Home » ආදරේ මාව රවට්ටලා නෑ

ආදරේ මාව රවට්ටලා නෑ

තිළිණි කෞෂල්‍යා

by thanushika
December 14, 2024 12:30 am 0 comment

මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන රස රහසක් හි උදානි කියන්නේ කටකාර චරිතයක්. ඒ කටකාරකම නිසාම උදානි ඉතාම කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතර මතකේ හිටින චරිතයක් වී තිබෙනවා. උදානිට ජිවය දෙන්නේ තිළිණි කෞෂල්‍යා සමරසේන. රසඳුන මේ කතාබහ ඇය සමඟ….

රස රහසක් හි උදානිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. මමත් ආසම චරිතයක් වගේම පළවෙනි වතාවට කටකාර හරිම නිදහස් කෙල්ලෙක්ගෙ චරිතයක් ලැබුණේ.

උදානි වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

මීට කලින් ටෙලිනාට්‍යවල මටම ආවේණික චරිත රඟදක්වලා තිබුණේ නැහැ. ඒ වගේ අවස්ථාවක පළවෙනි වතාවට ටිකක් දඟකාර කටකාර හාස්‍යොත්පාදක චරිතයක් ලැබුණේ. උදානි කියන්නෙම රස රහසක් හෝටලේ සැහැල්ලුවෙන් ඉන්න කිසිම බරක් පතලක් නැතුව හිතන පතන. වැඩ කරනවට වඩා කියවන්න කැමති කෙල්ලෙක්. ඒ නිදහස් චරිතයට මම හරිම කැමතියි. උදානි වෙන්න ලැබුණ එක මට ලොකු සතුටක් සහ හොඳ අවස්ථාවක්.

තිළිණි මින් පෙරත් නිර්මාණ කිහිපයකින්ම අපිට දකින්න ලැබුණා. මුල්ම නිර්මාණය මොකක්ද?

මුල්ම ටෙලිනාට්‍ය අත්දැකීම වුණේ තුෂාර තෙන්නකෝන් අයියගෙ දෙරණ නාළිකාවේ විකාශය වුණු “මල් පිපෙන කාලේ ” ටෙලිනාට්‍යයෙන්. ගොඩක් අය හඳුන ගත්තේනම් ලහිරු මුදලිගෙ අයියගේ හරිටීවී නාළිකාවෙන්.

කොහොමද කලාවට අවතීර්ණ වෙන්නෙ?

මුලින්ම මම කලාවට ආවේ හඬකැවීම් ශිල්පිනියක් විදියට. එතැනින් පස්සෙ වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් සහාය නිෂ්පාදිකාවක් ලෙසත් නාළිකා කිහිපයකම වැඩ කළා. ඇත්තටම මම රංගනයට එන්න ලොකු බලාපොරොත්තුවක් නොතිබුණත් අද වෙද්දි වැඩිම අවස්ථා ලැබෙන්නෙ රංගනයෙන්.

නිළියක් වෙන්න ඕනම කියලා හිතුණේ ඇයි?

පුංචි කාලේ පාසලේ නාට්‍ය සංගමයේ හිටියා, තරගවලටත් සහභාගී වුණා. හඬකැවීම්වලට ඇවිත් අහම්බෙන් මල් පිපෙන කාලේ නාට්‍යයේ රඟපෑවට පස්සෙ මට රංගනය හදාරන්න ආස හිතුණා. නිවේදිකාවක්, හඬකැවීම් ශිල්පිනියක් විදියට ඉඳලා රංගනයට ලැබුණු පුංචි අවස්ථා කිහිපයක් නිසා දැන් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා.

වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

හැමෝම හිතන්නෙ එහෙම වුණත් ඇත්තටම මම වෘත්තියෙන් ගුරුවරියක්. මේ වෙද්දි මම ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදි ගෞරව උපාධියක් හදාරනවා. කුඩා කාලේ ඉඳලම ගුරුවරියක් වෙන්න ආසාවක් වගේම පොඩි දරුවෝ එක්ක ඉන්න මම කැමති. ඒ නිසාම තමා මේ උපාධියත් හදාරන්න හිතුවේ. ඒ එක්කම ගුරුවරියක් විදියට දැන් පාසලක සේවය කරනවා. වාණිජ අංශයෙන් උසස් පෙළ කළත් විශ්වවිද්‍යාලයට ගියත් නැවතත් මේ උපාධිය හදාරන්න අවශ්‍යයි කියලා හිතුණේ ඒකයි. මම ගුරු වෘත්තිය සහ රංගන වෘත්තිය පටලවගන්නෙ නැහැ. පන්ති කාමරයෙ පොඩි දරුවෝ එක්ක එයාලගෙ පාඩම් වැඩ කරනවා වගේම පාසලෙන්වත් පාසලේ මව්පියන්ගෙන්වත් විදුහල්පතිනිය සන්ධ්‍යා කුමාරි මහත්මියගෙන්වත් මට රංගනයට බාධාවක් නැහැ. එ නිසාමයි මම කියන්නෙත් කටකතා හදන මිනිස්සු අපි ගැන ඇත්තටම දන්නෙ නෑ කියලා.

රංගනයේදි තිළිණිට සීමාවන් නැද්ද?

තියෙනවා. හැබැයි රඟපාද්දි මම ඒ චරිතය ඒ විදියටම කරන්න උත්සහ කරනවා. ඉතින් ඒ ඒ චරිත අනුව ධනාත්මක සහ සෘණාත්මක ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ හැමදෙයක් එක්කම ඉගෙනගෙන දැන් නම් සීමාවන් එක්ක තමයි රංගන කටයුතු කරන්නෙ.

රංගනය තුළදි අමතක නොවන මතකයන් ඇති?

මට අමතක නොවෙනම දේ තමා මම හිතුවෙවත් නැති අවස්ථාවක දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙන අරුණ ජයවර්ධන අයියගෙ ‘රස රහසක්‘ නිර්මාණයෙ උදානි වුණු එක. ඒ වගේම පළවෙනි වතාවට තමයි. ඒ තරම් සුහද ආදරණීය නිෂ්පාදක කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණේ. ඒ වගේම සියත ටීවී නාළිකාවේ සින්ධු ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ලසිත කාරියවසම් අයියා ඇතුළු කණ්ඩායමත් ආදරෙන් මතක් කරනවා ඔවුනුත් හරිම සුහදශීලි වගේම ආදරණීය කණ්ඩායමක්. මේ අවස්ථා දෙකම ලැබුණු එක මගෙ ජීවිතේ මට තියෙන හොඳම මතකයන්.

ඔබ ගැන කවුරු හෝ කටකතා කිව්වොත් ඒ ගැන මොකද හිතන්නෙ?

ඇත්තටම මම ඒ ගැන හිතන්නේ නැහැ. ඉස්සර නම් මම හිතුවා, දුක් වුණා, මානසිකව වැටුණා. ඒත් මගෙ වටේ හිටිය ආදරණීය මිනිස්සු මගෙ හිත හැදුවා, ශක්තිමත් කළා. අපිට හැමෝටම හොඳ වෙන්න බැහැ. අපිට කැමති වගේම අකමැති අයත් ඉන්න පුළුවන්. සමාජ මාධ්‍ය ගත්තම ඒවයේ වීව්ස් වෙනුවෙන් අදාළම නැති මාතෘකාවලින් වෙනස්ම දේවල් සමාජ ගත කරනවා. ඒකේ හානිය එයාලා දකින්නෙ නෑ. ඒ ඔවුන්ට වීව්ස් විතරක් අවශ්‍ය නිසා. අපි ගැන කතා හදන කියන හැමෝම අපිව හොඳින්ම දන්න අය නොවන නිසාත් හොඳින්ම දන්න අය අපිට ආදරේ නිසාත් මම දැන් කටකතා ගැන හිතන්නේ නැහැ.

ආදරේ නිසා රැවටුණු තැන් තියෙනවද?

නැහැ. මට ආදරේ සහ මම ආදරේ මිනිස්සු මාව රවට්ටලා නැහැ.

ලස්සන හොඳ ආදරයක් විඳින්න හැමෝම ආසයිනේ. ආදරේ කරන්නත් හැමෝම ආසයි. මමත් හොඳ ආදරවන්තියක් වෙන්නැති කියලා මම හිතනවා

පවුලේ විස්තර කිව්වොත්?

මගෙ පවුලේ ඉන්නෙ අම්මා තාත්තා අයියා සහ මම. අම්මා තාත්තා දැන් රජයේ විශ්‍රාමිකයි. අයියා වෛද්‍යවරයෙක්.

ඔබේ ඉලක්කය මොකක් ද?

ගුරුවරියක් විදියට කටයුතු කරන ගමන් කලාවටත් සම්බන්ධ වෙලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දවසක දක්ෂතම රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division