Home » සීලරතන හිමිගෙන් රනිල්ට කිරි පැණි

සීලරතන හිමිගෙන් රනිල්ට කිරි පැණි

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

දේශපාලන වේදිකාව පසුගිය දිනවල උණුසුම් වූයේ විවිධ මාතෘකා ඔස්සේය. හාල්,පොල්,ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පමණක් නොව උපාධි සහතික සම්බන්ධයෙන්ද විවිධ කතාබස් අසන්නට ලැබුණි.

සහල්,පොල් ප්‍රශ්නවලට පමණක් නොව වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමටද ආණ්ඩුව කඩිනමින් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා අයුරු දක්නට ලැබිණ.

සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව ජනපති විමසයි

දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් සිටිමින්, ඊට පටහැණිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා (07) පැවැති සාකච්ඡාවේදීය.

සහල් මෝල් හිමියන්ට ජනපතිගෙන් රතු එළියක්

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබාදීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස ව්‍යාපාරිකයන්ට පැවසීය.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය .

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

ජනපතිගේ මැදිහත් වීමට ජනතා ප්‍රසාදය

“ආණ්ඩුවක් තියෙන්න ඕන, ජනතාව වෙනුවෙන් තීරණ ගන්න. ඒක නිසා සහල් ඒකාධිකාරය නතර කරන්න ජනාධිපතිතුමා ගත් පියවර හොඳයි.“ යනුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කර තිබුණි.

වරදට එරෙහිව ජනපතිගෙන් ක්‍රියාමාර්ග

“කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා” ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය..

“ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැහැ. අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් අපි ක්‍රියාමාර්ග ගන්නවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ පසුගිය 13 දා උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහිකළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමුවෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජනවරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා. ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.

ආණ්ඩුවේ කට්ටියටත් ඒකම තමයි.

ඉතාම කෙටියෙන් කිවහොත්, රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”

දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

කරූගෙන් ජනපති අනුරට ලිපියක්

කාලෙකට පසු හිටපු කථානායක කරූ ජයසූරිය නැවතත් කරළියට පැමිණ තිබේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අනුශාසක ලෙස කරූ ජයසූරිය ජනාධිපති අනුර කුමාරට ලිපියක් යොමු කරමින් කරුණු කීපයක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත. එමඟින් කෝප් කෝපා මුදල් කාරක සභා යනාදි අධීක්ෂණ කාරක සභා පිළිබඳ සිහිකැඳවීමක් කර තිබෙන අතර, කෝප් කමිටු සභාපතීත්වය විපක්ෂයට නොදීමට අද වන තුරුම කිසිම හේතුවක් නැති බවත් පෙන්වා දී ඇත. එදා පොදු විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව ආංශික අධීක්ෂණ කාරක සභා තුළින් රටේ යහපත සඳහා විශාල පිටිවහලක් ලබාදුන් බවත්, එහෙත් අවාසනාවට තුනෙන් දෙකේ බලය ලබාගත් නවවන පාර්ලිමේන්තුවේදී මෙම සියලු සම්ප්‍රදායන් හිතාමතාම අහෝසි කර ඇති බවත් එම ලිපියෙහි සඳහන්ව ඇත.

සජිත් මීගමුවේ

පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජන හමුවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි විය. එම ජන හමුවට පැමිණි ජනතාවගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. එහිදී සජිත් ප්‍රේමදාස කීවේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු අමතක කර ඇති බවයි.

මීගමුවේ පැවැති ජන හමුවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බැහැ දැකීමට ගොස් තිබුණි. අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමින් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.

කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගි වුහ. එහිදී අජිත් පී පෙරේරා කීවේ , ‘‘කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධියක් තිබෙන බව තහවුරු කිරීමට අසමත් වු‍ණොත් සහ ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නීත්‍යානුකූල පියවරක් නොගතහොත් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එ්මට කටයුතු කරන බවයි.

ඒ අනුව කථානාකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම පසුගිය 13 වැනිදා ආරම්භ විය.

හර්ෂ අමාරුවේ වැටෙයිද?

පාර්ලිමේන්තුව පැවති දිනවල පාර්ලිමේන්තුවට එන ජාපබ මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලේඛනයක් ලබාගෙන ඇති බව ආචාර්ය හර්ෂද සිල්වා ‌පවසයි. හෙතෙම මෙම අදහස් පැවසුවේ ‌පෞද්ගලික රූපවාහිනියක පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. මෙහි අභිමතාර්ථය කුමක්ද යන්න පිළිබඳව නම් තමන් හරියාකාරව කියන්නට නොදන්නා බවද ඔහු පැවසීය. එමෙන්ම මාලිමාවේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම පාර්සලයක් ඔතාගෙන යනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කී කතාවේ ඇත්ත නැත්ත ද තමන් නොදන්නා බව මෙහිදී හර්ෂ පැවසීය.

මැතිවරණ දිනවල හර්ෂ සජිත්ට වඩා මනාප ගනීවි යැයි පැතිර ගිය කතාව සම්බන්ධයෙන්ද මෙහිදී හර්ෂ අදහස් දැක්වීමක් කළේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එක්ලක්ෂ හතළිස් දහසක මනාප ප්‍රමාණයක් ගන්නා විට හර්ෂ අසූ දහසකට වඩා මනාප ප්‍රමාණයක් ගත්තේ සෑහෙන කැපිලි කෙටිලි කේලම් මැදය. “තව පොඩ්ඩෙන් සජිත්ට වඩා මනාප ගන්නවා ‌නේද?” යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට සිනාසෙමින් හර්ෂ පිළිතුරු දුන්නේ, “මේ වගේ ප්‍රශ්න අහලා මාව අමාරුවේ දාන්න එපා’” යනුවෙනි.

ජී.එල්, ඩලස්, ඉමිත්තියාස් කනස්සල්ලෙන්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තිබුණු අතර මන්ත්‍රී ධුර නම් කළද එම ගැටලුව මේ දක්වා අවසන් වී නොමැත. ඊට හේතුව ජාතික ලැයිස්තුවේ සිටි මහාචාර්ය ජී.එල්.පීරිස්ට, ඩලස් අලහප්පෙරුමට හා ඉමිතියාස් බාකීර් මාකීර්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබීමයි. මේ පිළිබඳ ‍තිදෙනා කනස්සල්ලෙන් සිටින අතර වැඩිපුරම කලකිරී ඇති බවට වාර්තා වන්නේ ඩලස් හා ජී.එල්ය.

කථානායක ඉල්ලා අස්වෙයි

පසුගිය සිකුරාදා සවස් වන විට වාර්තා වූයේ කථානායක අශෝක රන්වල එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවත්, එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත්, එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඔහු සිය ලිපියෙන් පවසා ඇත..

තමා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට නොහැකි බවත්, ජනතාව ආණ්ඩුව වෙත තබා ඇති විශ්වාසයෙන් ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි බැවින් තමා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් අශෝක රන්වල සිය ලිපිය මඟින් දන්වා තිබුණි.

රනිල්ට ආචාර්ය උපාධි 2ක්

“මේක රන්වල දේවතාවුන් වහන්සේත් හෑල්ලු වෙන වැඩක්” ලාන්සා ගෑස් සිලින්ඩර කාර්යාලයට පැමිණියේ රනිල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමට කතා කරන්නට මාතෘකාවක් ලබා දෙමිනි.

මේක පැණි වරකා ගහට හෙණ ගැහුවා වගේ වැඩක්. මේ ආචාර්ය උපාධි හුට පටේ ගැන මිනිස්සු උනන්දු ඒකයි. මේ අය ආවේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න. දැන් මැති සබේ ලොකුම පුටුවත් සුද්ද කරන්න වෙලා“ වජිර කීවේ ලාන්සා උපහාසයෙන් මතුකළ කාරණය ගැනය.එතෙක් නිහඬව සිටි නායක රනිල්ගේ මතය දැන ගන්නට සියලු දෙනාට වුවමනා වී තිබිණි.

” මේ රටේ සම්ප්‍රදායක් තියෙනවා. අපි විශේෂයෙන් ජනාධිපතිවරු,අගමැතිවරු ගෞරව ආචාර්ය උපාධි තිබුණත් ඒවා පාවිච්චි කළේ නෑ.ජේ.ආර්, චන්ද්‍රිකා ඔය කවුරුවත් ඒවා පාවිච්චි කළේ නෑ .ඔය මටත් ගෞරව ආචාර්ය උපාධි දෙකක්ම තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ඩීකින් සරසවියෙනුත්, නවසීලන්ත සරසවියකිනුත් දීපු. උපාධිය ආභරණයක් කර ගන්න ඕන නෑ. උපාධිය කියන්නේ යම් දැනුම් පද්ධතියක් ලබා ගත් බව කියන සංකේත නාමයක් විතරයි. උපාධි තිබුණත් නැතත් වැඩේ කරන්න පුළුවන් නම් එච්චරයි” රනිල්ගේ කතාවට සියල්ලෝම හිස වනා අනුමත කළහ.

සජිත්ගේ බිය ගැන තලතා කතා කරයි

පාර්ලිමේන්තුව වියතුන්ගෙන් පුරවමු කියලා ආවට දැන් ගොඩක් අයගේ ඇත්ත පට්ටන්දරේ එළියට එනවා නේද? මැති ඇමැතිවරු තව කීපදෙනෙක්ගෙම උපාධි බොරු කියලා කතාවක් යනවා. මර්වින්ට මොලේ තිබුන කොහෙන් හරි කොළ කෑල්ලක්වත් හොයාගෙන එන්න” හරීන් මර්වින්ටත් නම්බුවක් දෙමින් පැවසීය.

” දැන් හරියට විපක්ෂයක් නැතුව වගේ. කථානායකගේ ප්‍රශ්නෙ ඔවුන් කතා කරන්නේ නැත්තේ ඇයි? ඡන්දෙ දීපු අයත් කථානායකට ඉල්ලා අස්වෙන්න කියලා කියනවා. ඒත් ප්‍රධාන විපක්ෂය මොකුත් නොකිය නිහඬව ඉන්නවා. කවුද එක මන්ත්‍රීවරයෙක් විශ්වාස භංගයක් ගේන කතාවක් කියල තිබුණා. ඒත් විපක්ෂ නායක නිහඬයි. අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න එයා බයෙන් වත්ද? “ තලතා විමසුවාය.

උපාධි ගැන සෙවීමට තේරීම් කාරක සභාවක්

ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට මෙහිදී තීරණයකට එළඹිණි.

“සර්ලගෙ ආරක්ෂාව තව අඩු කරල නේද? “රුවන් ඇසූ ප්‍රශ්නයට රනිල් ලබා දුන්නේ අමුතු විදිහේ උත්තරයකි.

” ආරක්ෂක භටයන් හැට දක්වා අඩු කරනවා කියලා මුලින් අපට දැනුම් දීල තිබුණේ. දෙසැම්බර් මාසේ අන්තිමේ ඒ වැඩ කටයුතු කරන්න ඔක්කොම එකඟ වෙලා තිබුණේ. එක්වරම මේ ආරක්ෂාව අඩු කළේ ආචාර්ය උපාධි ප්‍රශ්න, හාල් පොල් ප්‍රශ්න වහන්න”

රනිල් කී කතාවට වැඩි යමක් එකතු කළේ ලාන්සාය.” මහින්දට වගේම චන්ද්‍රිකාටත් තර්ජන තියෙනවා, ඒ අයට මොනවා හරි වුනොත් ආණ්ඩුවට වග කියන්න වෙයි”

සිලින්ඩරේ ගිනි ගනී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට සිදුවූයේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැහුවා වගේ දෙයකි. මීට කලින් එක අයෙක් පළවෙනි මන්ත්‍රී ධුරය ඩැහැ ගත්තේය. දෙවෙනි සිද්ධිය වූයේ ඉකුත් අඟහරුවාදාය. ඒ ඉතිරි මන්ත්‍රී ධුරයට පක්ෂ නායකයන්ගේ අනුමැතියක් නැතිව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා නම් කිරීමත් සමඟය.

වජිරගෙන් ශර්මිලාට දොස්

ඒ පත් කිරීමත් සමග එජාප සභාපති වජිර නිවේදනයක් නිකුත් කළේය.

” ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කරන්න කිසිම බලයක් පවරා නෑ. මේක දේශපාලන හොරකමක්. රවීගෙ පත්කිරීම සම්බන්ධයෙනුත් කරුණු වාර්තා කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව ලැබුණු සැණින් නිසි ක්‍රියාමාර්ග ගන්න නියමිතයි” ඒ නිවේදනයේ එසේ සඳහන්ව තිබිණි.

මුස්තාපාත් රවී ගිය පාරෙම

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන නිකුත් කළ නිවේදනය මඟින් චෝදනා කර තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරාය.

ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතාවලට එළැඹියේය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි. එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරාට අදාළ එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.

අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කර නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.

එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි. දේශපාලන හොරකමකි.

රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ. කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බව වාර්තා වෙයි

සීලරතන හිමිගෙන් රනිල්ට තෑගි

බ්‍රහස්පතින්දා උදේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයට අමුත්තෙක් පැමිණියේය. ඒ මුළු රටම දන්නා බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝයි.

සීලරතන හාමුදුරුවන් ආවේ හිස් අතින් නොවේ. ලොකු කිරි හට්ටි දෙකක්, පැණි බෝතලයක්, මෙන්ම ගස්ලබු ගෙඩි දෙකක්ද රැගෙනයි.

“ මේ ගස්ලබු පන්සලේ වත්තේ ගහේ හැදිච්චා. “සීලරතන හිමියෝ රනිල්ට ගෙනා තෑගි දෙන ගමන් කීහ.

අනතුරුව සීලරතන හිමියෝ රනිල් සමඟ පැය භාගයකට ආසන්න කාලයක් විවිධ දේ කතාබහ කළහ. එහිදී අතීතයේ අපූරු සිද්ධියක් සීලරතන හිමියන් විසින් අනාවරණය කළේය.

“මං 1985 පොඩි කොල්ලා කාලේ බෝමිරිය මධ්‍යම මහා විද්‍යාලයේ ධාවන තරගකින් දින්නා. ඒකෙ තෑගි දෙන්න අධ්‍යාපන ඇමැති විදියට ආවේ ඔබතුමා” රනිල් ද ඒ අතීත සිද්ධිය ආසාවෙන් අහගෙන සිටියේය. ඊට පෙර දිනක දොඩම්පහල රාහුල හිමියන්ද රනිල් හමු වන්නට වැඩම කළේය. ඒ සභාපති වජිර සමගිනි. එහිදී බුද්ධ දර්ශනයේ තිර පැවැත්ම වෙනුවෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදු කෙරුණු බව දැනගන්නට ඇත.

ඊට අමතරව ගෙවුණු සතියේදී දේශපාලන කණ්ඩායම් මෙන්ම දේශපාලන පක්ෂ නායකයෝ මල් පාරේ කාර්යාලයට පැමිණියහ.

තානාපතිවරුන් ඇමැති විජිතට කිව්වේ මොනවාද?

“ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය – 2024” කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් ලෙස කොළඹ, තුරඟ තරග පිටියේදී පැවැත්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනයට විවිධ තානාපති කාර්යාලවල ආහාර සහ උසස් නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරෙන වෙළෙඳ කුටි රාශියක් ඇතුළත් විය. රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඉදිරිපත් කළ රටවල් රැසක සංස්කෘතික සංදර්ශන මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන් ඉස්මතු කරන විලාසිතා දැක්මක් ද ඊට ඇතුළත් විය.

මෙම අවස්ථාවට එක්වූ විජිත‍ හේරත් අමාත්‍යවරයා සමඟ බොහෝ රටවල තානාපතිවරුන් කතාබස් කළ අතර ඒ ඒ රටවල පොදු සංස්කෘතික ගුණාංග ‍ගැනද මෙහිදී කතාබස් කෙරිණ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග බොහෝ ආකර්ෂණීය බව තානාපතිවරුන් කිහිප‍දෙනෙක්ම විජිත හේරත් අමාත්‍යවරයාට ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.

ඒ ඒ රටවල සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම ගැන විජිත හේරත් අමාත්‍යවරයා විසින් ඒ ඒ රටවල තානාපතිවරුන්ට ස්තූති කිරීමටද අමතක නොකළේය.

රනිල්- වජිර ඇතුළු පිරිස පැය 3ක රහස් කතාබහක

පසුගියදා රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකයාගේ ප්‍රධානත්වයෙන් නව මාවතක් ඔස්සේ ක්‍රියා කිරීම සඳහා පසුගිය 09 වනදා පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කර තිබේ.

එම අවස්ථාවට රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ෂාමල් සෙනරත්, තලතා අතුකෝරල, මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් සහභාගී වී ඇති අතර පක්ෂය නව මාවතක් ඔස්සේ ඉදිරියට මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ මුළු මහත් රට පුරා සංවිධානය කිරීම සඳහා නව මාවතක් තෝරා ගැනීම පිණිස මෙම සාකච්ඡාව දියත් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division