Home » ගෙදරින් සල්ලි අරන් ඇවිත් පළමුවැනි නාට්‍යය කළේ

ගෙදරින් සල්ලි අරන් ඇවිත් පළමුවැනි නාට්‍යය කළේ

හංසි සමරතුංග

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

– කාලය කළමනාකරණය කරගෙන රංගනයත් වෛද්‍ය වෘත්තියත් කරගෙන යනවා
– වේදිකාවේ වැඩ කරනවට වඩා වෙනස්ම අත්දැකීමක් පුංචි තිරය තුළින් මම ලබන්නේ

මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණයක් තමයි අසංක සායක්කාරගේ සින්ටෝ නාට්‍යය. සින්ටෝ හි වෛද්‍යවරියගේ චරිතය රඟපාන්නේ සැබෑ ජීවිතෙත් වෛද්‍යවරියක් නිසා මේ දවස්වල ඇය හරි ජනප්‍රිය චරිතයක් වී තිබෙනවා. හැමෝම හොයන සින්ටෝහි දොස්තර නෝනා හංසි සමරතුංග සමඟ කළ කෙටි කතා බහයි මේ….

මේ දවස්වල සින්ටෝ නාට්‍යය නිසා ජනප්‍රිය චරිතයක්නේ, ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සින්ටෝ කියන්නේ මගේ පළවෙනි ටෙලි නාට්‍යය. මම පෙනී සිටින්නේ සීමිත දර්ශන කිහිපයකට විතරයි. මම ඉන්න කොටස් විකාශය වෙන්න ගත්තම හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. දැන් මම පාරේ යද්දී, කඩේකට ගියත් මාව හඳුනාගෙන රසිකයෝ කතා කරනවා. මම වැඩ කරන්නේ රත්නපුර මහ රෝහලේ. ඒ හැමෝම හැම තැනකදීම වගේ කතා කරනවා.  

වෘත්තියෙන් වෛද්‍යවරියක්, රංගනයට යොමු වුණේ කොහොමද?

මම පාසල් යන කාලේ සාමාන්‍ය පෙළට නාට්‍යය හා රංග කලාව හැදෑරුවා. පාසල් කාලේ අපේ වයසේ ළමයෙක්ට නඟින්න පුළුවන් ස්ටේජ් එකක් තියෙනවා නම් මම අනිවාර්යෙන්ම එතැන හිටියා. සබකෝලය එහෙම මට නැහැ. පාසලේ දී නැටුම් පවා කළා. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ටවර්හෝල්, එල්ෆින්ස්ටන්, ලයනල් වෙන්ඩ්ට්, පුංචි තියටර් වැනි රඟහල්වලට යනවා නාට්‍ය බලන්න. සරසවියෙන් ඉවත් වෙන්න යද්දී මට වේදිකාව අහිමිවෙනවා වගේ එකක් දැනුණා. මට එහෙම බැහැ, මට වේදිකාව එක්ක රැඳිලා ඉන්න ඕනෑ කියලා හිතුණා. ඊට පසුව මම රංගනය ඉගෙන ගන්න හොඳම තැනක් හොයලා බැලුවා. එතකොට තමයිමම සෝමලතා සුභසිංහගේ ප්ලේහවුස් ආයතනය ගැන දැන ගත්තේ. මට ඒ පාඨමාලාව පටන් ගන්න තිබ්බ එකම කාලය වුණේ කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එක පටන් ගන්නකම් තිබ්බ එකම අවුරුද්ද. ඒ කාලේ වෙද්දී තිබ්බ පාඨමාලාව මම විභාගේ ඉවර වෙලා එද්දී පටන් අරන්. මම කෞෂල්‍යා ප්‍රනාන්දු හමුවෙලා ඉල්ලීමක් කළා, මම එද්දී මාස තුනක් ගිහින් වුණත් මට එන්නම ඕනේ කියලා. ඒ ඉල්ලීම විශේෂ ඉල්ලීමක් විදියට සලකලා මට අවස්ථාව දුන්නා. මිස්ට හරි සතුටු හිතුණා වෙන ෆීල්ඩ් එකක කෙනෙක් ඩ්‍රාමා කරන්න මෙච්චර කැමතිද කියලා. එතැනින් පස්සේ තමයි ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වුණේ.

සින්ටෝ හි වෛද්‍යවරිය වෙන්න ඇරයුම් ලැබුණාම මොකද හිතුණේ?

ඒ වෙනකම් මම කරලා තිබුණේ වේදිකා නාට්‍යය විතරයි. ඒ වෙද්දී අපිට ස්ක්‍රීන් එක ගැන ප්ලේහවුස් ආයතනය මඟින් දැනුම්වත් කරලා තිබ්බත් මට ස්ක්‍රීන් එකේ වැඩ කරලා අත්දැකීම් තිබ්බේ නැහැ. ඒ නිසාම මට ඒ අත්දැකීම ලබන්න ආස වුණා. මගේ නාට්‍යය ගුරුතුමිය කෞෂල්‍යා මිස්. මම මිස්ටත් කිවුවා මම යනවා මට ඒ අත්දැකීම අරගන්න ආසයි කියලා. අනිත් අතට මට වෛද්‍යවරියකගේම චරිතයක් ලැබුණු නිසා මට හිතෙනවා මගේ පළවෙනි රංගනය සාර්ථකව කර ගන්න පුළුවන් වුණා කියලා. වේදිකාවේ වැඩ කරනවට වඩා වෙනස්ම අත්දැකීමක් පුංචි තිරය තුළින් මම ලබන්නේ.

ඔබේ වෘත්තියේ ඔබ නියැළී ඉන්න අංශය මොකක් ද?

දැන් සීමාවාසික පත්වීම අවසන් වෙලා පළමු පත්වීම විදිහට රත්නපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා.

ඔබ දිගටම රඟපාන්න ද කැමති?

මට තියෙන ලොකුම ගැටලුව කාලය. මම කරන රැකියාවත් එක්ක හිතෙන හිතෙන වෙලාවට නිවාඩු ගන්න බැහැ. එක පාරකට එක වැඩක් හෝ දෙකක් තමයි බැලන්ස් කර ගන්න පුළුවන්. මම වේදිකා නාට්‍යය පුහුණුවීම්වලට බ්‍රහස්පතින්දා රෑ කොළඹ ඇවිත්, ආයේ පහුවදා රත්නපුර ඇවිත් හොස්පිටල් එකේ වැඩත් කරනවා. කොහොම වුණත් අනිවාර්යෙන්ම දිගටම කලා ක්ෂේත්‍රයේ ඉන්න ආසයි. කලාව මගේ විනෝදාංශයක්. ඒ නිසා කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන රංගනයත් වෛද්‍ය වෘත්තියත් කරගෙන යනවා.

ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

පොඩි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි මාව ඉස්සරහට තල්ලු කරපු එක තමයි කළේ. ඔවුන්ගෙන් බාහිර වැඩවලට ලොකු තල්ලුවක් දුන්නා. කැම්පස් එකෙන් පස්සේ මම නාට්‍යය කරන්න ගත්තම ලොකුම ගැටලුව වුණේ මම ගෙදර නැති එක. මගේ ගෙවල් රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ. අතේ සල්ලිත් නැහැ. ගෙදරින් සල්ලි අරන් ආවේ. ඒ වුණාට අම්මගෙන් තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. නාට්‍යයකට කොස්ටියුම් එකක් ඕනේ වුණොත් තාත්තා කොහොම හරි ඒක හොයලා හදලා දෙනවා. අද ඒ දෙන්නා මං ගැන හොඳටම සතුටු වෙනවා.

මගෙ අම්මයි තාත්තායි දෙන්නම විදුහල්පතිවරු. තාත්තා දැන් විශ්‍රාමිකයි. මල්ලි සිවිල් ඉංජිනේරුවෙක්. එයත් සංගීතය පැත්තට නැඹුරුයි.‍

හංසි අධ්‍යාපනය ලැබුවේ කොහෙද?

මම පාසල් කිහිපයකට ගියා. මුලින්ම ගියේ උඩරන්වල විද්‍යාලයට. පසුව ඇල්ලෙපොල මහා විද්‍යාලයට සහ ඕපනායක විද්‍යාකර මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ හැදෑරුවේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයෙන්. එතැනදී මම උසස් පෙළට ජීව විද්‍යාව අංශයෙන් පෙනී ඉඳලා ඒ සාමාර්ථ තුනක් ලබාගෙන කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.

හංසි පෞද්ගලික ජීවිතේ ගැන කිවුවොත් ආදරවන්තියක් ද?

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහුත් පාසල් යන කාලේ බාහිර වැඩවලම හිටපු කෙනෙක්. එයා දැන් රස්සාවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. හැබැයි මගේ කලා කටයුතුවලට උපරිම සහයෝගය දෙනවා. ඒ එක්කම එයා හරි ආසයි මම ඉස්සරහට යනවා බලන්න. ඒක මට එයාගෙන් දැනෙනවා.

මඟ තොටේදී ප්‍රේක්ෂක ආදරේ ලැබෙද්දී මොකද හිතෙන්නේ?

ලැබෙන ප්‍රතිචාර ගැන මට මුලින්ම නම් හිතා ගන්නත් බැරි තරම්. මම කරන්නේ ප්‍රධාන චරිතයකුත් නෙවෙයිනේ. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ. ගොඩක් අය කියන්නේ මගේ වොයිස් එක ලස්සනයි කියලා. මාව හඳුනා ගන්නෙත් මගේ වොයිස් එකෙන්. අනිත් එක මම වෘත්තියෙන් වෛද්‍යවරියක් නිසා වෙන්න ඇති ඇත්තම වෛද්‍යවරියක් වගේ හැඟෙනවා කියන්නේ. සතුටුයි ඉතින්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division