සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔබ තේරී පත්වී තියෙනවා. ඉදිරියට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මම හැමදාම මගේ දේශපාලන ජීවිතය පටන් ගත්ත දවසේ ඉඳලා, ජනතාව වෙනුවෙන් කැපවෙලා සේවය කළා. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා; එක්සත් ජාතික පක්ෂය කවදා හරි ගොඩනඟලා රට පාලනය කරලා අපේ ඉතිහාසයේ නායකවරුන් කළා වගේ මේ රට සංවර්ධනය කිරීමට. ඒ වගේ ජනතාවට හොඳ ජීවිතයක් හදලා දෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අදවන විටත් මම කිසිදු පිල් මාරුවකට ගිහින් නැහැ. මම මගේ දේශපාලනය පිවිතුරුව පිරිසිදුව කළා. අදත් එහෙමයි. ප්‍රතිපත්තිගරුකව හිටියා. පක්ෂ විරෝධී වැඩ කරලා යටිකූට්ටු වැඩ කරලා නැහැ. මාව හිරේ දාන්න මට අපහාස කරන්න පුළුවන් සෑම දේම කරන්න උත්සාහ කළා. මගෙ කට වහන්න උත්සාහ කළා. නමුත් ඒ දේවල්වලට මම සැලුණේ නැහැ. පක්ෂය වෙනුවෙන් කැප වෙලා මම වැඩ කළා. මම ඒ සියලු අභියෝග ජනතාවගේ සහයෝගයෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. මම මගේ පක්ෂයත් සමඟ මීට වඩා රටට දෙයක් කරලා මේ පවින් රට නිදහස් කරන්න උත්සාහ කරනවා.
මේ රට නැවත ගොඩනැඟීම සඳහා වන වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට ඔබ සහය දෙනවද?
ආණ්ඩුව හොඳ දේවල් කරනවා නම්; සහයෝගය දෙනවා. ආණ්ඩුව වැරදි ගමනක් යනවා නම් විරුද්ධව ඒ වෙනුවෙන් කතා කරනවා. මගේ අනන්‍යයතාවය තමයි මම හොඳ දෙයක් කරනවා නම් ඒ දේ විවේචනය කරන්නේ නැහැ. එයට සහය දෙනවා. මේ ආණ්ඩුවට ලොකු ජනතා ඡන්දයක් ලැබිලා තියෙනවා. ඒනිසා දිගටම විවේචනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ආණ්ඩුවට අපි කාලයක් දෙනවා; මේ රට ගොඩනැඟීමේ ක්‍රියාවලිය සඳහා. අපි දැන් ඒ සඳහා මිම්මක් ලබා ගන්නවා. ජාතික අපනයන ප්‍රතිපත්තිය හැදුවේ මම. ඒක වුණත් දීලා ඒ අයට පහසුකම් හා උපදෙස් ලබා දෙන්න මට පුළුවන්. ඒ වගේම රටේ සංවර්ධනයට හොඳ දේවල් කරනවා නම් අපි කැමැතියි. මාස හයක හතක කාලයක් දීලා බලනවා. මේ රට යන දිශානතිය ගැන ඒ කාලෙදි අපි බලනවා. යන මාර්ගය බලන්න කාලයක් නොදී එයට කලින් විවේචනය කරන්න මම ලෑස්ති බැහැ.
මහමැතිවරණය අවසන් වෙලා මාසයකට ආසන්න කාලයක් ගියා, සමඟි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්රිරුන් පත් කරන්න. ඇයි මෙච්චර කාලයක් ගියේ. පක්ෂ අභ්‍යන්තර මත ගැටුම් නිසාද?
ඒ ගැන නම් මම දන්නේ නැහැ. මට අනිවාර්යෙන් ජන්දය ඉල්ලන්න එපා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දෙනවා කියලා කිව්වා. ඒනිසා මම ඡන්දය ඉල්ලුවේ නැහැ. ඡන්දය ඉල්ලුවා නම් අනිවාර්යෙන් දිනන්න හැකියාව මට තියෙනවා. වෙනත් පක්ෂවලිනුත් මට ඉල්ලීමක් ආවා ඡන්දය ඉල්ලන්න කියලා. ඒත් මම ප්‍රතිපත්ති කඩන්නේ නැහැ. පිල් මාරු කළේ නැහැ. ජාතික ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට මන්ත්‍රී ආසනයක් දෙන්නම් තරග කරන්න එපා කියලා කිව්වා. ඒත් මම දන්නේ නැහැ ඇයි පත් කිරීම ප්‍රමාද වුණේ කියලා. මට පොරොන්දු වුණ දේ මට ලැබුණා. අනිත් අය ගැන කියන්න මම දන්නේ බැහැ.
අලුත් මුහුණු, උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි යන තැන මෙවර ජනතාව හිටියා. එය ඔබ දකින්නේ කොහොමද?
උගත් බුද්ධිමත් කියන දේ මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒත් දේශපාලනයේදී මම දැකලා තියෙනවා, කොළවල උගත්කම් නැති වුණාට හොඳට දේශපාලනය කරපු උගත් නායකයෝ. ඩී. එස්. සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ රණසිංහ ප්‍රේමදාස වගේ අය. මහාචාර්ය, ආචාර්ය, දොස්තර කියලා දැම්මට පරිපාලනික සුදුසුකමක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. ජනතාව බුද්ධිමත්ව ඒ අයගේ ඉතිහාසයට දෙස බලලා තීරණය කරන්න අවශ්‍යයි. විභාග පාස් කරන අය විතරක් නොවෙයි වැඩකාරයෝ කියන්නේ. ගොඩක් කොම්පැනිවල පරිපාලන සේවයේ ඉන්නේ විභාග පාස් කරපු අයම නොවෙයි. දක්ෂකම් තියෙන නායකයො ඉන්නවා.
සමගි ජන සන්ධානයේ නායකත්වය ඉවත් කරන්න කියලා කැරැල්ලක් ඇතිවෙලා තියෙනවා නේද?
එක එක්කෙනාගේ හීන ඇති. ඒ අපි එතුමාගේ නායකත්වය යටතේ වැඩ කරන්න කැමැති වෙලා තමයි, වැඩ කරන්න පටන් ගත්තේ. ඇතුළේ එහෙම කැරැලි ඇති වෙලා නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් අපි හිටියේ ඒ විදියට. අපිට එහෙම ගැටලු නැහැ. එහෙම තියෙනවා නම් පෞද්ගලික අදහස් වෙන්න ඇති. එහෙම අදහසක් හෝ කැරලි අපිට නැහැ. අපිට ඉන්නේ එක් නායකයෙක්. ඒ අයගේ සිහින අපිට අදාළ නැහැ.
සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවට කාන්තා නියෝජනයක් නැහැ කියලා චෝදනාවක් තියෙනවා?
ජාතික ලැයිස්තුවට කාන්තා නියෝජනයක් තියෙන්න අවශ්‍යයි කියන දෙයක් කොහෙවත් නැහැ. එක් එක් අයට ඕන දේවල් එක එක කෙනාට අවශ්‍ය දේවල් නේ ඒවා. ඒ අවශ්‍ය දේවල් පක්ෂයක් විදිහට කෙරෙන්නේ නැහැ. වඩා සුදුසුම අය තමයි පත් කරන්නේ.
සමගි ජන සන්ධානය මෙවර මැතිවරණයේදි පසුබෑමට ලක්වීම පක්ෂයේ බිඳවැටීමට සහ දිනෙන් දින පරිහානියට යෑමට හේතු කියලා කිව්වොත්… එජාප වෙන්වීමද පක්ෂ දෙකට ම අහිතකර ලෙස බලපෑවා නේද?
අපි එහෙම හිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මාත් අවුරුදු 30ක් හිටියා. 2020 මැතිවරණයේදී ආසන තිහකට හතළිහකට බහිනවා. එහෙම නම් ගිය වර මැතිවරණයේදීත් 2020දි පැවැති මැතිවරණයත් එතරම් ආසන සංඛ්‍යාවක් ගන්නේ නැහැ. පශ්චාත් පරික්ෂණ තියන්න පුළුවන්; ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි අසීරුව. මේ පාර ඡන්දය බලලා ඒ දේ කියන්න බැහැ. රනිල් මහත්තයා හිටියා නම් අපේ පක්ෂය තවත් විනාශ වෙලා යනවා. ඒ වෙලාවේ අපි සමගි ජන බලවේගය හැදුව නිසා තමයි අපි මෙහෙම ජයග්‍රහණය කළේ. මේ පාර රාජපක්ෂලා ඇති කරපු තරහ නිසා පාලකයෝ සම්බන්ධයෙන් මාලිමාව ඒ අයගේ දේශපාලන වාසියක් ලෙස යොදා ගත්තා. අමුතු රැල්ලක්, අස්වාභාවික රැල්ලක් රටේ ගොඩනැඟුණේ ඒකයි. ඒ රැල්ල නැතිනම් සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ පාරත් දිනුම් මේ පාරත් දිනුම්. සහරාන් ගේ රැල්ල නැති වුණා නම් ගෝඨාභය මහත්තයා නොවෙයි දිනන්නේ සජිත් මහත්තයා.
මෙවර ඇති වූ ජනතාවගේ වෙනස ඔබ අස්වාභාවික රැල්ලක් කියලා හඳුන්වන්නේ ඇයි ?
ඔව්. අස්වාභාවික රැල්ලක් ඇති වුණා. මුහුණු පොත හරහා දේශපාලඥයක් සමඟ තරහා ඇති කළා. යම් යම් ඡායාරූප පෙන්වමින් ජනතාවට වෛරයක් ඇති කළා. මම කියන්නේ මේ රැල්ල රාජපක්ෂලා නිසා දේශපාලඥයන් කෙරෙහි ඇති කරපු එකක්. ඒ ද්වේශය සියලු දේශපාලඥයන්ට අහිතකර ලෙස බලපෑම් කළා. දේශපාලඥයන් කෙරෙහි ඇති කළ ඒ වෛරය නැමැති අමුතු රැල්ල නොවෙයි නම් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ පාර දිනනවා. සහරාන්ගේ රැල්ල වගේ දේශපාලඥයන් කෙරෙහි ඇතිවූ ඒ රැල්ල නිසා දේශපාලනයේ නියැළුණු ඔක්කොම එපා කියන රැල්ල ඇතිවීම නිසා මේ දේවල් වුණා.
ඩලස්, මහචාර්ය ජි. එල්. ඉම්තියාස්, ඉරාන් වැනි හිටපු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා නොදීම ගැන ඔබ මොකද හිතන්නේ?
යම් අවබෝධයක් තිබුණා අපිට. ඒ අවබෝධයත් සමඟ මම හිතන්නේ නායකත්වය විසින් ජාතික ලැයිස්තුව තෝරා පත් කළේ. මෙය එක එක අය සතුටු කරන්න පුළුවන් දෙයක් නොවෙයි.
ඒත් සමගි ජන සන්ධානය ඇතිවීමට පෙර යම් යම් පක්ෂ සමඟ ගිවිසුම්ගත වීමක් තිබුණා නේද? මේ මන්ත්‍රීවරුන් ලබාදීම් සම්බන්ධයෙන්?
මුස්ලිම් කොංග්‍රසය සමඟ යම් එකඟතාවයකට පැමිණ තිබුණා. අනෙක් පක්ෂ සමඟ එහෙම ගිවිසුම් ඇති වෙලා තිබුණේ නැහැ. යම් අවබෝධයක් තිබුණා නායකත්වය විසින්. එය කොහොම කළත් කමක් නැහැ.
2020දී ආසන 54ක් ලබා ගත්තා සමඟි බලවේගය. මෙවර සමගි ජන සන්ධානය ලෙස ලබා ගත්තේ ආසන 40ක් පමණයි. ඒ පසුබෑමට හේතුව මොකක්ද?
මේ දේවල්වලට හේතුව මම කලින් කිව්වා; රැල්ල. මේ රට බංකොලොත් වුණේ රාජක්ෂලා නිසා. දේශපාලනඥයන් ගැන ජනතාවට වෛරයක් ඇති වුණා. අනෙක් අය අන්තිම වසර 20 තුළ කළ දේවල් නිසා තමයි; මේ රට බංකොලොත් වුණේ. අපේ පක්ෂය බලයේ ඉන්න කාලයේ මේ රට බංකොලොත් කළේ නැහැ.
එත් ජාතික ජන බලවේගය කියන්නේ වසර 76ක පාලකයන් මේ රට බංකොලොත් කිරීමට වගකියන්න අවශ්‍යයි කියලා. ඇත්ත වශයෙන් ම ඔබේ පක්ෂයේ පාලන කාලයේ මෙරට පරිහානියට පත් වුණේ නැහැ කියලා ඒ චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ නේද?
අපි මේ බංකොලොත් වීමට වගකියන්න අවශ්‍ය නැහැ. අපි 2002 මේ රටේ බලය ගන්න කොට ඍණ දෙකේ තිබුණ ආර්ථිකය 6. 8ට ගෙනාවා වසර දෙකකින්. එයින් පසුව රාජපක්ෂලා මේ රට භාර දෙන කොට 2015දි ඩොලර් බිලියන 80ක ණය තිබුණා. ඒ ණය ටික ගෙවා ගන්න අපි රට විකුණුවේ නැහැ. පඩි වැඩි කරලා අපි රට කෙලින් කළා. තෙල් ගෑස් අඩු කළා. අපි රට ස්ථාවර කළා. ඒ ස්ථාවර කළ රට ගෝඨාභාය රාජපක්ෂ ඇවිත් නැවත විනාශ කළා. ඒ වෙන කොටත් මහින්ද රාජපක්ෂ රට විනාශ කරලා තිබුණේ.
මේ ආණ්ඩුව බලයට පත් වුණේ විශාල ජනවරමක් සමඟ. ජනතාව දැඩි විශ්වාසයක් තබලා තියෙනවා ආණ්ඩුව ගැන. ඒත් ප්‍රබල විපක්ෂයක් නොමැති වීම තුළ ප්රජාතන්ත්රවාදී රටකට එය ලොකු හානියක් කියලා මම හිතන්නේ?
අනිවාර්යයෙන් එය ඇත්ත. ප්‍රබල විවේචනය නැතිවීම ලොකු හානියක්. විපක්ෂයේ විවේචනය අඩු වීම නිසා ඉතා ඉක්මනින් ආණ්ඩුව පරිහානියට පත් වෙන්න පුළුවන් . මේ බලයම පාරා වළල්ලක් බවට පත්වෙන්න පුළුවන්. ලොකු පාඩුවක් වුණේ ආණ්ඩුවට මේ විශාල බලයෙන්. අනාගතයේදි එය පෙන්නුම් කරයි. අනාවැකි නොවෙයි කියන්නෙ. අපි කලබල නොවී මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ දිහා බලන් ඉන්න අවශ්‍යයි.
සුභද්‍රා දේශප්‍රිය