– දෙවනි අදියර ෂූට් කරන්න යද්දි අපි තෝරගෙන හිටපු ලොකේෂන් සම්පූර්ණයෙන්ම ගං වතුරෙන් යටවෙලා
– නවකතාව කියවලා චිත්ත රූප මවාගෙන ඉන්න පාඨකයාට හානියක් නොවෙන විදිහට ටෙලි තිරයට ගේන එක ලොකු අභියෝගයක් වුණා
රාජාලි ධේනුව වැස්ස වහිද්දි පැටවු ටිකත් අරන් වලාකුළුවලටත් වඩා උඩින් පියාඹන කතාව අපි අසා ඇත්තෙමු. අභියෝගවලට අභියෝගවලින්ම පිළිතුරු දී ජීවිතය දිනන කාන්තාවන් ද එසේය. තොටිල්ල පදවන දෑතින් රට පාලනය කරන අවස්ථා ද නැතුවා නොවේ. සති අන්තයේ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණය නරඹන ඔබට එය අතිශයෝක්තියක් නොවන බව පැහැදිලි වීමට ප්රමාණවත්ය. දහසක් හරසුන් ටෙලි නිර්මාණ අතර තරංගා දිසානයකගේ කඳුළු කුණාටුව ඇසුරින් නිර්මාණය කළ ‘ඉරගිනි මද්දහන’ මඟින් සමාජගත කිරීමට උත්සාහ කර ඇත්තේ සමාජයට අවැසි දේ බව පවසමින් අප හා කතාබහට එක්වූවේ එහි අධ්යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහය.
ඔබේ අලුත්ම ටෙලි නිර්මාණය ‘ඉරගිනි මද්දහන’ මේ දිනවල විකාශය වෙනවා. ඒ ගැන කතා කළොත්?
‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණය බිහිවෙන්නේ සම්මානනීය ලේඛිකා තරංගා දිසානායකගේ රාජ්‍ය සම්මාන දිනූ ‘කඳුළු කුණාටුව’ නවකතා පොත ඇසුරින්. නිරෝෂ් කැලුම් විජේසූරියගේ නිෂ්පාදනයක්. ඒ වගේම ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායකගේ සංගීත සංයෝජනයෙන් ඔපවත් වුණු ‘ඉරගිනි මද්දහන’ ආකර්ෂණීය රූපරාමු පෙළක් බවට පත්කරමින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමේ වගකීම භාරගත්තේ ප්‍රවීණ කැමරා අධ්යක්ෂ බුද්ධික මංගල. ඔහුත් මා හා සමානවම නිර්මාණය වෙනුවෙන් කැප වුණා. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, සම්පත් කරුණාරත්න, ලෝචනා ඉසුරුන්දි, අවන්ති අපෝන්සු, අනිල් ජයසිංහ, රූපා පතිරණ, නයනා රඹුක්කන, සප්නා පාදුක්ක, චන්දන ඉරුගල්බණ්ඩාර ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
නවකතාවක් ටෙලි තිරයට ගෙන ඒම අභියෝගයක් කියල හිතුණෙ නැද්ද?
නවකතාව කියවලා චිත්ත රූප මවාගෙන ඉන්න පාඨකයාගේ චිත්ත රූපවලට හානියක් නොවෙන විදිහට මේක ටෙලි තිරයට ගේන එක ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම එහි චිත්ත රූපවල අර්ථයට හානියක් නොවෙන්නත් ඕන. එතැනදි තරංගයි මමයි කතා කරලා හරි පරිස්සමට සංස්කරණය කරපු තැන් තියෙනවා. අනිත් එක තමයි නවකතාවක තියෙන චරිත, සිදුවීම් සියල්ලම ටෙලි තිරයට ගේන්නත් බෑ. ඒකට යම් සීමාවක් දාගන්නත් වෙනවා.
ඔබ නිතරම සමාජයට අවැසි දේ දෙන්න උත්සාහ කරන නිර්මාණකරුවෙක්. ‘ඉරගිනි මද්දහන’ නිම වුණේ මොන වගේ තේමාවකින් ද?
මෙය සමන්තා කියන දිරිය ගැහැනිය වටා ගෙතුණු කතාවක්. හරියට ඔෂීන් වගේ. තමන්ගෙ ජීවිතේට එන අනේකවිද බාධක හමුවේ නොසැලී ඒ හැම අභියෝගයකටම අභියෝගයටත් වඩා ඉහළින් ප්‍රතිචාර දක්වන ගැහැනියක්. ආදරය හමුවේ ඇයත් එක්වරක් ජීවිතය වරද්ද ගන්නවා. ඒත් ඇය කඩාවැටෙන්නෙ නෑ. මොන පැත්තකින් හරි ශක්තිය අවදි කරගෙන නැඟිටින්න පුළුවන් කියන එක තමයි දිරිය ගැහැනියක් විදිහට ඇය මේ සමාජයට දෙන්නේ.
දුෂ්කර පැතිවල රූගත කළ නිසා අමතක නොවන තැන් බොහෝ ඇති?
පළමු අදියර සම්පූර්ණයෙන්ම වගේ රූගත කළේ මහව ප්‍රදේශයේ. දෙවැනි අදියර රූගත කරන්න යද්දි අපි තෝරගෙන හිටපු ලොකේෂන් සම්පූර්ණයෙන්ම ගං වතුරෙන් යටවෙලා. ඒ වගේම අපි මේක රූගත කළේ රටේ තෙල් අර්බුදය කාලේ. රංගන ශිල්පීන් පවා රූගත කිරීම්වලට ආවේ දුම්රියෙන්. ඒ වෙලාවෙ අපි බස් එකක් අරන් ෂූටිංවලට ගියේ හරියට ට්‍රිප් එකක් යනව වගේ. සමහර පැතිවල එන්න බැරුව අපි දවස් ගණන් හිරවෙලා හිටියා. කට්ටිය එකතුවෙලා සින්දු කියලා හරි විනෝදෙන් කාලය ගත කළා. ඒ වගේ සෑහෙන බාධක හමුවේ ආපු ගමනක් මේක.
අධ්යක්ෂවරයෙක් වගේම ඔබ දක්ෂ තිරපිටපත් රචකයෙක්. වර්තමානයේ හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නෑ කියල ද ඔබත් හිතන්නේ?
අද ටෙලි තිරයත් රැල්ලට අහුවෙලා කියලා මට හිතෙනවා. හොඳ නිර්මාණ ඕන තරම් බිහිවෙනවා. ඒ වගේම දක්ෂ නිර්මාණකරුවොත් ඕනෑ තරම් ඉන්නවා. මට හිතෙන්නේ ඔවුන්ට අවස්ථාවක් නැතිකම තමයි ලොකුම ගැටලුව. බොහෝ ආයතන රසඥතාව පැත්තකට දාලා රැල්ලට අහුවෙලා ඉක්මනින් ජනගත කළ හැකි අවර ගනයේ ටෙලි නිර්මාණ තෝර ගන්නවා. හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නැතුව නෙවෙයි ඒවා විකාශය කරගන්න අවස්ථාවක් නැතිකම තමයි ගැටලුව. කලාකාරයෙක්, ලේඛකයෙක් විදිහට මට ඕන කළේ සමාජයට දිය යුතු දේ දෙන්න. සමහර විට මේක සමාජය බලාපොරොත්තු වන දේ නොවෙන්නත් පුළුවන්. එහෙම බලද්දි මේ වගේ නිර්මාණ කරනව කියන්නෙම උඩුගං බලා පිහිනීමක්. කවදත් ජාතියට හොඳම දේ තිළිණ කරන ජාතික රූපවාහිනිය ගුණාත්මක හොඳ දේ තුළින් රැල්ලක් ඇති කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි ‘ඉරගිනි මද්දහන’ ප්‍රේක්ෂකයා වෙතට එන්නේ. ඇතැම් නාළිකා මේ නිර්මාණය ඉහළින්ම අගය කළත් ඔවුන් රැල්ලට දුවන නිසා අවස්ථාවක් දුන්නෙ නෑ. ටෙලි නිර්මාණයක් කරන්න කොතරම් දැනුම, හැකියාව, පළපුරුද්ද තිබුණත් ඒක නාළිකාවක් හරහා සමාජගත කිරීම නාට්‍ය හදනවට වඩා අමාරුයි කියන එක මම තේරුම් ගත්තා. ඒක වෙනමම ක්‍රමවේදයක්.
ඔබ මේ වෙද්දි ජනප්‍රිය කාන්තා පුවත්පතක කතුවරයෙක්. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?
මම ක්ෂේත්රයට එන්නේ මාධ්‍යවේදියෙක් විදිහට පත්තරවලට කවි ලියලා, නවකතා ලියලා. ලබන අත්දැකීම් පන්නරයක් කරගෙන මේ වෙද්දි පුවත්පත් කතුවරයකු දක්වා එන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම කාන්තා පුවත්පතක කතුවරයා වීම හරහා මේ රටේ දහසක් කාන්තාවන්ගේ පවුල් ප්‍රශ්න මට සජීවී අත්දැකීම් විදිහට අහන්න, දකින්න ලැබුණා. ඒ වගේම මමත් නිකවැරටිය වගේ දුෂ්කර ගමක ඉපදුණු කෙනෙක් විදිහට ඔය වගේ අත්දැකීම් ලබල තියෙනවා. ‘ඉරගිනි මද්දහන’ නිර්මාණයේදී ඒවත් මට සහායක් වුණා.
එතකොට ඔබ රූප මාධ්‍යයේ පෙළහර පාන්න පටන් ගත්තේ?
මුලින්ම මං තිරපිටපත් ලිව්වා. ටෙලි නාට්‍ය තිරපිටපත් 20ක් විතර ලියල තියෙනවා. ඊට පස්සේ අධ්යක්ෂණයට යොමුවුණා. මේ වෙද්දි චිත්‍රපට 2ක් නිර්මාණය කරල තියෙනවා. මුලින්ම නිර්මාණය කළ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ හරහා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගන්න මට ලොකු අවස්ථාවක් ලැබුණා. ලංකාවේ පාසල් පද්ධතියෙත් ගොඩක් ප්‍රදර්ශනය වුණා. ඒ වගේම ‘විවර්ණා’ මේ වෙද්දි වැඩ නිමවෙලා ප්‍රදර්ශනය සඳහා තියෙනවා. මේ දවස්වල ‘ආර්ට් ටීචර්’ කියන අලුත්ම චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා. ටෙලි නාට්‍ය පැත්ත ගත්තොත් ‘පාට පිහාටු’ ටෙලි නාට්‍යය විකාශය වුණා. ‘මනුසත් විමන’ විකාශය වීමට නියමිතයි. මේ දිනවල ‘ඉරගිනි මද්දහන’ විකාශය වෙනවා.
නාමලී ගමගේ