ජගත් පාරිසරික අර්බුද අතර වායු දූෂණය ඉපැරණිතම පරිසර ව්‍යසනයයි. ආදි මිනිසා ගින්දර සොයාගත් මොහොතේ සිටම වායුගෝලය දූෂණය කරමින් සිටින අතර, කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වන අහිතකර වායු විමෝචන විෂ දුමාරයට තිරසර විසඳුම් සොයා ගැනීමට නොහැකි වීම සොබාදහම සේම මානව සෞඛ්‍ය ද දරුණු පිරිහීමකට ලක් වී ඇත.
යම්කිසි සංඝටකයක් හෝ සංඝටක කිහිපයක් සාමාන්‍ය වායුගෝලයේ පවතින සංයුතිය ඉක්මවා පැවතීම, එමඟින් ජීවීන්ට හෝ පරිසරයට හානියක් සිදුවේ නම් එය අප වායු දූෂණය ලෙස හඳුන්වමු. වායූ දූෂණය එක ප්‍රදේශයකට රටකට සීමාවූ දෙයක් නොවන අතර වායු දූෂක වලාකුළු සමඟ මුසුවී සුළඟ මඟින් දේශසීමා ඉක්මවා ගමන් කරයි. වායු දූෂණයට ප්‍රධාන දායකයන් වන්නේ රථ වාහන විමෝචනය, කර්මාන්තශාලා, ඉදිකිරීම් කටයුතු කෘෂිකාර්මික කටයුතු සහ ගෘහස්ථ වායු දූෂණයයි. නාගරික ප්‍රදේශවල වායු දූෂණයේ ප්‍රධාන ප්‍රභවයන් වන්නේ විෂ වායු හා කුඩා අංශු වේ.
විෂ වායු ලෙස නයිට්‍රජන්ඩයොක්සයිඩ් (NO2), කාබන් ඩයොක්සයිඩ් (CO2), කාබන් මොනොක්සයිඩ්(CO)හා සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) ද, කුඩා අංශු ලෙස ඛනිජ ඉන්ධන හා ගල් අඟුරු දහනයෙන් නිකුත් වන කුඩා අංශු ද දැක්විය හැකිය. එමෙන්ම දූවිලි සාම්පලවල කැල්සියම් (Ca), සින්ක් (Zn) සහ තඹ (Cu) වැනි මූලද්‍රව්‍යවල ඉහළ සාන්ද්‍රණ වායු පරිසරයේ ජීවයට අහිතකරව බලපෑම් කරයි.
මානව ක්‍රියාකාරකම්
යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන මහනුවර, විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වයු දූෂණයට සම්බන්ධ සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙයි. මහනුවර නගරය භූ පිහිටීම අනුව කඳු වළල්ලකින් වටවී තිබීම හේතුවෙන් හා කලගුණික දත්ත විචලනය මත වාතය දූෂ්‍ය වීමට බලපෑමක් පෙන්නුම් කරයි. පසුගිය අධ්‍යයනයන් පෙන්වා දෙන පරිදි පළමු අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම අනුව, මාර්තු සහ අප්‍රේල් මාසයන්හි මහනුවර නගර සීමාවේ PM2.5 මට්ටම් සාපේක්‍ෂව ඉහළ මට්ටමක පවතී. ඉන්දියානු උප මහාද්වීපයේ සුළං රටා අනුව, දකුණු ඉන්දීය කලාපයේ ඉහළ දූෂණ මට්ටම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ මහනුවර නගරයේ ද දරුණු වායු දූෂණ තත්ත්වයන් දැකගත හැකි විය.
නාගරික වනාන්තර දෙකක් (උඩවත්ත හා දුණුමඬලාව) වා පවිත්‍රකාරක ලෙස ක්‍රියාත්මක වුවද, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ PM2.5 සහ PM10 වැනි අංශු ද්‍රව්‍යවලට නිරාවරණය වීම ස්වසන රෝග සඳහා රෝහල්ගත වීම් වැඩිවීමට දැඩිව සම්බන්ධ බවයි. ඉහළ වායු දූෂණයක් පැවැති කාලවලදී විශේෂයෙන් 2019දී වාතයේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය දත්ත අතර සෘජු සහසම්බන්ධය පෙන්නුම් කරමින් ශ්වසන රෝග රෝහල්ගතවීම්වල කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබිණි.
නිදන්ගත ශ්වසන රෝග ඇදුම, බ්රොන්කයිටිස් සහ අනෙකුත් ශ්වසන ආසාදන වැනි තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් මෙන්ම නිරන්තර කැස්ස, හුස්ම හිරවීම, පපුවේ තද ගතිය සහ ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි වීම ඇතුළත් විය හැකි මෙම තත්ත්වයන්ගේ මුල් රෝග ලක්ෂණ මහජනතාව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. කලින් හඳුනා ගැනීම සහ මැදිහත් වීම වායු දූෂණයේ සෞඛ්‍ය බලපෑම් අවම කිරීමට සහ කලාපයේ සමස්ත මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම මෙසේ අදහස් දැක්වීය.
“ප්‍රධාන වශයෙන්ම රථවාහන තදබදය වැඩි වීම නිසා නගරය, උදෑසන සහ සවස් කාලයේ ඉහළ පරිසර දූෂණයක් අත්විඳියි. දවසේ පැය 5- 6ක් නාගරික පාසල් හා පෙරපාසල් තුළ කාලය ගෙවන දරුවන් සහ වැඩිහිටියන් සේම නූපන් බිලිඳුන් ද මේ විෂ වායු අවශෝෂණය කිරීමෙන් රෝගී වීමෙන් වළක්වා ගැනීමට වහා පියවර ගත යුතුය. අධික දුම්පානය නිසා ඇතිවන්නාවූ (OCPD) කල්ගත පුප්ඵුශීය පෙණහලු රෝගී දරුවන් වැඩිවීමක් දක්නට හැකි බව මහනුවර ළය රෝග වෛද්‍ය වාර්තාවලින් සනාථ වෙනවා.”
මෙම කුඩා අංශු, සුළං හමන දූවිලි සහ ඉදිකිරීම් ආශ්‍රිත දෛනික ක්‍රියාකාරකම් ඇතුළු විවිධ මූලාශ්‍රවලින් පැමිණේ.මේවා මිනිස් හිසකෙස්වලට වඩා දළ වශයෙන් 30 ගුණයකින් කුඩා වන අතර, වාතයේ ගුණාත්මක භාවය දැඩිව විනාශ කරයි. එපමණක් නොව ඒවා පෙනහලුවල ගැඹුරට විනිවිද ගොස් රුධිරයට ඇතුළු විය හැකි අතර, එමඟින් බරපතළ සෞඛ්‍ය අවදානම් ඇති කරයි. මෙම දූෂණ ප්‍රභවයන් ඵලදායී ලෙස හඳුනා ගැනීම සහ පාලනය කිරීම වායුගෝලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වේ.
තිරසර විසඳුම්
මහනුවර වායු දූෂණය පිළිබඳ දැවෙන ගැටලුව විසඳීම සඳහා පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය උපාය මාර්ගයකි. ලෝක ජනගහනයෙන් සියයට 56ක් දැනටමත් නගරවල පදිංචිව සිටින අතර නාගරික ජනගහනය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ මෙම අගය 2050 වන විට සියයට 70කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් මත ඇති බර වඩ වඩාත් දරුණු වේ.
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය, ලෝක බැංකුවේ ඩොලර් මිලියන 69.33ක ණය ආධාර යටතේ ආරම්භ වූවකි. විවිධ ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කිරීම සහ පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව, මගී ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම මෙන්ම පොසිල ඉන්ධන දහනයට විකල්ප ලෙස පරිසර හිතකාමී (eco) බලශක්ති හඳුනාගැනීම වාහන විමෝචනය අඩු කළ හැකි තිරසර සැලසුමකි.
හරිත නගර
ප්‍රවාහනය සඳහා ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 23%ක් , සියලු බලශක්ති පරිභෝජනයෙන් 27%ක් සහ ගෝලීය තෙල් පරිභෝජනයෙන් 50%ක් වැය වන අතර, වඩාත් තිරසර ප්‍රවාහන විසඳුම් අනුගමනය කිරීම අවශ්‍ය වේ. නගර තුළ ගමනාගමන සඳහා පාපැදි ප්‍රවර්ධනය කිරීම හරිත නගර නිර්මාණයේ නවීනතම විසඳුමකි. මෙවැනි නව්‍ය හරිත නගර සංකල්ප සාක්ෂාත් කරගැනීමට පොදුජන ආකල්ප ද සංවර්ධන විය යුතුය.ඊට නිදසුන් ලෙස කසළ දහනය නතර කිරීම, ගෘහස්ථ දර උදුන් වෙනුවට විකල්ප බලශක්ති යොදාගැනීම යෝග්‍ය වේ.
මෙම අභියෝග හමුවේ, මහනුවර පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට වාහන විමෝචනය අවම කිරීම සහ නාගරික ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පරිසර හිතකාමී විසඳුම් ඒකාබද්ධ කිරීම ඇතුළත් වේ.
සමාන මුලපිරීම් ක්‍රියාත්මක කිරීමෙන්, මහනුවරට පොදු ප්‍රවාහනය නිතර භාවිත කිරීමට නිවැසියන් දිරිමත් කළ හැකි අතර එමඟින් හරිත හා වඩා තිරසර නාගරික පරිසරයක් නිර්මාණය කිරීමට දායක විය හැකිය. හරිත යටිතල පහසුකම් දූෂක පෙරීමට සහ වාතයේ ඇති අංශු ද්‍රව්‍ය ග්‍රහණය කර ගැනීමට උපකාරී වන අතර එමඟින් නාගරික ප්‍රදේශවල බහුලව පවතින වාහන විමෝචනයේ බලපෑම සැලකිය යුතු ලෙස අඩු කරයි.
මධ්‍යම පරිසර අධිකාරිය (CEA) ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමේ වගකීම දරන අතර, වාතයේ ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. මහනුවර වායු දූෂණය පිළිබඳ ගැටලු විසඳීමට සහ එහි අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කිරීම පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමට ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් හඳුන්වා දී ඇත. මෙම ගෝලීය පාරිසරික අභියෝග ජයගැනීමට රටක පාලන අධිකාරිය සේම පොදුජනතාව ඊට දක්වන සහයෝගය ද පිවිතුරු වායූගෝලයක් නිර්මාණය කීරීමට සුවිශාල දායකත්වයක් සපයයි.
සටහන, ඡායාරූප රුවන් මීගම්මන