Home » රූපණයෙන් පොහොසත් සිනමා තරුව චුලක්ෂි

රූපණයෙන් පොහොසත් සිනමා තරුව චුලක්ෂි

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment
තුසිත ජයසුන්දර

පළමු පෙළ චරිත නිරූපණයට බට තරුණ නවක සිනමා නිළියක සිනමා රූපණයේ දිගු ගමනක නිරත වීම අපේක්ෂා කරන්නේ නම් ප්‍රතිභාව සේම ව්‍යුත්පත්තිය කෙරෙහිද අත්‍යන්තයෙන්ම සැලකිලිමත් විය යුතු වනවා. ඉන් අනතුරුවයි රූප සොබාව යන සාධකය පැමිණෙන්නේ. වසර කිහිපයක කාලවකවානුව තුළ සිනමාපට කිහිපයකට පමණක් එක්වෙමින් සම්මානනීය වන සිනමා නිළියකගේ පසුබිම විවරණයේදී මෙකරුණු පසක් කර ගැනීම අපහසු නැහැ. හොඳම නිදසුනක් සේ මෑතදී දත හැකි වන්නේ චුලක්ෂි රණතුංගයි. නොකඩවා දින සියය ඉක්මවා තිරගත කෙරෙන ‘මන්දාරා’ සමඟ ඇය රූපණයෙන් එක්වූ සිනමාපට සංඛ්‍යාව අටක්. මේ වසර සතක් ඇතුළත වීම අමතක නොකළ යුතු කාරණයක් වනවා.

ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ ‘මන්දාරා’හි චුලක්ෂි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ සිරිලක සිනමා තාරකා අම්බරයේ අභිනවයෙන් ලැගුම් ගත් මේඝ සූරියආරච්චි සමඟ. මේඝ පසුගියදා සිනමා රූපණයෙන් පරිබාහිර පිවිසුමකදී අන්තර්ජාතික අවධානයට ලක් වන්නේ සිරිලක සිනමාවටද වටිනාකමක් සපයමින්.

‘මන්දාරා’ නිසැක වශයෙන්ම එක් කළ හැක්කේ රසාලිප්ත සිනමා නැඹුරුවට. සිනමාකරණයේ එකිනෙකට පරස්පර අත්දැකීම් ලද ප්‍රියන්ත කොළඹගේ ‘මන්දාරා’ හරහා මේඝ හා චුලක්ෂි වෙත ලබා දෙන පිළිගැනීම කැපී පෙනෙනවා. චුලක්ෂිගේ සිනමාවතරණය සිදු වන්නේ ප්‍රියන්තගේම සිනමාපටයකින් වීම මෙතැනදී අමතක කළ නොහැකි කාරණයක්. මේ සිනමාපටය – ‘දේදුනු ආකාසේ’ ද ප්‍රියන්තගේ රසාලිප්ත සිනමා භාවිතයේ අමතක නොවන අවස්ථාවක්.

චුලක්ෂිගේ සිනමා රූපණ සමත්කම ඇගැයූ සුවිශේෂම මොහොත උදාවන්නේ 35 වන සරසවිය සිනමා සම්මාන උලෙළේදී. මේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘විජයබා කොල්ලය’ හි ඇය නිරූපණය කළ හමිදුම්මා නමැති අනිවාරතේ කරදරේ වැටුණු රුවැති කතකගේ චරිතය වෙනුවෙන්. ඇය හමිදුම්මාගේ චරිතය නිරූපණය කරන්නේ හේමාල් රණසිංහ හා අශාන් ඩයස් සමඟ කරට කර. උක්ත සම්මාන උලෙළේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය ඇය විසින් හිමි කර ගනු ලබන්නේ සිනමා රූපණයේ දුර ගමනක් යාමේ ඇගේ උත්සාහය අවධාරණය කරමින්. හමිදුම්මාගේ චරිතය හා ‘මන්දරා’හි ඇය නිරූපණය කළ චරිතය කිසිසේත්ම එක පෙළට තබන්නට බැහැ. එකිනෙකට වෙනස් චරිත වෙත යුක්තිය ඉටු කරලීමට ඇය සතු සමත්කමයි මෙයින් පිළිබිඹු වන්නේ.

වසරකට පෙර සිනමාශාලා කරා ආ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ , චුලක්ෂිගේ රූපණ සුවිශේෂතා පිළිබඳ විමසුමකට උචිත මාහැඟි අවස්ථාවක් වනවා. ‘මිදුණු විශ්වය’ රසික සිත් සසල කළ නවමු අත්දැකීමක් සිනමානුරූපීව රැගෙන ආ අපූර්ව සිනමාපටයක්. මෙහි එන වත්මන් පෙම්වතාගේ හා අතීත පෙම්වතියගේ හාදකම සම්බන්ධිකරණයටයි චුලක්ෂිගේ චරිතය කැඳවන්නේ. මෙවැනි අතිශය දුලබ චරිතයක් ජයන්ත චන්ද්‍රසිරි බඳු රූපණය කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දක්වන සිනමාකරුවකු යටතේ ගෙනහැර පෑම සැබැවින්ම අසීරුයි. සිනමා රූපණයේ තරමක හෝ අත්දැකීම් සහිත, රූපණ සමත්කම්ද පෙන්නුම් කළ උද්දික ප්‍රේමරත්න හා උදාරි වර්ණකුලසූරිය සමඟ මෙම සම්බන්ධිකරණ කාර්යයෙහි නිරත වීම ඇයට අභියෝගයක් වන්නට ඇති.

උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිමල් පොකුරු’හි එන චුලක්ෂිගේ රූපණය ආන්දෝලනාත්මක වූවක්. එනමුදු මෙය වැඩි කතා බහකට ලක් නොවීම කනගාටුදායකයි. ඊට පැවැති කොවිඩ් වසංගතයද අනියම් හේතුවක් වුණා. මෙහිලා ඇය පළ කළේ නිර්භය පිවිසුමක්. පොලිස් ප්‍රධානියකුගේ කාම දැලට හසුවන අහිංසකාවියකගේ චරිතය චුලක්ෂි විසින් මෙහිදී නිරූපණය කරනු ලබන්නේ අදාළ හැඟීම්බර බව නොසැඟවීමේ වුවමනාව ඉඟි කරමින්.

‘මන්දාරා’ට පසුව ඇගේ රූපණය දත හැකි සිනමාපටයක් සිනමාශාලා කරා පැමිණෙන තුරු බලා සිටින රසික පිරිසක් හඳුනා ගන්නට පුළුවන්. මේ සිනමා නළුවකු හෝ නිළියක වෙත නිරතුරුවම ලැබෙන පිළිගැනීමක් නොවන බවයි කිව යුත්තේ. චුලක්ෂි මේ වන විටද සිනමා තරුවක්. සිනමා කලාපයක පැවැත්ම වෙනුවෙන් සිනමා තරුවකට කළ හැකි දේ බොහොමයක් තිබෙනවා. මේ වගකීම සම්බන්ධයෙන් චුලක්ෂි තුළ වැටහීමක් ඇති බවයි ඇගේ රූපණයෙන් පොහොසත් වූ සිනමාපට සමුච්චය පවසන්නේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division