දකුණු ඉන්දියානු චිත්‍රපට රස විඳින සිනමා ලෝලීන් බොහෝදෙනා මේ දිනවල වහවැටී සිටින චිත්‍රපටයක් තිබෙනවා. ඒ Pushpa 2: The Rule චිත්‍රපටය යි. තෙලිඟු සිනමාපටයක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුපිරි නළු නිළි දෙපළක් වන අල්ලු අර්ජුන් සහ රශ්මිකා මන්දනා. ඊට අමතරව තවත් ඉතා දක්ෂ නළුවකු වන ෆහාද් ෆාසිල් ද Pushpa 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානවා. මෙම චිත්‍රපටය මෙයට වසර තුනකට පෙර, එනම් 2021 වසරේ තිරගත වූ Pushpa: The Rise සිනමාපටයේ දෙවැනි කොටසයි.
පළමු චිත්‍රපටය ලැබූ අතිවිශාල සාර්ථකත්වය නිසා සිනමාලෝලීන් එහි දෙවැනි කොටස පිළිබඳව මහත් බලාපොරොත්තුසහගතවයි සිටියේ. ඒ නිසා පසුගිය 6 වැනි දින මෙය ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ ප්‍රේක්ෂකයන් එය නැරඹීම සඳහා වැල නොකැඩී පැමිණෙන්නට පටන් ගත්තා. මේ වන විට මෙම අපූරු සිනමාපටය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වෙනවා.
ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබූ ආකාරයට එය තිරගත වූ පළමු දිනයේම වාර්තාවක් පිහිටුවන්නට සමත්ව තිබුණා. එදින ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 280ක (ලංකා රුපියල් කෝටි 950ක) ආදායමක් උපයන්නට එයට හැකිව තිබූ අතර ඉන්දියානු සිනමා ඉතිහාසය තුළ පළමු දිනයේ වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටය එය බවයි සඳහන් වන්නේ. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේත් තෙලිඟු චිත්‍රපටයක්. ඒ පසුගිය 2022 වසරේ තිරගත වූ එස්. එස්. රාජමෞලි අධ්‍යක්ෂණය කළ RRR චිත්‍රපටයයි. එය පළමු දිනයේ ඉන්දීය රුපියල් කෝටි 223 ක් උපයා තිබුණා.
Pushpa 2 හින්දි භාෂාවෙන් ද නිකුත් වූ අතර එයත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. පළමු දිනයේ වැඩිම ආදායම් ඉපැයූ හින්දි චිත්‍රපටය ලෙස පසුගිය දිනවල වාර්තා පිහිටුවා තිබුණේ ෂාරුක් ඛාන් රඟපෑ ‘ජවන්’ චිත්‍රපටය යි. නමුත් අල්ලු අර්ජුන්ගේ Pushpa 2 දැන් එම වාර්තාවත් බිඳ දමා තිබෙනවා. හින්දි චිත්‍රපට ඉතිහාසය තුළ පළමු දිනයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය ලෙස දැන් වැජඹෙන්නේ Pushpa 2 සිනමාපටය යි.
මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් මේ සිනමාපටය ඉතා වේගවත් ගමනක නිරතව සිටියා. ප්‍රදර්ශනය ආරම්භ කර දින පහක් ගත වෙද්දී ඉන්දීය රුපියල් කෝටි 800 ඉක්ම වූ ආදායමක් උපයන්නට එය සමත්ව තිබුණා. ඒ වන විට පෙනෙන්නට තිබුණේ චිත්‍රපටය ඉතා පහසුවෙන් කෝටි 1,000 සීමාව පසු කර යනු ඇති බව යි.
මෙම සිනමාපටය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දරා තිබූ බවත් අමතක කරන්න බැහැ. මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 500 කට ආසන්න වියදමක් දරා තිබූ බවයි. මෙහි රඟපෑම සඳහා අල්ලු අර්ජුන් ඉන්දීය රුපියල් කෝටි 300 ක (ලංකා රුපියල් කෝටි 1,000 ක පමණ) මුදලක් අය කර ඇති බවත් කියැවෙනවා.
මේ අනුව Pushpa 2 සමඟ අල්ලු අර්ජුන් ද දැන් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කළ ඉන්දියානු නළුවා හැටියටයි. ජනප්‍රිය දෙමළ නළු විජේ මෙයට කලින් මෙම වාර්තාවට හිමිකම් කීවේ. මේ දිනවල නිෂ්පාදනය වෙමින් තිබෙන තලපති 69 චිත්‍රපටය වෙනුවෙන් විජේ ඉන්දීය රුපියල් කෝටි 275 ක් අය කර තිබූ බව පැවසුණා.
Pushpa චිත්‍රපට දෙකට පසුබිම් වන්නේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නීති විරෝධී රත් හඳුන් දැව ජාවාරමක නිරත කල්ලියක් සහ එම කල්ලියේ සාමාජිකයකු වන පුෂ්පරාජ් පිළිබඳ කතාවයි. කුලී කම්කරුවකු ලෙස මෙම කල්ලියට එක්ව සිටින පුෂ්ප සිය එඩිතර බව සහ බුද්ධිමත් බව තුළින් එම කල්ලියේ නායකත්වයට පත්වන ආකාරය තමයි පළමු චිත්‍රපටයෙන් කියැවෙන්නේ.
ඔහු සිය කපටි ඥානය උපයෝගී කරගනිමින් විවිධ ජාවාරම්වල යෙදෙන ආකාරයත්, එඩිතර පොලිස් නිලධාරියකු වන භන්වර් සිං සහ ඔහු අතර ඇති වන ගැටුමත් දෙවැනි කොටසට ඇතුළත්. පුෂ්ප සහ ඔහුගේ පෙම්වතිය (පසුව බිරිඳ) වන ශ්රීවල්ලි දෙදෙනාගේ ආදර කතාවත් මෙම චිත්‍රපටවල ප්‍රධාන අංගයක්.
Pushpa : The Rise -චිත්‍රපටයත් 2021 වසරේ වැඩිම ආදායම් ඉපැයූ තෙලිඟු චිත්‍රපටය ලෙස වාර්තාවක් පිහිටුවූවා.
කසුන් අරවින්ද