විදුලිබල ක්ෂේත්‍රය හා එහි ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ බලශක්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.
ශ්‍රී ලංකාෙව් විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේදී කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව ඒකකයක මිල වැඩි අගයක් ගන්න බව සැබෑය. එහි සාමාන්‍ය අගය ඒකකයකට ඩොලර් ශත 13කි. අපගේ ඉලක්කය නම් තවත් වසර 5ක් යන විට එය ඩොලර් ශත 8ක් දක්වා අඩුකර ගැනීමය. එවිට කලාපයේ තිබෙන තරගකාරී මිල ගණන් අතරට එය එක්වනු ඇත. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් ඩොලර් ශත 5ක් අඩුකර ගැනීම අපගේ අභිප්‍රායයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත පොරොන්දුව ද එයයි. එහෙත් ඒ අයුරින් ඩොලර් ශත 13ක සිට ඩොලර් ශත 8 දක්වා අඩුකර ගන්නා අතරමැද කාලයේදී ක්‍රමානුකූලව එය සිදුකරලීමට අපේක්ෂිතය. වසර 5ට පසු එළඹෙන කාලය තුළ මිලෙහි උච්ඡාවචනයන්හි සැලකිය යුතු වෙනස්වීමක් සිදු නොවනු ඇති බව කිවහැකිය. ඒ අයුරින් ඒකකයක මිල ඩොලර් ශත 8ක් ලෙසම තබා ගැනීම අපගේ බලාපොරොත්තුවය.
ප්‍රායෝගික ඉලක්කයක්
මෙවැනි ඉලක්කයක් කරා යාමට නම් පුනර්ජනනීය විදුලි බලශක්තියක් සඳහා අප යොමුවිය යුතුය. පුනර්ජනනීය බලාගාර සඳහා යෝජනා ඉදිරිපත් වීම සිදුවූයේ නිසි කාලයට නොවේ. අනෙක් අතට වසර 30ක් තිස්සේ ගල් අඟුරු බලාගාර ගැන කතා කළත්, අවශ්‍ය නිසි කාලයේදී ගල් අඟුරු බලාගාර සකස් කර ගැනීමට අපට නොහැකි විය. එසේම බලාගාර ස්ථාපිත කළා වුව ද, එල්.එන්.ජී. පැමිණියේ නැත. එසේ පැමිණි ටෙන්ඩර් පවා නියමිත කාලය තුළ පිරිනොනමා කල්දමා ගැනීම සිදුවිය. පුනර්ජනනීය බලාගාර ටික ද, අපට අහිමි වෙමින් යන්නේ ඒවා සෑදුව ද, ඒ සාදන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටිය තුළ තරගකාරී මිල ගණන් යටතේ නොවන බැවිනි.
විදුලි බිල පිළිබඳ සලකා බැලීමේදී විදුලි බිලේ 70%-80% අතර පංගුව ගොස් ඇත්තේ විදුලි ජනනයට බැව් කිව හැකිය. මෙහි අරුත නම් ජනන පිරිවැය අඩු නොකොට විදුලි බිල අඩු කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවය. එය නොතකා හරින්නේ නම් පසුගිය කාලයේ මෙන් ඉලක්කම් විජ්ජාවක් කළ යුතුය. එසේ නොමැතිව ස්ථිරසාර ලෙස විදුලි බිල අඩු කරන්නට නම් අඩු මිල බලාගාර සෑදිය යුතුමය. නව රජය ලෙස වසරකට මෙගා වොට් 400ක් බැගින් මෙගාවොට් 2000ක වහල මත සවිකරන සූර්බල පද්ධති සවිකිරීමේ ව්‍යාපාෘතියකට ගමන් කිරීමට අපේක්ෂා කරන්නේ ඒ නිසාය.
අනෙක් අතට මන්නාරමේ සිට පුනරීන් දක්වා ඇති සුළං පටියේ සුළං මඟින් විදුලිය ජනනය කළ හැකි කලාපයක් ලෙස හඳුනා ගෙන තිබේ. ඒ අනුව හැකි ඉක්මනින් තරගකාරී මිලට සුළං බලයෙන් විදුලිය උත්පාදනය කිරීම ද, එයින් ජාතික විදුලිබල පද්ධතියට වැඩි විදුලි ධාරිතාවක් එකතු කර ගැනීම ද අපගේ අපේක්ෂාවය. මේ අයුරින් හැකි ඉක්මනින් උපරිම විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම අප විසින් සිදුකරමින් තිබේ.
තත්ත්වය කළමනාකරණය කරගැනීම
සූර්ය බල සහ සුළං බල විදුලි උත්පාදන ක්‍රියාවලියට යද්දී අතරමැද කාලය තුළ එදිනෙදා පවත්නා තත්ත්වය කළමනාකරණය කරගැනීමට, එනම් තාවකාලිකව පවත්නා විදුලි බල උත්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සිදුවේ.
කැලණිතිස්ස හා කෙරවලපිටිය විදුලි බලාගාර ආශ්‍රිතව ඉදිවෙන බලාගාර දුවන්නට සිදු වන්නේ එල්.එන්.ජී. ස්වභාවික වායුවලිනි. ඉදිරි අවුරුදු 3ක් යන්නට කලින් එල්.එන්.ජී. පද්ධතිය සකස් කර, නළ පද්ධතිය එළා, මෙ.වො. 1500කට ආසන්න උත්පාදනයක් සිදු කළ යුතුය. ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද, අන්තර්ගත වන්නේ මෙයයි.
එසේ වුවද, වේදිකාෙව් කියූ දේ සහ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින දේ අතර වෙනසක් ඇතැයි ඇතැමුන් කියන්නට උත්සාහ කරයි. එහෙත් සැබවින්ම වේදිකාවේ කියන ලද දේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැවති කාරණයෙන් කොටසක් පමණකි. එබැවින් කරන්නේ කියූ දෑ මය.
විදුලි බිල 30%න් අඩුකිරීම අපගේ ඉලක්කය බව සැබෑය. එය කළ යුත්තේ ක්‍රමානුකූලවය. 3%ක ප්‍රතිශතයකින් පමණක් විදුලි බිල අඩු කළ යුතු යැයි කියන විට, 2024 වසරේ මුල මහජන උපයෝගිතා කොමිසම ඉදිරියට ගිය විපක්ෂයේ කණ්ඩායම් අතර අප ද පාර්ශ්වකරුවෙකි. එමඟින් 22-23%න් පමණ විදුලි බිල අඩුකර ගැනීමට හැකි විය. එසේම කර්මාන්තකරුවන්ට, හෝටල්කරුවන්ට විදුලිබිල අඩු නොකරන බව එවක රජය කියා සිටියදී, යළි මහජන උපයෝගිතා කොමිසම ඉදිරියට ගොස් කරුණු දක්වා 20%ක 22%ක පමණ ප්‍රතිශතයකින් කර්මාන්ත හා හෝටල් ක්ෂේත්‍රයට විදුලිබල අඩු කර ගැනීමට හැකි විය. ඒ අනුව මේ වසර තුළම 22%ක ප්‍රතිශත දෙකකින් විදුලිබිල අඩුකර අවසන්ය.
විදුලි නිපදවීම ප්‍රමාණවත්ද?
විදුලි ඒකකයක් යනු කිලෝ වොට් පැය 1කි. කිලෝ වොට් පැය මිලියනයක් ගිගාවොට් පැයකි. 2024 වසරට මුළු විදුලි ඒකක ඉල්ලුම විදුලි ඒකක ගිගා වොට් පැය 16,000ක් පමණ වේ. එනම් විදුලි ඒකක මිලියන 16,000කි. විදුලි 2025ට විදුලි ඒකක මිලියන 17,000ක් අවශ්‍ය වෙතැයි ගණන් බලා තිබේ. එනම් මේ වසරට වඩා බිලියනයක අවශ්‍යතාවක් පවතී. අන්තර්ජාතික එකඟතා අනුව තවත් ගල් අඟුරු බලාගාරයක් ඉදිවීම කිසිසේත්ම සිදුනොවේ.
මොරගොල්ල ජලාශය ආශ්‍රිතව මෙගා වොට් 30ක ජල විදුලියෙන් උත්පාදනය කළ හැකි උපරිම විදුලි උත්පාදනය දැනටමත් අප විසින් සිදුකර හමාරය. එහෙත් ජලය හා ගල් අඟුරුවලින් දැනට පවතින තත්ත්වයෙන්, බිඳ වැටීමෙන් තොරව පවත්වාගෙන යා හැකි වුව හොත් ඒකක බිලියන 10-12 අතර ප්‍රමාණයක් නිපදවා ගත හැකිය.
ඉතිරි ඒකක බිලියන 5ක විදුලි ජනනය ලබාගත හැක්කේ පුනර්ජනනීය හා තෙල් බලාගාරවලින් පමණකි. මේ වසරේ සෝලා සහ සුළං බලාගාරවලින් ජනනය කර ඇත්තේ ඒකක බිලියන 2ට වඩා අඩු ප්‍රමාණයකි. 2025දී දළ වශයෙන් එකී ඒකක බිලියන 2ක ගත්තත්, තවත් බිලියන 3ක් ම හිඟය. එය තෙල් ආශ්‍රිත බලාගාරවලින් සපුරා ගත යුතු වේ. එය මිල අධික බව අමුතුවෙන් කිව යුතු නොවේ.
වසරේ පළමු මාස 6 වියළි කාලගුණයක් පවතී. ජල විදුලිය නියමිත ඉලක්කයෙන් සපුරා ගත හැක්කේ අවසාන මාස 6 තුළය.
ඒ අනුව පළමු මාස 6 වැඩි මිලකටත්, අවසාන මාස 6 අඩු මිලකටත් විදුලි පිරිවැයක් දරන්නට සිදු වේ. එනම් මාස 6ට වරක් විදුලි බිල සංශෝධනය වීමේදී අවුරුද්දේ පළවෙනි මාස 6දී බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසාම ජනන වියදම ඉහළ අගයක් ගනී. 2025 දී පළවෙනි මාස 6දී විදුලිය ජනනය කර, සම්ප්‍රේෂණය කර බෙදාහැරීමට යන මුළු වියදම දළ වශයෙන් රුපියල් බිලියන 268කි.
දැනට පවත්නා විදුලි ගාස්තු ක්‍රමයම ඉදිරි මාස 6ක කාලය තුළ ඒ අයුරින්ම පවත්වා ගෙන ගියහොත්, අපට ලැබෙන ආදායම බිලියන 229කි. එහෙත් දරන පිරිවැයයි ලැබෙන ආදායමයි අතර වෙනසක් තිබේ. විදුලිබල මණ්ඩලයට අමතර වියදමක් ලෙස රුපියල් බිලියන 39ක් දරන්නට සිදු වේ.
දැනට කළ හැකි පුරෝකතනයට අනුව ලබන වසරේ මුල් මාස 6 ගෙවන්නට සිදුවන්නේ මේ අයුරිනි. විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් වාර්තාවේ දැක්වන්නේ ද මේ තත්ත්වයමය.
ඉක්මන් සහනයක් දිය නොහැක්කේ ඇයි?
2024 වසරේදී විදුලිබල මණ්ඩලය විසින් අධික ලාභයක් ලැබූ බවට මතයක් තිබේ. ඒ ලාභය මණ්ඩලය විසින් හෝ රජය විසින් තබාගෙන සිටින්නේ මන්ද යන්නත්, පාරිභෝගිකයාට ඒ වාසිය ලබාදිය නොහැක්කේ මන්ද යන්නත් ඇතැමුන් විමසනු ලබයි.
සැබවින්ම මේ වසරේදී ලැබුවා යැයි කියනු ලබන ලාභ බිලියන 140-150 ක පමණ මුදලකි. එහෙත් මේ වසරේ සැප්තැම්බර් මාසයේ අවසානය වන විට දළ වශයෙන් බිලියන 118ක් පමණ පැරණි වසරවල ණය වාරික ලෙස ගෙවන්නට තිබිණි. එකී හිඟ මුදල් යනු මුදල් මෙන්ම සැපයුම්කරුවන්ට බලාගාරවලට ගෙවන්නට තිබු මුදල් ද විය හැකිය.
එම මුදල් මේ වන විට ගෙවා නිම කර තිබේ. බිලියන 140-150ක් කියනු ලබන ලාභය, මේ ගිණුම්වල දකින්නට නොමැත්තේ මේ අයුරින් පෙට්‍රෝලියම් හෝ සුළං බලාගාර හිමිකරුවන් හෝ පුද්ගලික බලාගාරවලට හෝ ගෙවීම් සඳහා එම මුදල් දැනටමත් භාවිත කර හමාර බැවිනි. ඒ අනුව වැඩි විදුලි බිල් ගාස්තු ක්‍රමය යටතේ ගත්තා යැයි කියනු ලබන මුදලින් දැනට ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 41ක් පමණි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදුන් වාර්තාවේ පැහැදිලිව දැක්වෙන ආකාරයට ජනවාරි – සැප්තැම්බර් ඉපැයූ බිලියන 41 තුළ අතිරේක වියදම වූ බිලියන 39ක පියවා ගැනීමට යොදාගන්නා බව දක්වා තිබේ. එබැවින් සැබවින්ම ඉතිරි වන්නේ බිලියන 2ක පමණ මුදලකි. එබැවින් පාරිභෝගිකයාට දැනෙන මිල අඩු කිරීමක් කළ නොහැකිය. මේ නිසාම පවතින මිල ක්‍රමයම ඉදිරි මාස 6ටත් ගෙනයාමට සිදු වේ.
ඉදිරි සැලසුම්
විදුලිබල පනත සංශෝධනය කළ යුතු බව අප විසින් දිගින් දිගටම පෙන්වා දී තිබේ. දැනට පවතින පරිදි විදුලි ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම 100%ක්ම රජයට අයිති වන වෙනත් සමාගමකට පැවරීමට යෝජිතය. විදුලි ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර, මූල්‍ය හා පරිපාලනය වෙන් වෙන්ව සිදු කෙරෙන නීතිමය වශයෙන් වෙන්ව පිළිගන්නා ආයතන 3ක් බවට ස්ථාපිත කෙරෙනු ඇත. ඒ අනුව ජනන සමාගම් 3-4ක්, සම්ප්‍රේෂණය සඳහා සමාගම් 2ක්, බෙදාහැරීම් සමාගම් 4ක්, ආදී වශයෙන් මහජන හා පංගුකරුවගේ උපදේශනයට යටත්ව මෙම වෙන්කිරීම ( Unbundling) සිදුවනු ඇත.
එය පුද්ගලීකරණයක් නොව 100%ක් ම රජයට අයිති සමාගමක් ලෙස ප්‍රතිසංස්කරණය වීමය. එසේම මේ සියල්ල සම්බන්ධීකරණය කිරීමට ස්වාධීන පද්ධති ක්‍රියාකාරී සමාගමක් (රජයට අයිති) ස්ථාපිත කළ යුතුය. විදුලි මිලදී ගැනීම්, සැලසුම්, පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට විදුලිය ලබාදීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම මෙම සමාගමට පැවරේ.
එවැනි අනාගත වැඩපිළිවෙළක් වෙනුවෙන් විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කර ගැනීමට සිදු වේ. ඒ අනුව තවත් අවුරුදු 30-40ක් ඉදිරියට සිතන්නට හැකි බලශක්ති ක්ෂේත්‍රයටක් ගොඩනඟා ගත හැක්කේ එවැනි කාර්යයකින් පමණි. ඒ සඳහා සැලසුම් සකස් කිරීම ‘විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයෙන්’ සිදුවේ.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර