Home » කඳුළු අතරින් සිනා මල් ගෙන නුඹට සමුදෙමි ඒත් නුඹ සසරක්

කඳුළු අතරින් සිනා මල් ගෙන නුඹට සමුදෙමි ඒත් නුඹ සසරක්

by thanushika
December 14, 2024 12:30 am 0 comment

නුඹ තරම් හිත නිවන කවියක්
නුඹ තරම් හිත තවන මිහිරක්
අහිමි සඳ නුඹ මගේ සිත් අහසේ
නුඹ තරම් හිත බින්ද හිතකත්
මහමෙරක්වන් මතක කඳුළක්
තවම උණුහුම් සීත වස්සානේ
ඉතින් ආයේ මතක මංකඩ
හමුවෙමුද අපි එකම එක දවසක්
පුරුදු සෙනෙහෙන් කඳුළු සඟවා
වැළඳගමි තව එකම එක සැරයක්
කඳුළු අතරින් සිනා මල් ගෙන
නුඹට සමුදෙමි ඒත් නුඹ සසරක්
තවත් කඳුළක් වැටෙන්නට පෙර
නුඹේ අත අත්හරිමි ආදරයෙන්

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය – විශාරද දර්ශන වික්‍රමතුංග

පද රචනය – බුද්ධික විදානගේ

ජීවිතේ සමහර අත්දැකීම් හරි සුන්දරයි. සමහර අත්දැකීම් මිහිරියි. සමහර අත්දැකිම් වේදනාකාරියි. ඒ මොන දේ වුණත් කාලයක් යන විට මේ හැම දෙයක්ම සාමාන්‍ය වෙනවා. ඒත් ඒක එහෙම වුණත් අදටත් හිත අස්සේ තැන්පත් වෙලා සියුම්ව හිත රිදවන ප්‍රේමණියම මතකයක් අපි කාගෙත් හිත් වල තියෙනවා. මම එහෙම කිව්වාම මගේ පන්ති සඟයා හිනාවෙලා අහක බලා ගත්තා. ඇයි කියලා ඇහුවත් මොහොකතට පස්සේ ඔහු හඬ අවදි කළා.

“මට මගේ පළවෙනි ආදරේ මතක් වුණා.“

“ඉතින්?“

අපි දෙන්නා හොඳ යාළුවෝ. එහෙම හොඳ යාළුවෝ වුණේ කවද්ද කොහේදී ද කියන්න මට මතකයක් නැහැ. පි දෙන්නම හිටියේ එකළඟ ගෙවල්වල. එයාගේ පවුලේ අක්කලා අයියලා හිටියා. මම හිටියේ මගේ අක්කා එක්ක. උදේට හවසට හමුවෙන අපි කතා බහ කරන්න පටන්ගත්තේ ඉබේමයි. එයා ඒ වෙනකොට උසස් පෙළ කරලා ඉවරයි. මම රැකියාවකට යන්න පටන් ගත්තා විතරයි. මටත් මොන එහෙකට එයා ගැන හිතුණ ද මන්දා. ඒත් මට හිතුණා. අපි දෙන්නා නිතර නිතර කතා කරන්න පුරුදු වෙලා හිටියා. එයා පවුලේ බාලයා නිසා ඒ වෙනකොට ගෙදර හිටියේ එයයි අම්මයි තාත්තයි විතරයි. මම ඉඳහිට දවසක හවසක එහෙට යනවා පත්තරේ බලන්න. එහෙම නැත්නම් නවකතා පොතක් අරන් එන්න.

“මල්ලි ඔයා අර කෙල්ලට කැමැතිද?“ දවසක් අක්කා මගෙන් ඇහුවා. මම හිනාවෙලා අහක බලා ගත්තා.

“ඔයා හිනාවෙන්න එපා…. මම දන්නවා…. එයාගේ අම්මලගෙත් අකමැත්තක් නැති වෙයි. “ අක්කා එහෙම කිව්වට පස්සේ මට ඇගෙන් කිසිවක් සඟවන්න ඕන නෑ කියලා හිතුණා.

අපි දෙන්නා නිතර නිතර කතා කරන්න ගත්තා. ඉඳහිට හැන්දෑවක අපි කොහේ හරි ගියා. ඒක ඇත්තට ම හරි සුන්දර ආදරයක්. මම හිතුවා එයාගේ ගෙදරින් අපට අකමැති වෙන එකක් නෑ කියලා. එයාගෙ ගෙදරින් ඇත්තටම අකමැති වුණේ නෑ. ඒ වෙනකොට එයා හිටියේ කැම්පස් එකේ දෙවෙනි වසරේ. එයාගේ ඉගෙන ගන්න වැඩවලට වගේම අනෙක් දේවල්වලටත් වියදම් කළේ මම.

“ඔයාට මාව අමතක වෙයි ද සුදු?“

මම දවසක් ඇහුවා.

“නැහැ …එහෙම වෙන්නෑ…“

මම ඒ වචනය ගොඩක් විශ්වාස කළා. ඒත් ඒ වචන බොරු වෙන්න ලොකු කාලයක් ගියේ නෑ. මාව මගහරින් හේතුවක් තියෙනවද කියලා මම එයාගෙන් ඇහුවා. උත්තරයක් ලැබුණේ නෑ. ඊටත් මාස ගාණකට පස්සේ එයා එයාගේ ලොකු අක්කගෙ ගෙදර නතර වෙන්න ගියා. එයාගේ අම්මයි තාත්තයි පරණ පුරුදු විදිහටම මා එක්ක කතාබහ කළා. ඒ අම්මට තාත්තට මට මුහුණ දෙන්න ලැජ්ජා හිතුණා කියලා මට හිතෙනවා. මගෙ අක්කයි මස්සිනයි කිව්වා ගේ විකුණලා වෙන පළාතකට යමු කියලා. ඒ වෙනකොට මාත් ඒකට කැමැති වෙලා හිටියේ.

මට ජීවිතේ පුදුමාකාර හුදකලා බවක් දැනුණා. හැම දෙයක්ම අතහැරලා අපි ඒ ගෙදරින් ආවා. එයාගේ අම්මයි තාත්තයි නම් හොඳටම දුක් වුණා අපි එන දවසේ. මගේ පළවෙනි ආදරයත් අවසාන ආදරයත් හිත ඇතුළෙම වැළලුනා. ඒත් දන්නවද මට අදටත් හමුවෙලා නෑ එයා තරම් ලස්සන හිනාවක් තියෙන මිහිරි හඬක් තියෙන කෙනෙක්. ඒ කටහඬට හිත නිවෙනවා. ඒත් සමහර දේවල් නිසා එයා ගැන කළකිරෙනවා. දැන් නම් එයා මට මතකයක් විතරයි. ඒත් මතක් වුණාම හිත රිදෙනවා. අදටත් මම එයාට දොස් කියන්නේ නෑ. ඒක තමයි මගෙ ලැබීම. එයා එහෙම මාව දාලා ගියත් මම තවමත් ආදරෙයි. “එහෙම කියලා මා මිතුරා දිගු සුසුමක් හෙළුවා. ජීවිතයේ තරුණම අවදීයේ සිදු වූ ඒ සිද්ධිය නිසා ඔහු කෙතරම් නම් විඳවන්නට ඇති ද? මට එහෙම හිතුණා.

මා මිතුරාගේ ඒ සිදුවීම මට සිහිපත් වූයේ මෑතකදී ඇසු මේ ගීතයත් සමඟය.

“නුඹ තරම් හිත නිවන කවියක්

නුඹ තරම් හිත තවන මිහිරක්

අහිමි සඳ නුඹ මගේ සිත් අහසේ

නුඹ තරම් හිත බින්ද හිතකත්

මහමෙරක්වන් මතක කඳුළක්

තවම උණුහුම් සීත වස්සානේ…“

ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේය. ගීතය සංගීතවත් කරන්නේ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගය.

ගීතයේ පද රචනය බුද්ධික විදානගේ ය. මේ වන විට විදේශ සේවයේ නියුතු වන ඔහු ගීත රැසක්ම රචනා කර ඇත.

තමන් අතින් ලියැවුණ ගීතය පිළිබඳ ඔහු කියන්නේ මේ වගේ කතාවක්.

“අපේ සමාජයේ ඉන්න තරුණ තරුණියෝ ප්‍රේමයෙන් බැඳෙනවා … ඒත් සමහරු ටික දවසක් යන විට වෙන් වෙනවා. එහෙම වෙන් වෙන්නෙත් කවමදාවත් වෙන්වෙනයි කියලා නොසිතන අය. අන්න එහෙම අයගේ ප්‍රේමයක් ගැන තමයි මට ලියන්න වුවමනා වුණෙ තරුණියගේ හැරයාම දරා ගන්න, ඒ හැයාමත් ..ඒ ප්‍රේමය නිසා තම සිතේ තිබූ සතුට, ආදරය ගැනත් උපරිමයෙන්ම සිතන සිතකට දැනුන විඳීම විඳවීම තමයි මට කියන්න ඕන වුණේ. ඒ නිසාම තමයි මා අතින් මේ වචන ලියැවුණේ.

“කඳුළු අතරින් සිනා මල් ගෙන

නුඹට සමුදෙමි ඒත් නුඹ සසරක්

තවත් කඳුළක් වැටෙන්නට පෙර

නුඹේ අත අත්හරිමි ආදරයෙන්“

මා අතින් ලියැවුණ පද පෙළට ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ වහේම සංගීතවේදී දර්ශන වික්‍රමතුංගත් උපරිම සාධාරණයක් ඉටු කළා කියන හැඟීම මට තියෙනවා.“

සිය ගීතය ගැන බුද්ධික කිව්වේ එහෙම අදහසක්.

 ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division