කූඩළු ඔය කුඩා ජල විදුලි බල ව්‍යාපෘතිය පිළිබඳ ඉකුත් දෙසැම්බර් මස පළමු වැනිදා සිළුමිණ පුවත්පත හරහා විශේෂ ලිපියක් පළ විය. “පූඩළු ඔයෙන් ඇසෙන විදුලි බලාගාරයේ අවනඩුව”නම් හිසින් පළවූ එම ලිපිය මඟින් පිරිසක් කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොත්මලේ ඔයට ජලය ගලා බසින පූඩළු ඔය හරස් කරමින් කුඹල්ඔලුව ගම ආශ්‍රිතව රිවින්මෝ හියිඩ්‍රෝ පුද්ගලික සමාගම විසින් ආරම්භ කිරීමට යෝජිත කුඩා ජලවිදුලි බලාගාරයට පිරිසක් විරෝධය දක්වා තිබුණේ එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලමිනි.
“මේ දිය ඇලි සිඳී ගියොත් මේ ගම් වටේම සිටින ජනතාවට බලපානවා.“
“පරිසර සංවිධාන මෙන්ම රජයේ පරිසර සංවිධානවල අදහස වුණෙත් මෙය බේරාගත යුතු දෙයක් බවයි.“
“මේ අය කියනවා ආයතන 13න් අවසර ගත්තා කියලා. නමුත් අවසර දුන්නේ පරීක්ෂණ කිරීමට පමණයි. නමුත් මුදල් දීලා හෝ බල පුළුවන්කාර කමින් අවසර ගත් බව වාර්තා වෙනවා. එසේ වුවත් කිසිදු ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු වුණේ නැහැ.“
“අපි ඉල්ලන්නේ ආයතන 13නේ විධිමත් ක්ෂේත්‍ර පරීක්ෂාවක්“
මේ, ඔවුන් ඒ ලිපියෙන් මතු කළ චෝදනා ය. ඒ චෝදනා කොතෙක්දුරට සත්‍යද නැද්ද? විරෝධතා දක්වන්නන් පවසන පරිදි අනවසරයෙන් මෙවැනි විදුලි බලාගාර ඉදිකිරීමට හැකියාවක් තිබේද? ඊට අදාළ පාරිසරික වාර්තා ලබා ගැනීමක් හෝ නිසි ක්‍රමවේදයන් ඔවුන් විසින් අනුගමනය කර ඇත්ද? මෙවැනි චෝදනාවන්ට පදනම කුමක්ද? යන්න සත්‍ය විමසීම මෙම ලිපියේ අරමුණය. ලංකාවේ විදුලි බල ව්‍යාපාරයට ශක්තියක් වෙමින් ආරම්භ කිරීමට නියමිත යැයි පවසන මෙම පූඩළු ඔය ව්‍යාපෘතියේ ඇත්ත තත්ත්වය මෙන්ම මේ චෝදනාවන්ට පදනම් වූ කරුණු කාරණා අප රිවින්මෝ හයිඩ්‍රෝ පුද්ගලික සමාගමෙන්ම විමසා සිටියේ චෝදනාවට පදනමක් ඇත්දැයි දැන ගැනීම පාඨකයාටද අයිතියක් ඇති බැවිනි. මේ ඔවුන් කියන කතාවයි.
විදුලි බල ව්‍යාපෘතියේ ඇත්ත කතාව
පූඩළු ඔය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙම විදුලි බල ව්‍යාපෘතිය 2016 වසරේදී ශූන්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමත කළ ව්‍යාපෘතියකි. ශූන්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමත වීමෙන් අනතුරුව පරිසර අධිකාරිය විසින් අනිකුත් රජයේ ආයතන සමඟ එක්ව පූඩළු ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියට අදාළ ස්ථානීය පරීක්ෂාවට ගොස් මේ පිළිබඳ පුළුල් පරීක්ෂාවන් මෙන්ම සාකච්ඡාවන් ද සිදු කර ඇත. ඊට මහවැලි අධිකාරිය, වනජීවි අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය මෙන්ම ගොවිජන සේවා නියෝජිතයන් ද සහභාගී වී ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවන් සිදු කර ඇත. පූඩළු ඔය ව්‍යාපෘතියට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂාව සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.
මුලින් මෙම විදුලි බලාගාරය ඉදි කිරීමට සූදානම්ව ඇත්තේ වැවහේන පාලමින් පහළ කොටසකය. විදුලි බලාගාරයේ වේල්ල ඉදි කරන ස්ථානය හා විදුලි බලාගාරය අතර දිය ඇලි දෙකක් පිහිටා ඇති නිසා දිය ඇලිවලට හානි නොවන පරිදි මෙය ඉදි කිරීමට අදාළ සැලසුම් වෙනස් කරන්නට ඔවුන්ට සිදුව ඇත. එහෙයින් නිසි අධ්‍යනයක් සිදු කිරීම අනිවාර්ය විය. මෙම දිය ඇලි පරිසර අධිකාරියේ ලැයිස්තු ගත දිය ඇලි මිස ගැසට් කළ දිය ඇලි නොවන බව වාර්තා වේ. ඉහත සාකච්ඡාවලින් අනතුරුව අවසානයේදී තීරණය වී ඇත්තේ මෙම බලාගාරයට දිය ඇලි දෙකක් හා නානතොටුපළක් හසුවන නිසා ඊට අවසර දිය නොහැකි බවය.
ඇලිවලට හානි නොවන සැලැස්මක්
මෙම දිය ඇලි දෙකෙන් එකක් ඇත්තේ වැවහේන පාලම අසලය. මේ නිසා පාලමින් පහළට ගැනීමට තිබුණු බලාගාරය මීටර 500ක් පාලමින් උඩහට ගෙන ඇත්තේ ඒ දිය ඇල්ලේ හා ඊට ආසන්නයේ වූ නානතොටුපළ මෙම ව්‍යාපෘතියන් ඉවත් කරමිනි. නමුත් පිරිසක් අදටත් චෝදනා නඟන්නේ මේ දිය ඇලි සිඳී ගියොත් මේ ගම් වටේම සිටින ජනතාවට එය බලපාන බව පවසමිනි. ඔවුන්ගේ තර්කය බිඳ දමමින් මේ සැලස්ම ද වෙනස් වූයේ එදාය. ඒ මෙයින් ජනනය කිරීමට බලාපොරොත්තු වන බලශක්ති ප්‍රමාණයේ අඩු වීමට ද මුහුණ දෙමිනි. ඉතිරි දිය ඇල්ල ඇත්තේ කැළය මැද ප්රපාතයක් වැනි ස්ථානයකය. මේ ආසන්නයේ ඇත්තේ පුද්ගලික ඉඩම් පමණි. මෙහි සින්නක්කර ඔප්පු ලබා දී ඇත්තේ 1911දී පමණය. පැරණි හෙයින් මෙම ඉඩම්වල වැවක් ආසන්නයේ සිදු කළ යුතු වෙන් කිරීම් පවා සිදු කර නැත. ඒ නිසා පුද්ගලික ඉඩම් මැදින් යා යුතු කැළේ මැද පිහිටි දිය ඇල්ලට කිසිවකුටත් ළඟාවිය නොහැකිය. ජනතාව තම ඉඩම් හරහා යාමට ද අවසර දෙන්නේ නැත.
මිලියන 1500-2000ත් අතර වටිනාකමක් ඇති මේ ජල විදුලි ව්‍යාපෘතිය ඉදි වූ පසු ජනනය වන විදුලිය මෙගා වොට් 5 කි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වන විට එයින් මිලියන 500-600 පමණ ප්‍රතිලාභයක් ජනතාවට හිමි වන්නකි. නමුත් අවසානයේ මෙය සීමා වී ඇත්තේ කඩදොර ග්‍රාමසේවා වසමට පමණි. අදාළ බලධාරින් පවසන්නේ අවට ජනතාව අදටත් මේ ව්‍යාපෘතිය ආරම්භ වන තෙක් බලා සිටින බවකි. මන්ද මේ ව්‍යාපෘතිය හරහා ගමට පාරක් ලැබෙනවා සේම ඔවුන්ගේ ඉඩම්වලට වටිනාකමක් හිමි වන නිසාය.
ස්වාධීන පරීක්ෂාවන් සිදු කළා
නමුත් මීට විරෝධතා දක්වන සුළු පිරිසකගේ අභූත චෝදනාව වී ඇත්තේ වැරදි ලියැවිලි හරහා ජනතාව මුළා කරන බවකි. නැතිනම් මුදල්වලට යටවෙමින් මේ ව්‍යාපෘතිය දියත් කරන බවකි. නමුත් සියලු පරීක්ෂාවන් විදිමත්ව අදාල ආයතන විසින් සිදුකර ඇති බව පැහැදිලිය.
කලින් සඳහන් කළ පරිදි දිය ඇලි ආරක්ෂා කිරීම හේතුවෙන් බලාගාරයේ සැලැස්ම වෙනස් කිරීමත් සමඟ දිය ඇල්ල හා නානතොටුපළ ව්‍යාපෘතියෙන් ඉවත් විය. මැද පිහිටි දිය ඇල්ලට ඇති තරමට ජලය ලබා දීමේ පොරොන්දුව පිට ව්‍යාපෘතිය නැවතත් සලකා බැලීමට අභියාචනයක් ඉදිරිපත් විය. මෙම මැද පිහිටි දිය ඇල්ලේ උපරිම උස අඩි 18කි. මේවා දිය ඇලි තරම් නොවන අතර එය බැලීමට යාමට පෞද්ගලික ඉඩම් හරහා අවස්ථාව හිමි වන්නේද නැත. මෙම පුද්ගලික ඉඩම් ද අද කැළයට ගොස්ය. මෙම පියවර ඉදිරියට යාමේදී අදාළ බලධාරීන් එම කුඩා දිය ඇල්ලට හානියක් නොකරන බවත් ඇති තරමට ජලය මුදා හරින බවටත් පෙරොන්දු වී ඇත.
මීට අමතරව කොළඹ විශ්වවිද්‍යලයේ මහාචාර්යවරු කිහිපදෙනෙකු විසින් විදුලි බලාගාරයන් විසින් දිය ඇලිවලට නිකුත් කළ යුතු අවම ජල ප්‍රමාණය සඳහන් වන සමීකරණයට යටත් වන්නට ඔවුන්ට සිදු විය. ජනවාරි සිට මාර්තු දක්වා නියං සමයේදී මෙහි ජල ප්‍රමාණය අඩු වුවද අනිකුත් කාලවල ඇති තරමට ඇල්ලේ වතුර පවතියි. බලාගාරයට භාවිතයට ගැනෙන්නේ ඉතා අඩු ජල ප්රමාණයකි. ගඟේ හා මසුන්ගේ පැවැත්මට අනිවාර්යයෙන්ම අවශ්‍ය ජලය මෙයින් මුදා හැරිය යුතුය යන නීතිය ඔවුන් අනුගමනය කළ යුතු වෙයි. ඔවුන් අවසරය ඉල්ලා සිටියේ ඒ සියල්ලට යටත්වය. අදාළ අධීක්ෂණයට යටත්ව පරිසර අධිකාරිය පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂාවක් සිදු කර එහි වාර්තාව ලබා දෙන ලෙසය. මධ්‍යම පරිසර අධිකරියෙන් පිළිගන්නා පරීක්ෂණ මණ්ඩලයකට යටත්ව මාස 8ක් පුරාවට අදාළ අධ්‍යන සිදු කර ඇත. ඒ අධ්‍යයන වාර්තාව පරිසර අධිකරියට ද ලබා දී ඇත. එය සිදු කර ඇත්තේ පසුගිය වසරේ ජූනි 30 වැනිදාය. මෙම අධ්‍යයන වාර්තාව ආයතන ගණනවක් විසින් පරීක්ෂාවට ලක් කර ඇත්තේ ඉන් අනතුරුවය.
අදාළ යෝජිත විදුලි බලාගාරයට සම්බන්ධ බලධාරීන් පවසන්නේ මේ පියවරේදී අඩුපාඩු කිහිපයක් පෙන්වා දී ඇති අතර, එය නිවැරදි විය යුතුය. ඒ අනුව ඔවුන්ට වෙල්ලේ සැකැස්මෙ අඩුපාඩු සකස් කරන්නට සිදු විය. මේ සියල්ල සිදු කරන්නට සිදු වූයේ නිශ්චිත ප්‍රමිතීන්ට අනුවය. මේ වන විටත් පූඩළු ඔය යෝජිත ජල විදුලි බලාගාරය සඳහා අදාළ ආයතන විසින් හඳුන්වා දුන් අඩුපාඩු ඒ බලධාරීන් විසින් සකස් කරමින් පවතියි. පරිසර අධිකාරිය ඇතුළු අනිකුත් ආයතනවල නිසි පරීක්ෂාවන් ද මේ වන විට සිදු කර ඇති බව වාර්තා වෙයි. පරිසර අධිකාරිය ස්වාධීන පරීක්ෂණයක් මඟින් සොයා බලන්නේ දිය ඇල්ලත් ආරක්ෂා කරමින් බලාගාරය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.
මීට විරෝධතා දැක්වන ඇතැම් පිරිස් මේ හරහා යාම නිසා ප්‍රශ්න ඇති වූ අවස්ථාද ඇත. බලධාරින් සඳහන් කරන්නේ ඊට මැදිහත් නොවන ලෙස උසාවි නියෝගයක් ද ලැබී ඇති බවය. පිරිසක් මේ විරෝධතා සිදු කරන්නේ යම් යම් ප්රතිලාභ අපේක්ෂාවෙන් බව වාර්තා වෙයි. කඩවරපිටිය, කොස්ගහපතන, කුඹල් ඔළුව, එගොඩවෙළ හා වැවහේන මීට යාබද වසම්ය. ඒ වසම්වල බොහෝ පිරිස් මීට කැමැත්ත ප්‍රකාශ කර අත්සන් ලබා දී ඇති බව වාර්තා වෙයි. නමුත් මීට විරුද්ධ වූවන් මේ ප්‍රදේශවල පදිංචිකරුවන් නොවන බව ද සැලය.
අභූත චෝදනා
මේ ආසන්නයේ තවත් බලාගාර තුනකට අවසර දී ඇති අතර, ඉන් දෙකක් ද්‍රවිඩ පුද්ගලයෙකුගේත් අනෙක මුස්ලිම් පුද්ගලයෙකුගේත්ය. 2021 වසරේ රජයේ බලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාව ආරම්භ වූ අවස්ථාවේදී ගැටලුකාරී තත්ත්වයන් අදාළ විරෝධතා දක්වන පුද්ගලයන් සමඟ ඇති කර ගත් බව එම ආයතනය පවසති. මේ වසරේ ජනවාරි 25 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරන විටත් රජයේ යම් නිලධාරියකුට බාධා කළ බව පවසති. නමුත් මෙසේ මීට විරුද්ධ වන්නන් නැවතත් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කළ යුතු බව පවසන්නේ මහජන විරෝධයක් ඇති කිරීමටය. එය කරන්නේ සුළු පිරිසක් බවත් ඒ ඔවුන්ට නාවලපිටිය අධිකරණයෙන් අවවාද කර ඇති පසුබිමක බවත් පැවසේ.
මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක වන Rivin- mor hydro පුද්ගලික සමාගමේ සභාපති වන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඇතැම් පිරිසක් නඟන චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය කඩවත් සතර ප්‍රධාන අධිකරණ සංඝනායක මාදෝවිට ඥාණරත්න හිමියන් පවසන්නේ මෙවැනි අදහසකි.
“මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුලින්ම පාර දෙන්න තීරණය වුණේ මගේ පන්සල වන ශ්‍රී මේධානන්ද විහාරයේ ඉඩමින්. ගමට මෙයින් විශාල සේවයක් වෙනවා. අද ගමේ ඉඩම් තිබුණට යන්න පාරක් නැහැ. ගමට පාරක් ලැබනවා වගේම වැටුපක් ගන්න රැකියා ලැබෙනවා. මේ ව්‍යාපෘතියෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. සියල්ල සින්නක්කර ඉඩම්. ඒ වගේම මේ දිය ඇලි බලන්න යන කෙනෙක් නැහැ. යාමට පාරක් ද නැහැ. කඩදොරපිටිය හා කිරිඳිවෙල හා එගොඩවෙල ගම් දෙක බෙදුණා කිව්වට එය සිදු වූයේ මෑතකදී නෙමෙයි. මෙය ලංකාවේ විදුලි අර්බුදයට එක් විසදුමක්. මෙගා වොට් 5ක් මේ හරහා ලැබෙනවා. ගම දියුණු වෙනවා සේම ගම් දෙක අතර සම්බන්ධතාවක් ද ඇති වෙනවා. මේ දිය පහරින්ම මේ වන විට විදුලි ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒවාට කිසිම විරුද්ධත්වයක් නැහැ. එසේම කොත්මලා ඔයෙනුත් තවත් ව්‍යාපෘති දෙකක් සිදු කර තියෙනවා. මුළු කොත්මලේ ආසනයේම ව්‍යාපෘති 9ක් කර තියෙනවා. නමුත් ඒවාට කිසිදු විරෝධයක් නැහැ. ව්‍යාපෘති 8ක් කරන තෙක් විරුද්ධ නොවී දැන් මෙයට විරුද්ධ වන්නේ ඇයි.? මේ හරහා තියෙන්නේ උසි ගැන්වීමක්. …“ ඒ, නුවරඑළිය කඩවත් සතර ප්‍රධාන අධිකරණ සංඝනායක මාදෝවිට ඥාණරත්න හිමිය.
මේ වන විට රටේ විදුලිබල අවශ්‍යතාව දැඩිව මතු වී ඇත. කුඩා ජල විදුලි බලාගාර රටේ විදුලි අවශ්‍යතාවයට දක්වන්නේ විශාල ශක්තියකි. එවන් පසුබිමක නිසි පරිසර අධ්‍යයනයන් මෙන්ම නිසි ක්ෂේත්‍ර පරික්ෂා ඔස්සේ සිදුකර ඇති මෙවැනි ව්‍යාපෘතින්ට එරෙහි වන්නෝ පිළිබඳ දෙවරක් සිතිය යුතුය.
සුභාෂිණි ජයරත්න