළමයින් යොදා ගැනීම බහුල වී තිබෙනවා. යොවුන් වයසේ පසුවන දරුවන් සමාජ මාධ්‍ය ජාලාවලට ආකර්ෂණය වීමක් අප දකිනවා. අන්තර්ජාලය හරහා මාර්ගගත අධ්‍යාපනය ලබාදීම් වැඩි වී තිබීමත් ඒ හරහා අන්තර්ජාල භාවිතයට යොමු වීම් හරහා විවිධාකාර පාර්ශ්ව දරුවන් අපයෝජනයට ලක්කිරීමේ අවස්ථා පවතිනවා. මෙවැනි අපයෝජන සිදුවීම, නිරුවත් ලිංගික ඡායාරූප බෙදාහැරීම් මෙන්ම තර්ජනය, බිය වැද්දීම් සිදුවන බවට අප ආයතනයේ 1929 ට බහුලව වාර්තා වෙනවා. මවුපියන් මේ පිළිබඳ සංවේදී වීමත් අවධානයෙන් කටයුතු කිරීමත්, තාක්ෂණික උපකරණ භාවිතයේ දී දරුවන්ට මේ පිළිබඳ අවබෝධයක් ලබා දීමත් කළ යුතුයි. ළමයින් නුසුදුසු වෙළෙඳ දැන්වීම්වලට භාවිත කිරීම හරහා ළමයින්ගේ පෞරුෂත්වය මෙන්ම ඔවුන්ට පීඩාකාරි තත්ත්වලට පත්වීම් දැකිය හැකියි. දරුවන්ට වන මේ අභියෝග ළමා ආරක්ෂණ අධිකාරිය නිරීක්ෂණය කරනවා. මේවා සමාජයට ගැළපෙනවාද යන අභියෝගය සමාජය අභිමුව පවතිනවා. ළමයින් දැනුම්වත් කිරීමට අපි පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා සේම පාසල් ළමා ආරක්ෂණ කමිටු ශක්තිමත් කිරීම මෙන්ම පාසල් ශිෂ්‍ය තානාතිපති වැඩසටහන ක්‍රියාත්මක කිරීම 2025 වසරේදී පුළුල් කෙරෙනවා.” ඒ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ – සැලසුම් හා තොරතුරු, නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩය.
කාන්තාවන් මෙන්ම දරුවන්ගේ පැමිණිලි නිතරම ගලා එන තවත් ස්ථානයක් වන්නේ ළමා හා කාන්තා කර්යාංශයයි. දරුවන් වෙනුවෙන් පවත්නා නීති රාමුව තුළ හිඳිමින් දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සිදු කළද මෙවැනි නීති රාමුවක් ඉදිරියේදී සකස් වීම තවත් කාලෝචිත පියවරක් බව ඔවුන්ගේ අදහසයි.
සමාජ මාධ්‍ය තුළ වෙළෙඳ භාණ්ඩයක් වීම
“නුසුදුසු වෙළෙඳ ප්‍රචාරණවලට දරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් විශේෂ පැමිණිලි අපට ලැබී නැහැ. එයට හේතුව ජනතාව එය වරදක් බවට හඳුනාගෙන නොතිබීමයි.
දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දරුවාගේ උපරිම යහපත ගැන අපි උනන්දු විය යුතුයි. ළමා ප්රඥප්තියේ කරුණු 4 ක් ගැන කියැවෙනවා. දරුවාගේ උපරීම යහපත, සහභාගිත්වයේ අයිතිය, ගෞරවනීයව සිටීමේ අයිතිය, වෙනස්කමට භාජනය නොවී සිටීමේ අයිතිය. මේ මූලධර්ම උල්ලංඝනය නොවිය යුතුයි. දරුවන්ව වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීමෙන් මේ කරුණු උල්ලංඝනය නොවිය යුතුයි.
මේ ප්රශ්නය අප අවබෝධ කරගත යුත්තේ ඒ ඒ සිදුවීම් අනුවයි. පෞද්ගලිකව පාසල් අධ්‍යාපනය අඩපණ වීම, දරුවන් වෙළෙඳ භාණ්ඩයක් වීම, තවත් කෙනෙක් එයින් මුදල් උපයා ගැනීම, ලබන ලාභ ප්‍රයෝජන දරුවාට ලැබෙනවාද නැද්ද, දරුවාට උපරීම යහපත සැලසෙනවාද නැද්ද යන්න අප බැලිය යුතුයි. දරුවා අලෙවියෙන් ලැබෙන දෙයට සමගාමීව දරුවාට යමක් ලැබෙනවාද යන්න කල්පනා කළ යුතුයි. තවත් පැත්තකින් ඊට සහභාගි වීමේ අයිතිය පැවැතියත් දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එය මවුපියන් සතු වගකීමක්ද වෙනවා. ඒ දරුවන් සියයට සියයක්ම මවුපියන් යටතේ සිටින නිසා. දරුවන්ට එයින් වන හානිය තේරෙන්නේ නැහැ.
වර්තමානයේ දරුවන් උපන් අවධියේ සිටම වෙළෙඳ දැන්වීම්වලට යොදා ගන්නවා. ඒ වගේම යූ ටියුබ් වැනි සමාජ නාළිකා හරහාද දරුවන් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙනවා. ළමා ප්රඥප්තියේ නීතිමය තත්ත්වය මෙන්ම දරුවන් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව දරුවන් භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. අවසානයේ දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුයි. වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිතය හරහා කුඩා දරුවන්ගේ සිදුවීම් වැඩියෙන්ම අලෙවි වීමක් කෙරෙනවා. මෙයින් පිරිසකට අමුතු ලාභයක් ලැබෙනවා. එය වැරදියි. රජය මෙවැනි ඍජු තීරණයකට පිවිසීම හොඳයි. දරුවාට උපරීම යහපත උදා කිරීමට කැප විය යුතුයි. ඒ නිසා වර්තමාන රජය ගැනීමට බලාපොරොත්තු වන මේ තීරණය ඉතාමත් කාලෝචිතයි. ” ඒ ළමා හා කාන්තා කර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරය.
පසුගිය රජය සමයේ විපක්ෂය විසින්ද දරුවන් නුසුදුසු වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගත යුතුද නැද්ද යන්න පාර්ලිමේන්තුවේ වාද විවාදවලට යටත් විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්නද මේ පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කළ මන්ත්‍රීවරියකි. මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමකදී ඇය පවසා සිටියේ දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා නොගැනීම මෙන්ම දරුවන්ගේ ආහාර සම්බන්ධ වෙළෙඳ දැන්වීම් පවා නිසි නියාමනයකට යටත් විය යුතු බවයි. කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශය මඟින් 2004 වසරේ දී මෙරට දිස්ත්‍රික්ක 12ක් පුරා කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ කාරණයක් වන්නේ මෙරට පාසල් සිසු දරුවන්ගෙන් 1/4ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඊට එක් හේතුවක් වී ඇත්තේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලින් පෙන්වන ආහාර වර්ග පරිභෝජනය කිරීම බවත් ය.
ආහාර වෙළෙඳ දැන්වීම්වලටත් මේ ප්‍රතිරෝධයම ආ යුතුයි
“ මෙම වෙළෙඳ දැන්වීම් සඳහා දරුවන් යොදා ගැනීමෙන් දරුවන්ට වන හානිය ඉතා වැඩියි. දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ළමයින්ට විශාල ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙනවා. මේවාට දරුවන් ඉදිරිපත් වන්නේ කිසිදු දැනුම්වත්කමකින් නෙමෙයි. ඒ නිසා එය එක්තරා ආකාරයක අපයෝජනයක්. ඒ, මෙහි ඇත්ත පරමාර්ථය හෝ දරුවන්ට මෙයින් වන හානියවත් ඔවුන් නොදන්න නිසාත්. ළමයින් යොදා මුදල් ඉපැයීම සුදුසු දෙයක් නෙමෙයි. දරුවන් සඳහා යැයි කියා ගන්නා ආහාර වෙළෙඳ දැන්වීම්වලටත් මේ ප්‍රතිරෝධයම ආ යුතුයි. මන්ද, දරුවන්ට ගුණදායකයි කියාගන්නා ආහාර බොහෝමයක් නිසි නියාමනයකට යටත් විය යුතුයි. බටහිර රටවල මේවා නිසි නියාමනයකට යටත් වෙනවා. ආසන්න රටවල සිදු වෙනවාද නැද්ද නොව මීට අදාළ නීති සකස් විය යුතුයි. ..” ඒ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්නය. අතීතයේ ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් හරහා කලා ලොවේ නමක් දිනූ චරිතද නැත්තේ නොවේ. පුංචි අපිට මතක සතයෙන් සතය ඉතුරු කරමින් ඉතිරි කිරීමේ පුරුද්ද කියා දුන් සුජානි මේනකා අද ජනප්‍රිය තරුවකි. ඒ එක් උදාහරණයක් පමණි. එදා ඇය ඊට මුහුණ දුන්නේ කුඩා දරුවකු ලෙසය. දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් දැක්වුවද මේ යෝජනාවට ප්‍රතිවිරුද්ධ මත දක්වන්නෝද සිටිති.
පදනමක් නැතිව තීන්දු තීරණ
“අවුරුදු 12ට අඩු ළමයින් වෙළෙඳ දැන්වීම්වලට යොදා ගැනීම තහනම් කිරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද? මම පුදුම වෙලා ඉන්නෙ මේ තීරණය ගැන. මොන පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම් වෙලාද තහනම් කරන්නෙ? කාගෙ යහපතටද? අලුත් ආණ්ඩුව දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් යමක් කිරීමට තැත් කරනවා නම් එය අගය කළ යුතුයි. නමුත් කිසිම පදනමක් නැතිව තීන්දු තීරණ ගැනීම විහිළුවක්. දරුවන් සම්බන්ධ ප්‍රමිතියක් ඇති වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කිරීමට පහත නීති රීති සම්පාදනය කරන්න:
ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව සම්බන්ධව විශේෂ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් මුද්‍රිත, විද්ය්ුත් සහ සමාජ මාධ්‍ය සඳහා හඳුන්වා දීම, සියලු මාධ්‍ය ආයතනවලට ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂණය ගැන පුහුණුවීම් ලබා දීම, දරුවන් සමඟ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කරන ආයතන ලියාපදිංචි කිරීම, දරුවන් සම්බන්ධ ප්‍රචාරණ කටයුතුවලට මාර්ගෝපදේශන මාලාවක් සැකසීම, දරුවන් සමඟ කටයුතු කරන සියලු ආයතනවලට ළමා ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම, දරුවන් සමඟ කටයුතු කරන සියලු වෘත්තිකයන් වසර 2කට වරක් Criminal Records Check පරීක්ෂණ සහතියක් ලබා ගැනීම අනිවාර්ය කිරීම කළ හැකියි. ආණ්ඩුව දරුවන් ආරක්ෂා කරන්න නම් ඉස්සෙල්ලාම හිරවෙලා තියෙන ළමා අපයෝජන නඩු 40,000 කඩිනම් කරන්න කියලා මම ඉල්ල සිටිනවා… ඒ ”ළමා හිංසනයට තිත පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්රමනායකයි.
වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් නිසා මවුපියන්ට තම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට සිදුව තිබේ. වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් හේතු කොටගෙන ළමයින් තම මවුපියන්ගේ මිල දී ගැනීම් කෙරෙහි කරන බලපෑම විශාල බව පර්යේෂණ මඟින්ද අනාවරණය වී තිබේ. එමෙන් ම, දරුවන් සාපේක්ෂ ව වයසින් අඩු වන්නට අඩු වන්නට වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් කෙරෙහි ඔවුන්ගේ අවධානය වැඩි වන බව අනාවරණය වී තිබෙනවා. එපමණක් නොව, වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් හේතුවෙන් දරුවන් තුළ වැරැදි සංජානන ඇති වන බවත්, එනම් එම දැන්වීම්වලින් නිරූපණය වන්නේ සැබෑ ලෝකයමය යනුවෙන් ඔවුන් තුළ වැරැදි අවබෝධයක් ඇති වන බවත් සන්නිවේදන විශේෂඥයෝ පෙන්වා දෙති.
සුභාෂිණි ජයරත්න