Home » ටෙස්ට් ලකුණු අටදහසේ අලුත්ම සාමාජිකයා ඇන්ජෙලෝ මැතිව්ස්

ටෙස්ට් ලකුණු අටදහසේ අලුත්ම සාමාජිකයා ඇන්ජෙලෝ මැතිව්ස්

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

ර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව අතර සටන්කාමී හා වේගවත් මුහුණුවර යටතේ පැවැත්වෙන විස්සයි20 තරග සඳහා වැඩි ආකර්ෂණයක් ලැබී තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වැටී ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් මුහුණුවර යටතේය. ටෙස්ට් යන ඉංග්‍රීසි වදනින් අරුත් ගැන්වෙන ආකාරයෙන්ම එය පරීක්ෂණයකි. නොඑසේ නම් පරීක්ෂාවට ලක් කිරීමකි. ඉවසීම, පීඩනය දරා ගැනීම, පසුබෑමකට ලක්වී සිටින අවස්ථාවකදී ක්‍රමයෙන් යළි නැගිටීම වැනි ක්‍රීඩාවට පමණක් නොව සාමාන්‍ය ජීවිතයට පවා බලපාන හේතු සාධක රැසකින් සමන්විත මුහුණුවරකි.

ඒ අනුව ටෙස්ට් ක්‍රීඩාව යනු විස්සයි20 හෝ එක්දින ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ශ්‍රේෂ්ඨත්වයකට හිමිකම් කියන්නකි. එක්දින හෝ විස්සයි20 තරගවල දක්නට නොලැබෙන ආකාරයෙන් ඉවසීම පරීක්ෂාවට ලක් කරන්නකි. ටෙස්ට් පිටියේ ක්‍රීඩකයන්ගේ දස්කම් අන් සියලු මුහුණුවර යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරගවලට වඩා වටිනාකමින් ද ඉහළය. අතීතයේ සිට අතිශය කීර්තියට හා ජනප්‍රියත්වයට පත් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ටෙස්ට් වාර්තා එක්දින හා විස්සයි20 ක්‍රීඩාවට වඩා අදටත් කතාබහට ලක් වන්නේ ද එබැවිනි.

නව වාර්තාවක්

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජෙලෝ මැතිව්ස් පසුගියදා දකුණු අප්‍රිකාවේදී සිය ක්‍රිකට් දිවියේ ටෙස්ට් ලකුණු අටදහස සම්පූර්ණ කිරීම ද එවැනිම වටිනාකමකින් යුතු වාර්තාවකි. ටෙස්ට් ලකුණු අටදහසක් සම්පූර්ණ කිරීමට පිතිකරුවකුට අවස්ථාව සහ වාසනාවක් ලැබීමත් ඉතා විරලය. එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ තුන්දහසකට අධික ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කර තිබුණද, මේ දක්වා ටෙස්ට් ලකුණු අටදහස සම්පූර්ණ කිරීමට අවස්ථාව උදා වූයේ ඉන් ක්‍රීඩකයන් අතළොස්සකටය. ඇන්ජෙලෝ මැතිව්ස් මේ විරල අවස්ථාව උදාකරගත් ලොව 36 වැනි පිතිකරුවා ය.

37 හැවිරිදි මේ තුන්ඉරියව් ක්‍රීඩකයාගේ වාර්තාව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ එම කඩඉම පසුකළ මෙරට තුන්වැනි පිතිකරුවා හැටියටය. ඊට පෙර ටෙස්ට් ලකුණු අටදහසේ කඩඉම පසු කළේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණි. ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 134කට ක්‍රීඩා කරමින් ලකුණු 12,400ක් රැස් කර සිටි කුමාර් සංගක්කාර සිය 152 වැනි ඉනිමේදී ලකුණු අටදහසේ කඩඉමට අවතීර්ණ වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු අටදහසේ වාර්තාවට ද හිමිකම් කියමිනි. පුරා දශකයක්ම නොබිඳී පැවැති ඔහුගේ වාර්තාව 2010 වසරේදී ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් බිඳ දැමුවේ සංගක්කාරට වඩා එක් ඉනිමක් අඩුවෙන් ක්‍රීඩා කරමිනි. ක්‍රීඩාවෙන් සමුගන්නා විට මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149කදී ලකුණු 11,814ක් රැස් කර සිටි අතර, ඔහුගේ ලකුණු අටදහස වාර්තා වූයේ ඉනිම් 165කිනි. ඇන්ජෙලෝ මැතිව්ස්ට ටෙස්ට් ලකුණු අටදහස සම්පූර්ණ කිරීමට තරග 116කදී වැය වූ ඉනිම් සංඛ්‍යාව 205කි.

මැතිව්ස්ගේ ක්‍රිිකට් ඉතිහාසය

වසර 2009 ජූලි මාසයේ මුල් භාගයේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ටෙස්ට් වරම් ලැබූ මැතිව්ස් එම තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් වර්තමානයේදීත් ක්‍රීඩා කරන එකම ක්‍රීඩකයා ද වේ. එස්එස්සී පිටියේ පැවැති එම තරගමාලාවේ තුන්වැනි තරගයේදී සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ මැතිව්ස් එම ක්‍රීඩාංගණයේදිම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ 2011 සැප්තැම්බරයේ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. ඊට වසර දෙකකට පසු එනම්, 2013 පෙබරවාරියේදී ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලතම නායකයා බවට පත්වෙද්දී වයස අවුරුදු 25කි. ඊට වසරකට පසු ඔහුගේ නායකත්වය යටතේ එංගලන්ත භූමියේදී ඉතිහාසයේ පළමුවතාවට එංගලන්ත පිල ටෙස්ට් තරගමාලාවකින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූයේ තරග 2කින් සමන්විත එම ටෙස්ට් තරගමාලාවේ තරග 2දීම පිට පිට ශතක රැස් කරමිනි. එම තරගමාලාවේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ ලෝඩ්ස් තරගයේ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 102ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිල ලකුණු 100කින් ජයගත් ලීඩ්ස් හි පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේදී ලකුණු 160ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජයග්‍රහණයට කදිම දායකත්වයක් ලබා දුන්නේය. හෙතෙම තරගයේ වීරයා සහ තරගමාලාවේ වීරයා සම්මාන ද්විත්වයටම හිමිකම් කීවේය. වසර 2020 ජනවාරියේ සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවරදී සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළ මැතිව්ස්ට ඊට වසර දෙකකට පසු බංග්ලාදේශ පිලට එරෙහිව චිතගොන් නුවරදී දෙවැනි ද්විත්ව ශතකය අහිමි වූයේ එක් ලකුණකිනි. දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගමාලාව අවසන් වන විට ඔහු ටෙස්ට් ඉනිම් 206කදී ලකුණු 8042ක් ලබා සිටි අතර, ඊට ශතක 16ක් සහ අර්ධ ශතක 44ක් ඇතුළත් ය. ඔහුගේ ලකුණු ලැබීමේ සාමාන්‍යය 44.92කි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division