Home » හොරකම් දූෂණය මේ රජය යටතේ සිදුවීමට අපි ඉඩ තියන්නේ නැහැ

හොරකම් දූෂණය මේ රජය යටතේ සිදුවීමට අපි ඉඩ තියන්නේ නැහැ

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

අනවසරයෙන් මෙරටේ මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවර ගැටළු පිළිබඳව ඉන්දීය නිළධාරීන් සමඟ සාකච්ඡා කළා නේද… එම සාකච්ඡා සාර්ථක වුණාද?

අපේ මුහුදු සීමාවට ඇවිදින් අපේ මුහුදු සම්පත විනාශ කරමින්, අනාගතයේ අපි රැකගත යුතු ම්ුහුදු සම්පත විනාශ කිරීමේ මේ ක්‍රියාවලිය පිළිබඳව අපි පැහැදිලි කළා. අපේ ධීවරයන් මේ නිසා මුහුණ දෙන ගැටලු ඒ හරහා සිදුවන එක් එක් සිදුවීම්, අපේ පරිසරයට වන හානි අපේ මුහුදු සීමාවට වන හානි පිළිබඳවත් අපි එරට රජය දැනුම්වත් කළා. ඒ පිළිබඳව ඒ අය අවධානය යොමු කරනු ලැබුවා. ඒ අනුව සමහර අත්අඩංගුවට පත්වෙන පිරිස සහ අපේ අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළා. තවද දැනට එවැනි ක්‍රියාවන්වල නිරත වෙලා සිටින පිරිස අත්අඩංගුවට ගන්න සිදුවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙනුත් ඒ තීරණයන් ගැනීම පිළිබඳව ද අවධාරණය කළා.

දැනට සක්‍රිය කුඩා යාත්‍රාවලට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නව රජය යටතේ ලබාදීමට කටයුතු කරනවාද?

සක්‍රිය ධීවර යාත්‍රා පමණක් නොවෙයි, ධීවර යාත්‍රා දෙවර්ගයකට අපි භූමිතෙල් සහනාධාරය ලබා දෙනවා. ඒ සහනාධාරය පසුගිය කාලයේ පැවැතියාට වඩා වැඩි කරලා තියෙනවා. ඒ සහනාධාරය ලබා දෙන්නට පෙර ඒ පිළිබඳ යම් සමීක්ෂණයක් කළ යුතුව තියෙනවා. සාධාරණ පිරිසකට ලැබෙනවාද කියලා අපි යම් සොයා බැලීමක් කරනවා. ඒ අනුව දැනට අපි රුපියල් 9375ක ආධාර මුදලක් ලබාදීමට කටයුතු කරනවා. පෙර ආණ්ඩුව ලබාදුන් දීමනාවට වඩා වැඩියෙන් මුදලක් ලබාදීමට කටයුතු කර තියෙනවා.

ඉදිරියේදි අපි ධීවරයන්ගේ ගැටලු සොයා බලා ඒවාට තිරසර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

ආර්ථික අර්බුදය හේතු කරගෙන ඇතැම් සුළු පරිමාණයෙන් මේ කර්මාන්තයේ නියැළෙන්නන්ට විශාල ගැටලු මතු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් අවශ්‍යයි නේද?

ඉදිරියේදි අපි ධීවරයන්ගේ ගැටලු සොයා බලා ඒවාට තිරසර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. දැනට පවතින සහනාධාර වැඩි කිරීම පමණක් නොවෙයි; සියලුම ක්ෂේත්‍රවලට අපි මැදිහත් වෙලා ඒවායේ ගැටලු සොයා බලනවා. මේ ආර්ථික අර්බුදය අද ඊයේ ඉදලා ඇතිවූ දෙයක් නොවෙයි. සියලු ක්ෂේත්‍රවලට මේ අර්බූදය නිසා ගැටලු මතු වුණා. ආර්ථික අර්බුදය වසර ගණනාවක් පුරා පසුගිය ආණ්ඩු විසින් ඇති කරන ලද්දක්. ඒ නිසා එය සියලුම ක්ෂේත්‍රවලට මෙන් ම සියලුම ජනතාවන්ට අඩු වැඩි වශයෙන් බලපෑවා. ඒ ආණ්ඩු විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය විසින් තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. එයට එක දවසින් දෙකින් විසඳුම් දෙන්න බැහැ. ධීවර කර්මාන්තයේ යෙදෙන අයටත් මේ ගැටලුව බලපෑම් කරනු ලැබුවා. මුළු රටම එක හා සමානව කඩා වැටීම නිසා ධීවර කර්මාන්තය ද පසුගිය කාලයේ කඩා වැටීමකට ලක් වුණා. එක් ක්ෂේත්‍රයකට පමණක් නොවෙයි සියලු ක්ෂේත්‍රවලට බලපෑම් කළා. මේ ගැටලු විසඳීමට අපි කටයුතු කළ යුතුයි. මේ සියලු ක්ෂේත්‍ර අපි අධ්‍යයනය කළ යුතුයි. දැනට ධීවර කර්මාන්තය ගත් විට ඒ කර්මාන්තයේ වංචා දුෂණ අක්‍රමිකතා සිදුවීම් ගණනාවක් තියෙනවා. සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා, අලුත් රජයක් දැන් තියෙන්නේ. අපිට කියන්න මේ ක්ෂේත්‍රවල තියෙන ගැටලු, ඒවා විසඳන්න තමයි අපි ආවේ, නැවත හොරකම් දූෂණය අක්‍රමිකතා මේ රජය යටතේ සිදුවීමට අපි ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි වංචා දුෂණ නතර කිරීම. අලුත් ආණ්ඩුව වෙනස් කියන දේ ජනතාව දන්නවා. අපේ යුතුකම තමයි රට ගොඩනැඟීම. අපි සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් එකතු වෙලා කටයුතු කළ යුතුයි. එකා මෙන් ගමනක් යා යුතු වන්නේ සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ වෙලයි. ඒ නිසා සියලු ජනතාව එකතු වෙලා රට ගොඩනඟන ක්‍රියාවලියකට සක්‍රියව දායකත්වය දිය යුතුයි.

පසුගිය කාලය පුරාම මාළු මිල වැඩිවීමක් සිදු වුණා. එම මිල මේවනවිටත් කිසිදු වෙනසක් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් රජය යම් පියවරක් ගනු ලබනවාද?

මාළු ඇල්ලීමේ ක්‍රියාවලියේ සිට ඒ අස්වනු බෙදාහරින ක්‍රියාවලියක් නිසියාකාරයෙන් තිබුණේ නැහැ. ධීවරයන්ගේ ගැටලුවලට රජය මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. මෙය පාලනයකින් තොරව එක්තරා පිරිසකගේ අතට යෑමත් එක් හේතුවක්. ආණ්ඩුව විසින් කාලයක් පුරා පවත්වා ගෙන ආපු සියලු සංස්ථා සමිති කඩා වැටිලා තියෙනවා.

පෞද්ගලික ව්‍යවසායකයන් විසින් මෙහි අධිකාරී බලයක් සහ ඒ අයගේ අතට මේ කර්මාන්තය පත්වුණා. මේ අධිකාරි බලය වෙනස් කිරීමට රජයේ මැදිහත් වීමක් අත්‍යශ්‍යයි නේද?

මුහුදු මාළු අස්වනු නෙළාගෙන පැමිණියාට පස්සේ ඒවා සංස්ථාවට ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කරුණු සියල්ල අතහැරිලා තියෙන්නේ. සමහර ව්‍යාපාරිකයන් ගත්විට ඒ අය පාලනය කරන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඒ පාලන ඒකාධිකාරිය වෙනස් කරන තැනකට රජය ලෙස අපි යම් මැදිහත් පාර්ශ්වයක් වීමට කටයුතු කරන ක්‍රියාවලියේ අපි දැන් නියුතු වෙලා ඉන්නවා. ඒ වගේම මාළු කර්මාන්තයේ නියැළෙන විශාල පරිමාණයේ සහ සෑම සියලුම ව්‍යවසායකයන්ගෙන්ම අපි ඉල්ලීමක් කරනවා. මේවා සාධාරණ ලෙස සිදුකිරීමට අපිට සහය දෙන්න කියලා. අපි වැඩියෙන් ධීවරයන්ට සහන දෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සම්බන්ධයෙන් යම් මිලක් ලබාදෙමින් මිලදීගෙන ජනතාවට යම් සහන මිලකට මාළු ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම යම් කිසි පාලනයකට ගෙන ඒමේ හැකියාවක් ඇති වෙයි කියලා විශ්වාස කරනවා. අපි බලය අරගෙන තවම මාසයයි ගතවෙලා තියෙන්නේ. ඒ කාලය තුළ අපි යම් ප්‍රමාණයක් මේ ගැටලු හඳුනාගෙන කඩිනමින් දිය හැකි සහන ද ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේදී ජනතාවට සහනයක් ලබා දිය හැකියි කියලා අපි විශ්වාස කරනවා.ඒ වගේම ජනතාවට සහන ලබා දෙන්න මාළු සම්බන්ධයෙන් පමණක් නොවෙයි, අනෙකුත් සියලු ක්ෂේත්‍රවල ද ජනතාව වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. මේ සියලු ක්ෂේත්‍රවල ගැටලු සම්බන්ධයෙන් ඒකාබද්ධව විසඳුම් සෙවීමට රජය අනිවාර්යෙන් කටයුතු කරනවා.

ඒ වගේම ආණ්ඩුව යම් කිසි මුදලක් වැය කරන්නෙම ඒ ඒ ක්ෂේත්‍ර යම් කිසි මට්ටමකට ගෙන එන්න. එවැනි මුදලක් වැය කරන්නෙම ජනතාවට යම් සහනයක් ලබා දෙන්න. ඉදිරියේදී මේ සියලු ක්ෂේත්‍රවල නියැළී සිටින සියලුදෙනාම දැනුම්වත් කරනවා. මේ වන විට දැවැන්ත මුදලක් සහල් ගෙන්වීමට, පොහොර සම්බන්ධයෙන් පාලම්ථ බෝක්කු, ඖෂධ සම්බන්ධයෙන් වැඩි සැලකිලිමත්වීමක් ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. වැව් පොකුණු ප්‍රතිසංස්කරණය කරන්න වෙනත් කෘෂිකර්මික භෝග වගා කිරීමට වෙනම උනන්දුවක් දක්වා තිබෙනවා. මේ ටික කරන්න දැවැන්ත මුදලක් රජයක් ලෙස අපි වැය කරලා තියෙනවා. දැනට වෙනත් ආණ්ඩුවලට වඩා ජනතාවගේ මුලික අවශ්‍යතාවලට ඒ කියන්නේ ජීවත් වීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා තියෙනවා මූලික අවශ්‍යතාවන් සපුරන්නයි අපි මැදිහත් වෙලා තියෙන්නේ. එවැනි දැවැන්ත මුදලක් අපි වැය කරන්නේ ජනතාවට සහන සලසන්නයි.

ටින් මාළු කර්මාන්තය පහසුවෙන්ම විදෙස් අපනයනය දක්වා වැඩි කළ හැකි නේද?

අපිට ඒ සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. අපි දැක්කා පසුගිය රජය කාලයේ ටින් මාළු පවා පිටරටින් ආනයනය කරන තත්ත්වයට පත්වුණා. හාල්මැස්සෝ, සැමන්, කරවල ටික පවා පිටරටින් ගෙන්වනවා. අපි මේ ක්‍රමවේදයන් වෙනස් කළ යුතුයි. උම්බලකඩ ටික ගේන්නෙත් පිටරටින්

රට වටේ මුහුද එහෙත් කිසිදු රජයක් එයින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. වත්මන් රජයේ යම් වැඩපිළිවෙළක් තියෙනවාද?

මේ රට වටේ මුහුද තියාගෙන අපි මොකක්ද කළේ කියන එක අද ගැටලුවක් මතු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය මත්ස්‍ය සම්පතවත් අපිට නෙළා ගන්න බැරි වුණා. මේවා ඉදිරියේදි වෙනස් වෙයි. අපේ ප්‍රතිපත්තියක් හැටියටම මේ ක්ෂේත්‍රය ගොඩ නඟන්න තවත් විශාල සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා දැනට අපි සැලසුම් කරගෙන යනවා. මේ සැලසුම් ටික ඉදිරි අයවැයේදි ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරනවා.

මිරිදිය ධීවර කර්මාන්ත වැඩි දියුණු කිරීමට යම් පියවරක් ගන්නවාද?

ඇත්ත වශයෙන් ම ඒ සම්න්ධයෙන් අපි පියවර ගන්නවා. අපිට මේ ක්ෂේත්‍රය ගොඩනඟන්න මේ සම්බන්ධයෙන් සම්පත් විශාල ලෙස අවශ්‍ය වෙනවා. ඒ සම්පත් වැඩි දියුණු කළ යුතුයි. ඉදිරි අයවැයේදි අපි ඒ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ මිරිදිය ධීවර කර්මාන්තය අපි කෙටිකාලයක් තුළ වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා. රටේ මාළු පරිභෝජනය වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට ප්‍රෝටීන් ඌණතාවයක් තියෙනවා. ඒ නිසා මාළු පරිභෝජනය වැඩි කිරීමට මාළු නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. ජනතාවට සාධාරණ ලෙස ලබා ගත හැකි මිලකට ලබා දීමට මිරිදිය ධීවර කර්මාන්තය වඩා වැඩි දියුණු කළ යුතුයි. ඒ සඳහා ආධාර උපකාර ලබා දිය යුතුයි. ඒවගේම ඉස්සෝ කර්මාන්තය දැල්ලෝ වගා කිරීමට කටයුතු කරනවා. මුහුදු ශාක ඒ වගේ පාෂාණ වර්ග සම්බන්ධයෙන් වැඩිදියුණු කිරීමට අපි කටයුතු කරනවා.

මෙතෙන් පැවැති සාගර විශ්වවිද්‍යාල වඩා පුළුල් ක්ෂේත්‍ර කරා විහිදෙන ආකාරයට ගොඩනැඟීමට රජය යම් පියවරක් ගනු ලබනවාද?

අපි සාගර විශ්වවිද්‍යාලය වඩා පුළුල් කිරීමට වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වනවා. විශේෂයයෙන් ප්‍රායෝගිකව අදාළ කේෂත්‍රවලට යොමු කළ හැකි උපාධිධාරීන් බිහි කිරීම අපේ අරමුණයි. ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සහ වෙනත් සාගර සම්පත් ගැන පර්යේෂණ කිරීම දක්වා පුළුල් කරනවා. ඒ සම්බන්ධයෙන් යොමු කරන ක්‍රියාවලියක් අපි දක්නට ලැබෙනවා. ඒ හරහා ගුණාත්මක ප්‍රමාණාත්මක යන අංශයන් වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වැඩි ශිෂ්‍ය පිරිසක් බඳවා ගෙන පර්යේෂණ වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division