රිළවු ලක්ෂයක් චීනයට යැවීමට මුලින්ම පිඹුරුපත් සකස් වුණේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර යුගයේය. මේ රිළා ප්රශ්නය ගැන එවකට තලංගම ජයසිංහ කාටුන් ශිල්පියා කාටුනයක්ද නිර්මාණය කරන ලදි.
චීනයට රිළව් ඕන කියන්නේ.
ටින් කරලද? නැතිනම් වේළලද ?
එම කාටූනය වම් කොනේ එවැනි දෙබස් පේළි 2 ක් විය.
පසුගිය සති කිහිපයක සිට මේ රිළව් ප්රශ්නය නැවතත් කරළියට ආවේ කෘෂිකාර්මික ක්ෂේත්රයට රිළවුන් විසින් සිදු කර ඇති හානිය සුළු පටු නොවූ නිසාය.
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ගොවිජනතාවද සම්බන්ධ කර ගනිමින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි. සෑම ග්‍රාම සේවා වසමකම මහජනතාව සම්බන්ධ කරගත් ඒකකයක් මේ සඳහා ස්ථාපිත කිරීම මඟින් මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාගත හැකිවන බව රජය විස්වාස කරයි. මෙම ඒකක නියෝජනය කරන ජනතාවට වන සතුන්ගේ වගා බිම් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම හා පුහුණුව ලබාදිය හැකි අතර වායු රයිෆල් ලබා දෙන්නේ නම් එම ප්‍රමාණය පිළිබඳව ගම්මාන මට්ටමින් අපිට තීරණය කළ හැකි බව ඔහු පවසයි.
පසුගිය සතියේ රිළවුන් ඇතුළු වන සතුන්ගෙන් වන වගා හානි ගැන රටේ කිහිප තැනකම විරෝධතා දැක ගතහැකි විය. එයින් එකක් පැවතියේ තිස්සමහාරාම කතරගම මාර්ගයේ කාවන්තිස්සපුරදීය. අනෙක් විරෝධතාවය පැවතියේ තන්තිරිමලේදීය.
කාවන්තිස්සපුර විරෝධතාවයේදී සැබෑ පරිසර හිතකාමීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු අසිත සමරසේකර ඇතුළු ගොවීන් තම විරෝධය පෑවේ අසමතුලිත පරිසරයක් – අපට ඕන උත්තරයක් ‘රිළා, වඳුරු, මොනරු කරදරයක් – දුරු කළොතින් සැමට සෙතක්’ යනුවෙන් හඬ නගමිනි.
මෙහිදී සමරසේකර වැඩිදුරටත් පවසා සිටියේ මේ රිළා ප්රශ්නයේ සැබෑ ස්වරූපයයි.
“ පරිසරවේදීන් කියාගත් පිරිසක් පරිසරය ගැන දැනුමක් නැතිව මාධ්‍යයට අදහස් පළ කරාවී. වනජීවිය රැකෙන්නට නම් රටේ කෘෂිකර්මාන්තය පවත්වාගෙන යා යුතු බැවින් මෙම සතුන් මර්දනය කොට පාලනය කළ යුතු කාලය එළඹ තියෙනවා. මේ පරිසරවේදීන් කියන අය කිසිම දිනක පරිසරයකට ගිහිල්ලා නෑ. ඊයේ පෙරේදා නෝනා කෙනෙක් කියනවා රිළව් වඳුරු පොල් ගස්වලට නැගලා ගෙඩි කනකොට ඒවා ඉන්න කෘමින් විනාශ වෙලා පොල් ඵලදාව වැඩි වෙනවා කියලා. ඒ කියන කෙනා පොල් ගහක් දැකලවත් තියෙනවද කියල අපිට සැකයි. ඒ වගේම පෙර අස්වනු කාලයේ සියයට පහයි කියල පරිසරවේදීයෙක් කියනවා. ගොවීන් මේ සතුන් එක්ක වගා කරන්න බැරිව ගොවිතැන අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේවා ඔක්කොම විහිළු කතා. ඒ නිසා රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන මේ සතුන් වෙනත් රටකට ගෙනියන්න. එහෙම නැතිනම් මර්දනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා මම කියනවා.”
මේ අතර හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර රිළවුන් ගැන නැවතත් කට ඇරියේ ‘රිළා ප්රශ්නය’ දැන් ජාතික ප්‍රශ්නයක් වී ඇති නිසා විය යුතුය.
හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියේ චීනයේ සත්ත්ව උද්‍යානවලට රිළවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය. රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානවලට යැවීමට තමා පියවර ගත් අවස්ථාවේදී ඇතැම් පරිසරවේදීන් අධිකරණ ක්‍රියාමර්ගයට ගිය බැවින්, එය අත්හිටුවීමට සිදුවූ බව ඔහු පවසා සිටී. පරිසරවේදී සංවිධාන සමඟ තමා සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුවද ඔවුන් පිළිගත හැකි ප්‍රායෝගික විසඳුම් නුදුන් බවද හිටපු ඇමැති අමරවීර හෙළිදරව් කරන ලදි. රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට තාමන් ඉඩකඩ ඇති බැවින් වහාම එම යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස හිටපු කෘෂිකර්ම ඇමැති අමරවීර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම බොහෝ දෙනාගේ කතා බහට හේතු වූ කාරණයක් වී තිබේ.
මේ අතර රිළා උවදුර තුරන් කිරීමට විසඳුමක් ලෙස රිළවුන් වන්ධ්‍යාකරණය දෙසැම්බර් 12 වැනිදා මාතලේ ඉහළ හරස්කම ප්‍රදේශයෙන් අරම්භ කරන ලදි. මේ සඳහා රජය රුපියල් මිලියන 4.5ක් වෙන් කොට ඇති අතර ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට හමාරය.
මාතලේ දිස්ත්‍රික්කය තුළින් උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිළවුන් (ගැහැණු / පිරිමි) ගිරිතලේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ධ්‍යකරණය සිදුකර නැවත අල්ලා ගත් ප්‍රදේශයට එම සතුන් ගෙනවිත් දැමීමට නියමිතය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ අජිතා අමානික්රම ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
රිළා උවදුර ගැන පසුගිය සතියේ තවත් උද්ඝෝෂණයක් පැවතියේ නාවලපිටියේ වසම් තිස් එකකට අයත් ගොවි සංවිධානවල ගැමියන් කුරුඳුවත්ත නගරයේදීය. ඔවුනගේ ප්‍රධාන චෝදනාව වූයේ රිළවුන් තම නිවෙස්වල වහළ අලාභ හානි කිරීම නිසා තමන්ට තෙමෙන්නට සිදුවී ඇති බවය. මෙම විරෝධතාවයේදී රිළවුන් නිසා සිදුවූ හානියක් අනාවරණය විය. ඒ රිළවුන් නිසා ගෙවල්වල දක්නට ලැබුණ වී කුරුල්ලන් වඳවීමයි. ඊට හේතුවී ඇත්තේ රිළවුන් විසින් ගේ කුරුල්ලන්ගේ බිත්තර ආහාරයට ගැනීමය. එමෙන්ම රිළවුන් කුරුළු කූඩු කඩා බිත්තර ආහාරයට ගැනීම නිසා කපුටා, ගිරවා, මයිනා වැනි සතුන් වඳවී යන බවද වාර්තා විය. ලංකාවේ ප්‍රධාන වශයෙන් භෝග හානි කරන සතකු වන්නේ මොනරාය. මොනරා ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව ‘නරි’ වඳවී යාමය. නරින්ගේ ප්‍රධාන ආහාරයක් වූයේ මොනර බිත්තරය. එමනිසා රිළව් ගහණය වැඩි ප්‍රදේශවල මොනර ගහණයක් තිබේදැයි නිරීක්ෂණය කළ යුත්තේ මොනර බිත්තර ද රිළවුන්ගේ ආහාරයක් වන නිසාය.
රිලවුන් ගෙවල්වලට වැදී උයපු බත් මුට්ටිය ඇතුළු සියලු ව්‍යංජන විනාශ කරනු අප අසා ඇතත් පන්සලක චෛත්‍යයක කොතක් විනාශ කළ පුවතක් වාර්තා වන්නේ අම්බලපිටියෙනි. එම විහාරස්ථානයේ උත්සවශ්‍රීයෙන් කළ කොත් පැලඳවීම සිදුකළ දෙසැම්බර් 11 වැනිදා රිළා රංචු පැමිණ විනාශ කොට ඇති බව හෙළිදරව් කොට ඇත්තේ එහි විහාරාධිපති බෙරගම විජිත තන්තු හිමියන් විසිනි.
මේ අතර පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසා සිටින්නේ රිළවා ආරක්ෂිත සතකු නොවන බැවින් ගොවීන්ට ඕනෑ පියවරක් ගත හැකි බවය. ඔහු පවසන්නේ රිළවුන් ලංකාවේ නීතියෙන් ආරක්ෂා නොවන ක්ෂීරපායි සතුන් පස්දෙනාගෙන් එක් සත්ත්වයකු බවය. ඔහු වැඩිදුරටත් පවසන්නේ තම ගොවිබිම්වලට අනවසරයෙන් ඇතුළුවන වගා හානි කරන රිළවුන්ට එරෙහිව පියවර ගැනීමට නීතියෙන් ගොවීන්ට අවසර ලබාදී ඇති බවය. මේ රිළවාගේ ඉතිහාසය සොයා යනවිට රිළවුන්ගෙන් සිදුවූ වගා හානි ගැන රොබට් නොක්ස්ගේ පොත්වල පවා සඳහන්ව ඇත. එහි සඳහන් පරිදි ලෝකයේ රිළව් ප්‍රභේද 20ක් පමණ ඇත. ලංකාවේ ඇති රිළවු ප්‍රභේද තුන හඳුනාගෙන ඇත්තේ වියළි කලාපීය රිළවා, තෙත් කලාපීය රිළවා හා උස්බිම් රිළවා ලෙසය. ලංකාවේ රිළා ගහණය නිසි ලෙස සංගණනය කොට නැතත් එය දළ වශයෙන් මිලියන තුනක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. දැන් ඇතිවී ඇති පොල් අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රිළවුන් විසින් කරන පොල් වගා හානියයි. එම රිළවුන්ගේ පොල් හානිය නිසා වසරකට සිදුවන පාඩුව අමෙරිකානු ඩොලර් විස්සකට ආසන්න බව අනාවරණය වී ඇත.
රිළවුන් බොහෝ විට ගැවසෙන්නේ පන්සල් ආශ්‍රිතවය. මෙම පන්සල් හා දේවාල අසල රිළවුන් ගැවසීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඒවායේ පලතුරු පූජා පැවැත්වීමය. එමෙන්ම පලතුරු පූජා පැවැත්වෙන කෝවිල් ආශ්‍රිතව ද රිළවුන් දැකගත හැකිය. එහෙත් මුස්ලිම් පල්ලි හා ක්‍රිස්තියානි පල්ලි අසල රිළවුන් දකින්නට නැත්තේ ඒවායේ පලතුරු පූජා නොමැති නිසා විය යුතුය.
ලොව ඇතැම් රටවල රිළවුන්ට පුහුණුව ලබාදී පොල් කඩා ගැනීම හා බෝග පලදාව නෙළා ගැනීම ආදී ක්‍රියාකාරකම් සිදුකරන බවට අන්තර්ජාලයේ දැකගත හැකිවිය. ලංකාවේ නම් රිළවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ අහිකුණ්ඨික ජනතාවයි. රිළවාට ඇඳුම් අන්දවා බල්ටි ගහන්නට උගන්වා ඒවා පෙන්වා ආදායමක් ඉපයීමට ඔවුන් අතීතයේ සිට සමතුන්ය.
විද්වතුන්ගේ මතය වන්නේ රිළවුන් පලවා හැරීමට නොහැකි වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ගේ බුද්ධිමත්භාවය බවය. පලවා හරින ක්‍රමවේදය රිළවා ඉක්මනින් ඉගෙන ගනී. මිනිසා විසින් රිළවා පලවා හරින්නට යොදාගන්නා ක්‍රමවේදය අධ්‍යයනය කර රිළවා එයින් බේරීමට උපක්‍රම ගැනීම ඊළඟ ක්රමවේදයයි. ඊටත් වඩා රිළවා පලවා හැරීමට ප්‍රධාන බාධාවක් වන්නේ රිළවාට ඉතා සූක්ෂ්ම ලෙස බිම සහ ගස්වල වේගයෙන් ගමන් කිරීමට හැකිවීමය.
අතීතයේ රිලවුන් පලවා හැරීමට භාවිතා කළ ක්‍රමවේදයක් වූයේ රිළවකු මරා හම ගසා ගහක බැඳීමය. එය දකින රිළවුන් මාස ගණනාවක් ඒ ප්‍රදේශයට ආවේ නැත. ඒත් ටික කලකින් නැවත පැමිණේ. කෙසේ නමුත් මේ රිළවු උවදුර පාලනයට දැන් ආණ්ඩුව ක්‍රමවත් කෙටිකාලීන හා දිගුකාලීන සැලැස්මක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවයක් වී තිබේ.
වජිර ලියනගේ