ඔහු නමින් පියරත්න වීරසිංහය. උපන්නේ 1924 වර්ෂයේ සීතල උඳුවප් මාසයේ 10 වන දින මීරිගම හාපිටිගම කෝරලයේ වටද්දර නම් වූ පුංචි ග්‍රාමයේය. පාසල් අධ්‍යාපනය ලැබුවේ බාදුරාගොඩ රජයේ ඉංග්‍රීසි පාසලෙනි. පාසල් කාලයේ පටන් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රගුණ කළ වීරසිංහයන් පසුකලෙක සිය බාල සොහොයුරා සම්බන්ධ කර ගනිමින් “මීරිගම සෙන්ට්‍රල්” කණ්ඩායම ගොඩනැඟුවේය.
ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රථම ජාතික තරග මාලාව ඇරඹෙන්නේ 1951 වසරේ ලංකා වොලිබෝල් සම්මේලය බිහිවීමත් සමඟය. එයින් වසර 03කට පසුව එදා වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික තලයේ සිටි සියලු දැවැන්තයන්ට අභියෝග කළ වීරසිංහයන් නායකත්වය දුන් මීරිගම සෙන්ට්‍රල් කණ්ඩායම 1954 ජාතික වොලිබෝල් ශූරතාවය ප්‍රථම වරට හාපිටිගම කෝරලයට රැගෙන ඒමට සමත් විය. මෙම අවසන් මහා තරගය ද වාර්තා රැසක් පිහිට වූ ඓතිහාසික අවසන් මහා තරගයක්ම විය. අවසන් මහා තරගයට මීරිගම කණ්ඩායම සමඟ සුදුසුකම් ලැබුවේ එච්.පී. විලියම් නායකත්වය දුන් කැලණි මිටියාවත නියෝජනය කළ හංවැල්ල බොස්කෝ කණ්ඩායමයි. විලියම් තම පාසල වූ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ විදුහලට සමස්ත ලංකා වොලිබෝල් ශූරතාව දිනා දුන් කණ්ඩායමේ නායකයා වශයෙන් එකල වොලිබෝල පිටියේ සෑම ඉරියව්වකින්ම දක්ෂතා දැක්වූ ප්‍රබලයකු විය. ජී.කේ. කරුණාරත්න, ඇන්ටනී රූපසිංහ, ආර්.පී. උබේනිස්, එල්.ඒ.ඩී. ප්‍රේමරත්න බොස්කෝ කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් විය. පී. වීරසිංහයන් නායකත්වය දුන් මීරිගම සෙන්ට්‍රල් කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් වූයේ ජී. වීරසිංහ, එස්. සුභසිංහ, ජී. විමලදාස, ඩබ්. කරුණාරත්න සහ ආර්. ජයතිලයන් ය. 1954 පෙබරවාරි මස 07 වන දින පස්වරු 4 ට මරදාන පොලිස් ක්‍රීඩාංගණයේදී ඇරඹි මෙම තරගය සඳහා කැලණිවැලි නරඹන්නන් අවිස්සාවේල්ල සිට පුංචි කෝච්චියෙන් ද මීරිගම නරඹන්නන් අඹේපුස්ස සිට දුම් කෝච්චියෙන් ද මරදානට පැමිණියේ සිය දහස් ගණනෙනි. මෙම තරගය කැලණිවැලි කණ්ඩායම පහසුවෙන් ජය ගතැයි තැබූ අනාවැකි සියල්ල ව්‍යර්ථ කරමින් මීරිගම කණ්ඩායම ජාතික ශූරතාවය දිනා ගැනීම දක්වා මෙහෙයවීමට එදා පී. වීරසිංහයන් සමත් විය. තරගයේ ජය සංකේත ප්‍රදානය සඳහා සහභාගී වූ එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ සෝල්බරී සාමිට පැය භාගයකට අධික කාලයක් තිස්සේ ක්‍රීඩාංගණයේ රැඳී සිටීමට සිදු විය. ඒ ජයග්‍රහණයෙන් ඔදවැඩී ගිය මීරිගම නරඹන්නන් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් කරපිට තබාගෙන මරදාන ගාමිණීහෝල් වට රවුම දක්වා ගොස් ආපසු පැමිණෙන තුරුය. ජයග්‍රාහී දිනමිණ කුසලානය සමඟ වීරසිංහයන් සමඟ කණ්ඩායම බාදුරාගොඩට පැමිණෙන තුරු අලුයම 1 දක්වා මුළු ගමම අවදියෙන් සිටියේ තම වීරයන් පිළිගැනීම සඳහාය. තම ක්‍රීඩා ජීවිතයේ ලද උපරිම සතුට රැගෙන ආවේ මෙම ජයග්‍රහණය බව මෙයට දින කිහිපයකට පෙර අපට මුණගැසුණු වීරසිංහයන් ප්‍රකාශ කළේ හදපිරි සතුටෙනි.
මෙම ජයග්‍රහණය පසුදින සියලුම ජාතික පුවත්පත් වාර්තා කළේ “පුංචි අයියා ඔසවා දුන් පන්දුවට බාල මල්ලී ගැසූ ඩෑෂ් පහරවල් මීරිගමට ජය ගෙනේ” යනුවෙනි.
1954 වර්ෂයේදී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායම සමඟ පැවති වොලිබෝල් ටෙස්ට් තරග මාලාවේ පළමු තරගය සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලබාගත් වීරසිංහයන් ප්‍රථම වරට ජාතික වර්ණ දිනා ගැනීමට සමත් විය. එයට ටික කාලයකට පසු තම රැකියාවෙන් ලැබූ ශිෂ්‍යත්වයක් මත වසර දෙකකට ආසන්න කාලයක් එංගලන්තයට යාමට සිදු වූ නිසා තම ක්‍රීඩා දිවිය අවසන් කිරීමට සිදුවූ බව ද වීරසිංහයන් ප්‍රකාශ කළේ සියුම් කනගාටුවෙනි.
1960 වර්ෂයේ දී තිලකා කුරුප්පු මෙනෙවිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ පී. වීරසිංහයන් චන්න, ධම්මිකා සහ තුෂාර නම් වූ දූ දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි.
සියවසක් ගෙවී ගිය ද අතීත සිදුවීම් සියල්ල සිනමා පටයක මෙන් තම මතකය අවදි කරන පී. වීරසිංහයන් වේයන්ගොඩ වටද්දර නම් වූ සුන්දර ගම්මානයේ තම දියණිය සමඟ ජීවිතයේ සැඳෑ සමය ගත කරයි.
වසර 108 ක් සපිරෙන ශ්‍රී ලාංකීය ජාතික ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු වූ ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩාවන්හි ජාතික කණ්ඩායම් නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම ජීවමාන ක්‍රීඩකයා වශයෙන් හැඳින්විය හැකි පියරත්න වීරසිංහයන්ට චිරංජයතු!
අප ඔහුගෙන් සමුගැනීමට ප්‍රථම එදා අපි සැමට පී. වීරසිංහයන් පැවසූ “අපි එදා සෙල්ලම් කළේ කිසිම දෙයක් බලාගෙන නෙවෙයි. අපේ ගමට සහ රටට ජයග්‍රහණය සඳහා පමණයි.” යන්න සියවසක් සපුරන මෙම ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණ ක්‍රීඩකයාට උපහාර වශයෙන් අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.
සුසිල් රණසිංහ
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය
(2005 – 2015)