ජාතික ගුවන් විදුලිය ශතවර්ෂ පූරණය අභිමුවය. එය ලෝක සම්භාවිත මතක සමූහයක් සමඟ ගොඩනැඟෙන අසිරිමත් කතාවකි.
ජර්මන් ජාතික හෙන්රික් හර්ට්ස් විසින් සංඛ්‍යාත සොයා ගෙන ලෝකය ගුවන් විදුලිය පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි, ඉංග්‍රීසි ජාතික ඔලිවර් ලොජ්, ප්‍රංස ජාතික එඩ්වඩ් බ්‍රැන්ලි, රුසියානු ජාතික ඒ. එස්. පොපොන්, ඉතාලි ජාතික ගියුසෙප් රිගී ගුවන් විදුලිය තාක්ෂණික උපකරණයක් ලෙස සංවර්ධනය කරමින් සිටියේය. 1902 වන විට ඩෙන්මාර්ක් ජාතික වැල්ඩිමාර් පවුල්සන් ස්ථිර තරංග ලෙස තරංග යැවීමත්, පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ සේවය කළ අමෙරිකානු ජාතික ආර්.ඒ. පෙන්ඩසර්සන් සැතපුමක් පමණ දුරට මිනිස් කටහඬ යැවීමත් විද්‍යාත්මක තහවුරුව කළේය. එහි අවසන් නිශ්චිත ඵලය ලෙස 1919 ලෝකයේ පළමු ගුවන් විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානය මාර්කෝනි සමාගම විසින් චෙම්ස්ෆර්ඩ්වල ඇරඹුවේය. 1922 ජනවාරි 14 වැනිදා ලෝකයේ මුල්ම ගුවන් විදුලි වැඩසටහන ප්‍රචාරය කරමින් මුල්ම ගුවන් විදුලි සමාගම බිහි වූයේය.
ඊට අවුරුදු තුනකුත් මාස එකොළහකට පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බිහි වන්නේ ලෝකයේ දෙවැනි ගුවන් විදුලි ආයතනය ලෙසය. එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයකි. පළමු ලෝක සංග්‍රාමයෙන් විනාශ වූ සම්බැරීනයක වෙරළ දක්වා පණිවුඩ ගෙනයන රේඩියෝ උපකරණයක කොටස් සහ වෙනත් අමතර කොටස් භාවිත කරමින් කිලෝ වොට් භාගයක සම්ප්‍රේක්ෂණාගාරයක් කොළඹ කම්හලක ඉදිකර, සම්ප්‍රේක්ෂණාගාරය ඇතුළු සියලුම උපකරණ ඒ වන විට කොළඹ මධ්‍යම විදුලි සන්දේශ ගොඩනැඟිල්ලේ කාමරයක සවිකර වර්ෂ 1924 ජූනි මස 27 වැනිදා මුල්ම අත්හදා බැලීමේ විකාශනය කිරීම ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ මුල්ම ගුවන් විදුලි අත්දැකීම විය. මේ වැඩකොටස වගකීම් සහිතව පවත්වා ගැනීම සඳහා ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය බිහි වූයේය.
කොළඹින් බිහි වූ ලොව දෙවන ගුවන් විදුලිය
අනතුරුව වර්ෂ 1925 දෙසැම්බර් 16 වැනි දින නිල වශයෙන් මෙරට ගුවන් විදුලි සේවය ආරම්භ වුණේය. ඒ විශිෂ්ට කාර්යය සිදුකිරීමට පුරෝගාමී වන්නේත් මෙරට ගුවන් විදුලියේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේත් හාවඩ් හාපර්ය. 1926 වසර තුළ මේ ගුවන් විදුලියේ ජනතා ගුවන් විදුලියක හැඩතල පෙනුණි. 1926 අගෝස්තු 08 මුල්ම ආගමික වැඩසටහන විකාශය විය. ඒ ගාලුමුවදොර ‘ක්‍රයිස්ට් චර්ච්‘ දේවස්ථානයේ පැවැති දේව මෙහෙය විසුරුවා හරිමිනි. 1926 ඔක්තෝබර් 09 දා මුල්ම දෙමළ වැඩසටහනත්, ඔක්තෝබර් 14 දා ප්‍රථම බෞද්ධ ආගමික වැඩසටහනත් විකාශය කෙරිණි. ගුවන් විදුලිය සිංහල සංගීත වැඩසටහන් විකාශය කරන්නට ගන්නේ එම වසරේ නොවැම්බර් 03 වැනිදා සිටය. ප්‍රථම සිංහල ගුවන් විදුලි නාට්‍යය නොවැම්බර් 27 දා විකාශය විය.
එතැන් සිට බහු සංස්කෘතික බහු වාර්ගික වර්ණයන් ජාතියක් ලෙස එක මිටට ගනිමින් නිර්මාණය වූ විචිත්‍ර පරිසරය තුළ ශ්‍රී ලංකා ගුවන් විදුලිය පැමිණි සියවසක ගමන මේ රටේ සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික පරිණාමයේ නිශ්චිත හැඩතල ප්‍රකට කළ බව කිව යුතුය. ප්‍රබුද්ධ රසිකත්වය, සාහිත්‍ය, සංගීතය, කලාව, පෝෂණය කරමින් ජනතා ගුවන් විදුලියක හරාත්මක ව්‍යුහය ප්‍රකට කළ ජාතික ගුවන් විදුලිය ලෝක මට්ටමේ ආදර්ශයක්ව පැවැති අසිරිමත් යුග පසුකර පැමිණි වකවානු තිබිණි.
මෙරට ගුවන් විදුලියේ මුල්ම සිංහල ගායිකාව කෝකිලා දේවී වීරතුංගය. ඇය 1929 ජූනි මස 29 වැනිදා මුල්ම වතාවට සජීවී ගීතයක් ගායනය කරමින් ඉතිහාසගත ප්‍රවේශයක් විවර කළාය. ඒ ප්‍රවේශය ඔස්සේ පැමිණ මෙරට මහා රස භාව සමුදායක ගිල්වූ අප අත්විඳි උත්තම ඵල අතර අමරදේව ශූරීහු, නන්දා මාලනිය, මාලනී බුලත්සිංහල, එඩ්වඩ් ජයකොඩි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි මෙරට සුභාවිත ගී කෙත පෝෂණය කරමින් මහා රසිකත්වයක් ගොඩනැන්වූ විශිෂ්ටයෝ වූහ. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, වැනි ගුවන් විදුලි නිර්මාණකරුවෝ වූහ. ගුවන් විදුලිය ලංකාව තුළ චූල සංස්කෘතියක් බිහි කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලියට වසර සියයයි
ශ්‍රී ලංකා ගුවන් විදුලියට අවුරුදු සියයකි. දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වැඩසටහන් ධූරය දරන්නී මයුරී අබේසිංහය. ගුවන් විදුලි ඉතිහාසයෙන් තුනෙන් එකකට වඩා මඳක් වැඩි කාලයක් ඇය සිය රාජකාරි ජීවිතය තුළ ආවරණය කළ අත්දැකීම් සහිතය. සියවස් පූරණයේ අත්දැකීම් ලබන මොහොතේ අපි ඇය සමඟ කෙරෙන සංවාදය විපුල එකක් වනු ඇතැයි සිතුවෙමු.
වර්ෂ 1980 දී ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රාදේශීය සේවයවූ රුහුණු සේවයේ ළමා ශිල්පිනියක ලෙස ගුවන් විදුලියට එක්වන මයුරී ප්‍රධාන කාර්යාලයේ සහන නිවේදිකාවක ලෙස එක්වන්නී වර්ෂ 1986 දී ය. එතැන් සිට කොන්ත්‍රාත් නිවේදිකාවක, ස්ථිර නිවේදිකාවක, පාලකවරියක, අධ්‍යක්ෂවරිකයක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස වසර 38ක සේවා කාලයක් ගුවන් විදුලියේ සපුරා ඇති ඇස සිය වෘත්තීමය ජීවිත අත්දැකීම අප සමඟ බෙදා ගත්තාය.
“ජාතික ගුවන් විදුලිය ගොඩනැඟෙන්නෙම මහජන රේඩියෝවක් විදිහට. ආගම, සංස්කෘතිය, භාෂාව ආරක්ෂා කරගෙන ජාතික වගකීමක් ඉටු කළේ මූලික වාණිජ අභිමතයන්ට ප්‍රමුඛතාව ලබා දෙන්නේ නැතිව. ඒ වකවානුවේ තිබුණු එකම ගුවන් විදුලිය නිසා විශාල තරගයක් නිර්මාණය වූ වටපිටාවක් හැදුණෙ නෑ.
මුල් කාලෙදි ගුවන් විදුලිය දිනය ආරම්භ කරන්නේ සෙත් පිරිත්, ධම්ම චින්තා එක්ක. රෑට අවසන් වෙන්නේ පිරිත්වලින්. ඒ අතරතුර කාලය ඉතාම වගකීම්සහගත සහ සදාචාර සම්මුතින් රැසක ශික්ෂණය ලබමින් වැඩසටහන් විකාශය වුණා. ගුවන් විදුලි ගීත, නාට්‍ය සංවාදාත්මක වැඩසටහන්, සාහිත්‍ය වැඩසටහන් සහිත ගුවන් කාලය හරියට විශ්වවිද්‍යාලයක් වගේ. මට ලැබුණ වාසනාව තමයි මේ රැකියා ජීවිත ඇතුළේ ඩෝල්ටන් අල්විස්, සුධර්මන් ද සිල්වා, අමරබන්දු රූපසිංහ, එච්. එම්. ගුණසේකර, දයා ද අල්විස්, ප්‍රභා රණතුංග, කුසුම් පීරිස්, ජනනාත් ගුණවර්ධන, නිව්ටන් ගුණසේකර, පාලිත පෙරේරා, මයිකල් කරුණාතිලක, ප්‍රේමසර ඈපාසිංහ වැනි විදග්ධ පුද්ගලයන් ඇසුරු කිරීමට හැකි වීම. එය වෙනම තලයක දැනුමක්. ධර්ම ශ්‍රී මුණසිංහ, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න වැනි ගුවන් විදුලි නාට්‍යකරුවන් සමඟ වැඩ කරන්න ලැබුණා. හැම පැත්තෙන්ම පිරුණු මිනිස්සු හිටියා. දෙමළ, සිංහල, මුස්ලිම් සුසංයෝගත් එක්ක නිර්මාණ කළා. අයිතිය ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. එතැන මතු වුණේ පුද්ගලයා නෙමෙයි නිර්මාණ.
ලෝකයේ දෙවැනි ගුවන් විදුලිය සේම ආසියාවේ පළමු ගුවන් විදුලිය මෙයයි. මෙතැන කලාකරුවන්ගෙන්, සංගීතඥයින්ගෙන් පිරුණු තැනකි. ගවේෂකයන් හැදුණු තැනකි. ගුවන් විදුලියේ කොරිඩෝවෙදිත් අපට මුණ ගැසෙන්නේ රටේ සම්භාව්‍ය විද්වතුන්ය. එහෙත් ගුවන් විදුලිය අද යම් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදී ඇත්තේය. ඒ පිළිබඳ මයුරී අපට කියන්නීය.
“ආයතනයක් ගොඩනඟන්න ජාතික සැලසුමක්, ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එහි ජාතික වගකීම සම්බන්ධව රජයක පාර්ශ්වයෙන් තේරුම් ගෙන ජාතික ගුවන් විදුලිය වෙළෙඳපොළ තරගයට අනවශ්‍ය ලෙස තල්ලු නොකර පවත්වා ගැනීමේ රාජ්‍ය භාරය දැරිය යුතුයි යන අදහසක් මට තිබෙනවා. නාළිකා 13ක් අපේ තිබෙනවා. ප්‍රාදේශීය නාළිකා 07ක් තිබෙනවා. සිංහල නාළිකා 03ක්, දෙමළ නාළිකා 2ක් සහ ඉංග්‍රීසි නාළිකා ඇතුළත් මෙම නාලිකා 13 සමඟ තරගයකට මුහුණ දෙන්න ඕන. එය පවතින සමාජ වෙනස්වීම යටතේ පහසු දෙයක් නොවෙයි. නමුත් කළ හැකි දෙයක්.
ගුවන් විදුලියේ සදාචාරාත්මක ආදර්ශය
මේක සරසවියක් වගේ තැනක්. සියලු ආගම්, ජාතීන් සහ භාෂා එක් වුණු තැනක්. අප ජාතික සමඟිය, සංහිඳියාව ගැන කතා කරනවා. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි. එහි ජාතික වගකීමක් ජාතික ගුවන් විදුලියට තිබෙනවා. මොන තරම් වාණිජකරණය වූ ලෝකයක පවා අප ගුවන් විදුලි වෙළෙඳ දැන්වීමක් පළ කරන්නේ දැඩි ආචාර ධර්ම පද්ධතියකට යටත් වෙලා. මම හිතනවා ගුවන් විදුලියේ සදාචාරාත්මක ආදර්ශය ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. මෙතැන මුල් කරගනිමින් මාධ්‍ය සදාචාරය, මාධ්‍යකරුවාගේ වගකීම, වගවීම, සාරධර්ම ගොඩනැඟීමට ක්‍රියා කළ යුතුයි යන්නයි මගේ හැඟීම. ඒ වෙනුවෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි.“ ඇය කියන්නී සිතා බැලිය යුතු කතාවකි.
“තවමත් බොහෝ නිර්මාණකරුවන් ඔවුන්ගේ ගීත අපේ සරල ගීයක් ලෙස අනුමත කරගන්න උත්සාහ කරනවා. තවමත් සරල ගී ඔඩිෂන් තිබෙනවා. ළමා ගී ඔඩිෂන් තිබෙනවා. ඇවිත් බලන්න මොනතරම් ඉල්ලුම් පත්‍ර තියනව ද? එයින් කී දෙනෙක් ද පාස් වෙන්නේ කියලා. මේ විදිහට ජාතික ගුවන් විදුලිය විදිහට සමාජයක් රක්ෂා කරගෙන යන වැඩක් අපට තියෙන්නෙ. එය පහසු නොවුණත් සියවසක සමාජ වගකීම අපෙන් ඈත් වෙලා නෑ.
අද පෞද්ගලික මාධ්‍යවල මුල් පුටු හොබවන බොහෝ පිරිසක් ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වලින් ළමා ශිල්පීන් ලෙස ආපු අය. ඒ අය හොඳ දේ ඉගෙන ගත්තත් අපේ පොදු න්‍යාය පත්‍ර අමතක වෙනවා පෞද්ගලික ආයතනවල වාණිජ ඉලක්කවලට යන ගමනේදි. හැබැයි අපි එක තැනක නතර වෙලා බැලුවොත් ජාතික ගුවන් විදුලිය වැඩියෙ කෑ ගැහුවේ නැති වුණාට භාෂාව පිළිබඳ ප්‍රමිතීන් ආරක්ෂා කරනවා. තවමත් අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ ලිඛිත භාෂාවෙන්. ”
ගුවන් විදුලිය කියන්නෙ භාෂාව පෝෂණය කළ තැනක්. ක්‍රිකට් විස්තර විචාරයෙදී අද භාවිත වන සිංහල වාග් කෝෂය හැදුවේ පාලිත පෙරේරා. ඔහුට එකතු වුණා ප්‍රේමසර ඈපාසිංහ. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව අපේ ක්‍රීඩාවක් කළා. ඒ ක්‍රීඩා පිටියේ තත්ත්ව චිත්ත රූප බවට පත් කරමින්. මාධ්‍ය හරහා භාෂාව විපරීත වන බවට චෝදනා එනවා නම් එහි නිශ්චිත සුභාවිත සාධකය අප විය යුතුයි. “
එක් අතකට ගුවන් විදුලිය යනුත් මෙරට සමාජ සංස්කෘතික සහ දේශපාලන විචලනයන්හි දර්ශකයකි. සමාජ පරිහානියේ හැඩතල ගුවන් විදුලිය තුළ ද ප්‍රකාශ විය. එහි අවසන් ඵලය වූයේ ජනතාවගේ ප්‍රසාදයෙන් ගිලිහුණු සංසාර පුරුද්දට කරගෙන යන මොකක්දෝ සේවාවක් බවට ගුවන් විදුලිය පත්වීමය. සියවස් පූර්ණයට සැරසෙන ජාතික ගුවන් විදුලිය පවතින්නේ ගොඩගත යුතු මට්ටමකය. එය යථාවත් කර ජාතික සේවාවක් බවට පත් කිරීමේ වගකීම මේ වනවිට රාජ්‍යය විසින් පවරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර වෙතය.
ජාතික ගුවන් විදුලියේ ජාතික වගකීම සහ වගවීමේ ප්‍රමාණය සම්බන්ධ නිශ්චිත ගැඹුරු අදහසක් සහිතව, විෂය ක්ෂේත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් දැක්මක් සහිත විද්වතෙක් ලෙස අප ඔහු සමඟ සාකච්ඡාවට ප්‍රවේශ වන්නේ එළැඹෙන සියවස සඳහා ජාතික ගුවන් විදුලියේ ප්‍රවේශය පිළිබඳ විමසමිනි. සභාපතිවරයා සිය හඬ අවදි කළේය.
දැන් සීමාව සදාචාරය සහ නීතිය විතරයි
“ගුවන් විදුලිය අවුරුදු සීයක ඉතිහාසයක් සපුරනවා. දුර ඉඳලා බලනකොට ඒක විශාල අභිමානයක්. ළඟට ඇවිත් බලනකොට එතැන විශාල අඩුපාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒ අඩුපාඩු මාධ්‍ය නිසා, ගුවන් විදුලියම නිසා, ඇතිවුණු අඩුපාඩු නෙමෙයි. යම් යම් කළමනාකරණ දෝෂ නිසා ඇතිවූ තත්ත්වයන්. ඒකෙන් මිදෙන්න නම් අපට සිද්ධ වෙනවා මේ මාධ්‍ය තුළ ආයතනික විනයක් කළමනාකරණයක් පවත්වා ගන්න.
අනික් පැත්තෙන් ජාතික මාධ්‍යයක් ලෙස අපට ඒ මොහොතේ පැවරෙන ජාතික කාර්යභාර්යයක් තිබෙනවා. අද දවසේ තිබෙන ජාතික කාර්යභාර්ය නොවෙන්න පුළුවන් හෙට දවසේ කාර්ය භාර්යය. ඒ වගේම මේකට අදාළව දැක්මක්, මෙහෙවරක් තිබෙන්න ඕන. හෙට දවසේ මේ දැක්ම හෝ මෙහෙවර එකට ගත්තට පස්සේ අවසාන විග්‍රහයෙදී සිද්ධ වෙන්නේ අදට වඩා හෙට මිනිස්සු මේ මාධ්‍යයට දුරස්වීම නම් එ් මාධ්‍යයෙන් වැඩක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ එතැන.
අද සමාජය හා ජාතික ගුවන් විදුලිය අතර යම් දුරස් භාවයක් තිබෙනවා නම් හෙට දවසේ එහෙම තිබෙන්න බෑ. ගුවන් විදුලිය කියන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සම්භාරයක්. ඒකෙන් යම් ප්‍රමාණයක් ගුවන් විදුලිය දැනටත් ඉටු කරනවා. බොහෝ තරගකාරී ආයතන දැන් තිබුණත් ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ වගකීම්සහගත දේ ජනතාවට ලබා දීමේ වගකීම ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ ජාතික ගුවන් විදුලියට. ඒක රටේ පරිපාලනයත් දේශපාලනයත් එක්ක බැඳිච්ච සමාජ පැතිකඩක නියෝජනයක්. එතැන මුදල් ඉපැයීම සඳහා කරන ව්‍යාපාරයක් නෙමෙයි තිබෙන්නේ. ඕනෑම නාළිකාවක් ගත්තට පස්සේ ඒ නාළිකාවල පැවැත්ම සඳහා යාන්ත්‍රණයක් තිබෙන්න ඕන. ඒක ඇතුළේ යම් යම් අවස්ථාවල වැට මායිම් පැන්න අවස්ථා තිබෙනවා. නමුත් අපට මුදල් වාසි බලාගෙන වැට මායිම් පනින්න බෑ. ඒ නිසා සමාජ සදාචාරය සහ සුරක්ෂිතභාවය යන සීමාව ඇතුළෙ තමයි අපට මේ මාධ්‍යයේ හෙට දවස ගැන හීන දකින්න පුළුවන් වෙන්නේ.
අපේ ගුවන් විදුලියට උරුමකම් ටිකක් තිබෙනවා. මේ උරුමකම්වල සමහර දේවල් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුවෙලා නෑ. ලෝකයාට අධ්‍යාපනයක් දෙන්න අපේ පුස්තකාල සම්පත් ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට ගත්තා ද යන්න ගැටලුවක්. ඒවගේම මෙය ඉගැනුම් පරිශ්‍රයක්. සන්නිවේදනය උගන්වන්න පෞද්ගලික හා රාජ්‍ය මට්ටමේ ආයතන තිබුණත් ගුවන් විදුලියට ආයතන නෑ නේද? ගුවන් විදුලි මාධ්‍ය සමාජ අනුහුරුකාරක මාධ්‍යයක් හැටියට ගත්තත් ඒකට වගකියන්න ඕන ජාතික ගුවන් විදුලිය.
ගුවන් විදුලිය සමාජයේ යම්කිසි ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප වීමට බලපාපු එක්තරා හේතුවක් වන්නේ වෙනත් මාධ්‍යවල තරගකාරිත්වය නිසා අඩියක් පස්සට ගන්න සිදුවීම. නමුත් ගුවන් විදුලියේ සමාජ කාර්ය භාර්යය ඊට වඩා හොඳින් කවුරුහරි කරනවා දැයි බැලුවොත් ඒකට උත්තර නෑ.
සන්නිවේදනයේ අප ප්‍රධාන ක්‍රමවේද දහයක් භාවිත කරනවා. අභිනයෙන් පටන් අරන් ශබ්දය පාවිච්චි කරනවා. සංකේත ගොඩනැඟීම්, භාෂාව, සිතුවම්, ඡායාරූප, සිනමාව, වීඩියෝ, ඩිජිටල් මාධ්‍ය, සහ ඊට පස්සේ මිශ්‍ර මාධ්‍ය කියන තැන දක්වා එනවා. හඬ කියන එක මේ ගමනේ දි අපි භාවිත කරන්නේ පරිකල්පනය සඳහා වූ ඇමක් විදිහට. හඬෙහි ඵලදායී තත්ත්වය පරිකල්පනයත් එක්ක බැඳෙනවා. ඊට ඉදිරියෙන් තිබෙනවා සාහිත්‍යය. එක වචනයකින් තත්ත්වාකාරයක් පරිශ්‍ර නිශ්චයක් හදා ගන්නවා පාඨකයා. සාහිත්‍යයට පස්සේ ඒ පරිකල්පනය ත්‍රීව්‍ර කරන මාධ්‍ය තමයි ගුවන් විදුලිය. අපේ අභිලාෂ තමයි අපි හඬින් මවාගන්නේ. ඒ කියන්නේ ගුවන් විදුලිය මානවීයත්වය ගැඹුරින්ම ස්ඵර්ශ කරන මාධ්‍යයක්.
හෙට දවසේ ඉලක්කය
එක් පැත්තකින් නූතන සමාජයේ සාහිත්‍යයට වඩා ගුවන් විදුලියේ ඇසුර පහසුයි. මේ ඇසුර යම් තැනක විතැන් වෙලා. මෙන්න මේකට යම් සමාජ සීමාවක් පනවාගෙන සමාජ කාර්යභාරයක් ඉටු කිරීමයි ගුවන් විදුලියේ හෙට දවසේ ඉලක්කය වෙන්නේ. අපට එක්තරා විදිහට ශබ්දය පරිකල්පන මාධ්‍යයක් ලෙස පවත්වා ගැනීම සිදු විය යුතුයි. ගුවන් විදුලි නාට්‍යයක් තුළ අප සියලුම දේ රූපාකාරයෙන් මවා ගන්නවා. ඒක පරිකල්පනයෙන් සිදුවන දෙයක්.
මේ රටේ මොනතරම් ගුවන් විදුලි මාධ්‍ය වැඩි වුණත් අප අතින් අත්හැරුණු යුතුකමක් තිබෙනවා. විනෝදසමය, ගුවන් විදුලි රඟමඩල, විශ්ව සාහිත්‍ය වැනි රසිකත්වයට කිසිම තැනක ප්‍රමාණවත් ඉඩක් ලැබිලා නෑ. එය යල් පැනලා ගිහින් නෑ. ඒක දැම්මොත් ඒක අහන්න මිනිස්සු ඉන්නවා. ඇනස්ලි බර්ටි සැමුවෙල් ලා සද්දෙන් දුන්න හිතා ගන්න බැරි ආනන්දයක්. නාළිකා වැඩි වුණා මිනිස්සු වැඩි වුණා. ඕඩියෝ විෂුවල් ආවා. ඒත් අද ඒ ආනන්දය මිනිස්සුන්ට ලැබෙනව ද? ඒ නිසා ප්‍රබුද්ධත්වය ගුවන් විදුලි මාධ්‍ය තුළ කොහොමත් තිබෙන දෙයක්. ඒක නඩත්තු කිරීමේ ජාතික වගකීමක් තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් විදුලියට තිබෙන්නේ අධ්‍යාපනික, සමාජයීය, සංස්කෘතික වශයෙන් පුළුල් වගකීම් සහගත අරමුණක්. ඒ හේතුව නිසා ජාතික ගුවන් විදුලියේ හෙට දවස කියන්නේ එක්තරා විදිහට ඒ අරමුණු සාක්ෂාත් කිරීම වගේම යම් ප්‍රමාණයකට පහුගිය කාලයේ මාධ්‍යයක් ලෙස ගුවන් විදුලි මාධ්‍යයේ අත්හැරුණු වගකීම් සහ යුතුකම් ඉටුකරගැනීමේ සමස්ත ක්‍රියාවලියක්.“
ඒ අරමුණුවලට යන්න ඇති සැලැස්ම කුමක් ද? අපි සභාපතිවරයා විමසුවෙමු.
” වැඩසටහන් අංශය වැඩිදියුණු කිරීම සහ නව රසිකත්වය ස්පර්ශ කිරීම. සම්භාව්‍ය රසිකත්වය ප්‍රතික්ෂේප නොකර එය කළ යුතුයි. ඒ වගේම සමාජ සංකේන්ද්‍රීය අදහස් හුවමාරු කිරීම, නඩත්තු කිරීම හා නව තාක්ෂණයට අනුහුරු වීම අවශ්‍යයයි. ගුවන් විදුලිය ලෙස අප ඒ අතින් ඉතාම දුර්වලයි. නව තාක්ෂණයත් එක්ක විකාශන හරියට වෙන්නෙ නෑ. ඒකට හේතුව පහුගිය කාලයේ අප තාක්ෂණික පරිණාමයට සමාන්තරව ඉදිරියට ඇවිත් නෑ.
මේවා වෙන වෙන දේශපාලනික වහල් කඳවුරු ලෙස නඩත්තු කරන් ඇවිත් බිත්තියටම හේත්තු වුණාට පස්සේ දැන් කර කියාගන්න දෙයක් නෑ. පවත්වා ගෙන යන්න බැරි තැනකට ඇවිත් තිබෙනවා. මේ ආසන්න ගැටලු ටිකත් එක්ක තමයි අපට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මේ සියවස් සැමරුම ඒ වෙනසට පාදක කරගන්න නිමිත්තක් කරගෙන අපට ශ්‍රාවකයට ළං වෙන්න හොඳම අවස්ථාවක් කරගන්නවා.
සමහර වැඩසටහන්වලට අපට යූ ටර්න් එකක් ගන්න වෙනවා. තාක්ෂණික වශයෙන් අපට අප්ග්‍රේඩ් වෙන්න වෙනවා. මාධ්‍ය සංවර්ධනය වගේ මේ ආයතනය විශාල ජාතික දේපළක් තියන ආයතනයක්. ජාතික දේපළ කියන්නෙ නැවත ආයෝජන අවස්ථාවක්. එය නිවැරදි තැනට ගන්න අපට තීරණ ගන්න වෙනවා. අවිධිමත් පරිපාලනයක පව කර ගහන්න වෙලා තියෙන්නේ වර්තමාන පරිපාලනයට. එතැනදි තමයි රටේ නීතියට යටත්ව මේ ඍජු තීරණ ගන්න වෙන්නේ. ගුවන් විදුලි අභ්‍යාස ආයතනය තිබෙනවා. කොත්මලේ තිබෙනවා පුහුණු මධ්‍යස්ථානයක්. කඳුරට, රජරට, රුහුණ තිබෙනවා ආයතන. මේ ආයතනවල උගන්වන්නේ පොඩි දරුවන්ට. ඔවුන් මතුවෙන්නේ දැනුම්වත් භාවයකින්. ගුවන් විදුලි නාළිකාවල වැරදි භාවිතය නිවැරදි කරන්න පුළුවන් වෙන්නෙත් සුභාවිතයෙන්. එතකොට තමයි අන්තරය පෙනෙන්නේ. සුභාවිතය රස දැනගත්තට පස්සේ ඉඳලා හිටලා හෝ ශ්‍රාවකයන් අපවත් අසයි“.
සියවස සමරන්න ගුවන් විදුලිය වැසෙයිදෝ නැතිනම් රූපවාහිනිය සමඟ එක්වේදෝ යන කතාවක් සමාජයෙන් ඇසෙමින් තිබෙනවා… අප විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “ඒක වෙන්නේ නෑ. වෙන්න පුළුවන් දේ මේකයි. මේ දෙකම රාජ්‍ය මාධ්‍යය. ඒ දෙකේ මූල්‍ය අංශය තනි යන්ත්‍රණයක් කළ හැකියි. පාලන අංශය එකක් වුණාට මාධ්‍ය දෙක දෙකක්. මේ රටේ වෙනස්කමක් සහ චින්තන වෙනසක් අබිමුව තමයි අපි මේ ඉන්නේ. වෙනස්කම සඳහා සූදානමක් ජනතාවගෙනුත් සිද්ධ වෙනවා. ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟීම සහ එම ක්‍රියාවලිය පවත්වා ගැනීමේ අවශ්‍යතාවකුත් තිබෙනවා. මේ යන්ත්‍රණය සඳහා මැදිහත්වීම රාජ්‍ය මාධ්‍ය සතු වගකීමක් ලෙස අප දකිනවා.
රටේ දේශපාලනය සඳහා වහලෙක් වූ, රජයේ හොරණෑව යන්නයි ගුවන් විදුලියට මෙපමණ කාලයක් තිබුණු ඉතිහාසයේ අත්දැකීම. අද වන විට ජාතික ගුවන් විදුලිය ඒ ගොහොරුවෙන් මිදී වෙන හැඩයකට ඇවිත් තිබෙනවා. ප්‍රවෘත්තිවල අන්තර්ගතයේ සාපේක්ෂව සමතුලිතතාවක් දැන් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ ආකල්පය අපට තවමත් වෙනස් කරගන්න බැරිව තිබෙනවා.
මිනිස්සු අහන මාධ්‍යයක් ලෙස ගුවන් විදුලිය පත් කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරදීමයි මූලිකවම කළ යුතු වෙන්නේ. අප කළ යුතු වන්නේ පවතින තත්ත්ව ඇතුළෙ සමබර වේදිකාවක් හදන එක මිසක් කාටවත් සුදු හුණු ගාලා නිශේධනය කරලා ඩෝසර් කරන එක නෙමෙයි. අද වෙනත් කිසිම සීමා කිරීමක් නෑ. සීමාකාරි සාධක වෙන්නේ නීතිය සහ සදාචාරය. ගුවන් විදුලිය අනාගතයට මඟ පෙන්වන පහන් දොරක් විය යුතුයි. ඒ වෙනුවෙන් අංශු මාත්‍ර දෙයක් හෝ කරන්න පුළුවන් නම් අනාගතයේ දරුවො පින් දෙයි අපට පාර කිව්ව ආයතනය මේක කියලා.“
ඒ අදහස අප තුළ යහපත් හෙට දවසක් පිළිබඳ පහන් අලෝකයක් දල්වන්නේය.
සුවපත් සමාජයක් වෙනුවෙන් ජාතික ගුවන් විදුලියේ කාර්යභාරයය සම්බන්ධව සියවසක් පුරන මොහොතේ රට අපේක්ෂා සහිතව බලා සිටින බව කිව යුුතුව ඇත.
ඡායාරූප – තිලක් පෙරේරා
ටානියා මෝසස්