බටහිර ආසියානු රාජ්‍යයක් වූ සිරියාවේ පනස් වසරක බසාර් අල් අසාද් හා පවුල් පාලනයේ නිමාව සනිටුහන් කරමින් පසුගිය ඉරිදා විරුද්ධ පාක්ෂික කණ්ඩායම් විසින් ජනපති බසාර් අල් අසාද්ට සිරියාවෙන් පිටමං වන තැනට කටයුතු කළ බව පැවසුවහොත් එය වඩාත් නිවැරැදිය.
බසාර් අල් අසාද්බසාර් හා ඔවුන්ගේ පවුල් දේශපාලනයේ ධූරාවලිය තවදුරටත් සිරියාවේ ජනතාව පිළිනොගන්නා තත්ත්වයට පත්ව ඇති අතර අවුරුදු 14ක සිරියානු සිවිල් යුද්ධය තුළ සිරියානු වැසියන් විඳින අප්‍රමාණ පීඩනය අවසානයේදී මේ අයුරින් පුපුරා යාමක් සිදු වූවා ද යන්න ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ප්‍රකාශයයි.
අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනපති ජෝ බයිඩ්න් අසාද් පාලනයේ බිඳ වැටීම පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. බයිඩ්න් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉතාම දිගුකලක සිට අසාද් පාලනය තුළ ජනතාව දැඩි පීඩනයක් අත්විඳි බවත් සිදු වූ නව වෙනස සිරියානු ජනතාවට ඓතිහාසික අවස්ථාවක් වන බවත්ය. වසර 2000 පටන් බෂාර් අල් අසාද්බසාර් තරුණ නායකත්වය තුළින් අසාද් පවුලේ ධූරාවලිගත දරදඬු පාලන ක්රමයේ වෙනස්වීමක් සිරියානු ජනතාව අපේක්ෂා කළ ද සිදු වූයේ අන් දෙයකි. ඔහු ද ඔහුගේ පියාගේ දරදඬු ප්‍රතිපත්ති ඉදිරියටම ගෙන ගියා මිස ජනතාවට දැනෙන ආදරණීය නායකයකු නොවීම සිරියාවේ වත්මන් අර්බුදයේ කැරලිකාර කණ්ඩායම් රාජ්‍ය බලයට අත පෙවීමේ මූලරම්භය වූ බව ගෝලීය දේශපාලන විචාරකයන්ගේ ස්ථිර අදහසයි.
සිරියාවේ අගනුවර වූ ඩැමැස්කස් නගරය පසුගිය ඉරිදා විරුද්ධ පාක්ෂික කැරලිකාර කණ්ඩායම් අතට පත්වූ අතර, මෙම තත්ත්වය දැනටමත් කලාපීය වශයෙන් යම් අනතුරුදායක මෙන්ම අවිනිශ්චිත තත්ත්වයක් ද නිර්මාණය කර ඇති බවට දේශපාලන විශේෂඥයන් අනතුරු අඟවා ඇත. සිරියාවේ ඩැමැස්කස් නුවර Umayyad චතුරස්රයට රැස් වූ සිරියානු ජනතාව බොහෝ පිරිසක් මෙම අවස්ථාවේ අවුරුදු 50ක ආඥාදායක පාලන තන්ත්රය නිමා වීමේ සතුට භුක්ති විඳින අයුරු විදෙස් මාධ්‍ය දසුන් ඔස්සේ දිගින් දිගටම ප්‍රදර්ශනය කරනු ලැබීය. ඩැමැස්කස් නුවර අත්පත් කර ගත් Hayat Tahrir al Sham ප්‍රධාන කැරලිකාර කණ්ඩායමේ නායකත්වය උසුලනු ලබන්නේ අබු මොහොමද් අල් ජොලානිය. මොහු සිරියාව තුළ ඉදිරියෙන් සිටින නායකත්වයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සිරියාවේ නව වෙනස හමුවේ එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාරය
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ වන විටත් සිරියාවේ තත්ත්වය සලකා බලමින් හදිසි සැසියක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉස්ලාමීය නායකත්වයෙන් යුතු ප්‍රධාන කැරලිකාර කණ්ඩායම වූ (Hayat Tahrir al Sham) ඩැමැස්කස් නුවර අත්පත් කරගැනීම අබියස සෙසු කලාපීය රාජ්‍යයන් මෙන්ම බටහිර ආසියාවේ ස්ථාවරත්වය හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා කඩිනමින් විශේෂ සැසියක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් ජාතීන් දෙසැම්බර් 06 වැනිදා ප්‍රකාශ කර ඇත්තේ සිරියාවේ ජනතාව තුන් ලක්ෂයක් (300000) පමණ 2023 වසරේ සිට සිරියාව තුළ අවතැන් වී ඇති බවය. එමෙන්ම ජනතාව මිලියන 1.5ක් පමණ කැරලිකාර කණ්ඩායම්වල හා ජනපති බෂාර් අල් අසාද්බසාර්ගේ ආඥාදායක ක්‍රියාකාරකම් හේතුවෙන් සිරියාවෙන් පලා ගොස් ඇති බවය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරස් ප්‍රකාශ කර ඇත්තේ, අවුරුදු 14ක අමිහිරි මිලේච්ඡ යුද්ධය හා ආඥාදායක පාලනය බිඳ වැටීම හමුවේ මෙය සිරියානු ජනතාවට ස්ථාවර හා සාමකාමී අනාගතයක් ගොඩනඟා ගැනීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවය.
ඉරානය, සිරියාවේ වූ නව පෙරළිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය දිගින් දිගටම අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සිරියාව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රීය සහාය ලබා දෙන බවය. එමෙන්ම ඉරාන ජනපති මසවුඩ් පෙසෙස්කි පවසා ඇත්තේ, සිරියාවේ අනාගතය පිළිබඳ තීරණය සිරියාව විසින්ම ගත යුත්තක් බවත් එය තීරණය කිරීම ඔවුන් විසින්ම කළ යුත්තක් බවත්ය. එමෙන්ම සිරියානු බසාර් අල් අසාද් පාලනය බිඳ වැටීමත් සමඟ පසුගිය ඉරිදා පැවති කැබිනට් රැස්වීමකදී ඉරාන ජනපති මසවුඩ් පෙසෙස්කි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, සියලුම සිරියානු ජනතාවගේ මෙන්ම එහි සිටින විදේශීය පිරිසගේ ද ආරක්ෂාව තහවුරු කරගැනීම ඉතාම දැඩිව අවධාරණයට ලක් කළ යුත්තක් බවය. සිරියාවේ අසාද් පාලනය බිඳ වැටීමෙන් අනතුරුව සිරියාවේ අනාගතය හා එහි පාලනය ගෙන යාම පිළිබඳ අවිනිශ්චිතභාවයක් ද ගොඩනැගී ඇති බව පෙනෙන්නට ඇත. සිරියානු වැසියන්ගෙන් සමහර කොටසක් සිරියාවේ අනාගතය, ඉදිරි පාලනය කෙසේ පවතීද යන්න පිළිබඳ ඉතා විමසුමෙන් මෙන්ම දෙගිඩියාවකින් පසුවන බව ද මෙම වාතාවරණය තුළ කැපී පෙනෙන්නකි. බටහිර අධ්‍යාපනය ලැබූ නවීන ප්රවේශයකින් සිරියාව දෙස බලා සාම්ප්‍රදායික පවුල් පරිපාලන ක්‍රමවේදය සිරියාවෙන් බැහැර කර ජනතා හිතවාදී, නිවහල් දේශයකට සිරියාව ගෙනයාමේ හැකියාව බසාර් අල් අසාද් තරුණ ජනපති වෙතින් බලාපොරොත්තු වූ සිරියානු ජනතාවට එම තත්වය උදා නොවීම ඔවුනට මහත් කම්පාවක් විය.
මේ වන විටත් සිරියාවෙන් දේශපාලන රැකවරණය පතා පිටමන් වී ඇති ජනපති බසාර් අල් අසාද්ගේ පුද්ගල ස්වභාවය විස්තර වන්නේ ඔහු ද ස්වකීය පරම්පරාගත දරදඬු පිළිවෙතකින් හෙබි පෞරුෂත්වයක් සිරියානු වැසියන්ගේ සාමකාමී නැඟීම්, උද්ඝෝෂණ අරඹයා ප්‍රදර්ශනය කළ හා ක්‍රියාකාරී වූ තවත් එක් අයකු ලෙසය. වරෙක රාජ්‍යතාන්ත්‍රික පිරිස් බසාර් අල් අසාද් ජනපති රට පාලනය කරනු ලැබුවේ පොලිස් පාලනයක් ගෙනයන ආකාරයෙන් ලෙසයි යනුවෙන් ප්‍රකාශ කරන්නේ මේ නිසාවෙනි.
අවුරුදු 14ක සිරියානු සිවිල් යුද්ධය තුළ ආර්ථිකය
ගෝලීය ආර්ථික විශේෂඥයන්ට අනුව අවුරුදු 14කට එපිට ගිය සිරියානු සිවිල් යුද්ධය හා සම්බාධක හමුවේ සිරියානු ආර්ථිකය විශාලතම හා දරුණුතම ආර්ථික අර්බුදයකට පත්ව ඇති බව පැවැසේ. එක්සත් ජාතීන්ගේ මානුෂීයවාදී නිලධාරීන්ගේ නවතම වාර්තාවලට අනුව සිරියානු ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඉතා හදිසි ආහාර හිඟයකින් පෙළෙන අතර, ආහාර පිළිබඳ අනාරක්ෂිතභාවයකින් පසුවන බව වාර්තා කර ඇත. 2011 සිට ඇරඹි සිරියානු සිවිල් යුද්ධයට සිරියානු අරාබි ජනරජය, හා ඔවුන්ගේ මිත්රපාක්ෂිකයන්, සිරියානු විරුද්ධ පාක්ෂිකයන් හා ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වූ අතර, සිරියානු සිවිල් යුද්ධය ජාත්‍යන්තර තලයේ තාමත් විස්තර වන්නේ සක්‍රියව පවතින විශාල සන්නද්ධ ගැටුමක් ලෙසය. මෙම යුද්ධයට කුර්දිස්ථාන සිරියානු ප්රජාතන්ත්රවාදී බළකායන්වල සහාය ද ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉතා විශාල ප්‍රමාණයක් විවිධ වූ තලයන්වල කණ්ඩායම් සිරියානු සිවිල් යුද්ධයට ස්වකීය දායකත්වය ලබාදෙන අතර පසුගිය ඉරිදා සිරියාවේ ඩැමැස්කස් අගනගරය අත්පත්කරගනු ලැබුවේ එහි ප්‍රධානම කැරලිකාර කණ්ඩායම වූ Hayat Tahrir al Sham ය.
සිරියාව අද වන විට අවු. 14ක සිවිල් යුද්ධය හා ආඥාදායක පාලන රටාව තුළ ඉතාම දරුණු ව්‍යසනයකට ආර්ථික, සාමාජීය, දේශපාලනමය වශයෙන් වැටී ඇති බව තේරුම් ගැනීමට තව කුමන සාක්ෂි අවශ්‍ය වේ ද? එබැවින්, සිරියාවේ ඉදිරි රාජ්‍ය පාලනයට පත්වන්නන් හට සිරියාව ලෝකයේ ස්ථාවර, සාමකාමී රාජ්‍යයක් බවට පත්කිරීමේ වගකීම ප්‍රමුඛතම කාර්යය විය යුතුය. දේශපාලන බලය හෝ බල අධිපතීත්වය පසුපස හඹා යාම නොව පුද්ගල සුභ සාධනයට ඉහළතම දායකත්වය නොලැබුණහොත් සිරියාව ජාත්‍යන්තර තලයේ ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීම අති දුෂ්කරය.
සිරියාවේ බිඳවැටීම හා ගෝලීය ප්‍රතිචාරය
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, සිරියාවේ ඉදිරි පාලනය උදෙසා දේශපාලනමය විසඳුමක් ලබාගැනීම උදෙසා ක්‍රියා කළ යුතු බවය. සිරියානු රාජ්‍යයේ ස්ථාවරත්වය උදෙසා එම දේශපාලනමය විසඳුමකට ප්‍රවේශ වීම හැකි ඉක්මණින් කළ යුතු දෙයක් බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක වූ මාඕනින්ග් මාධ්‍ය හමුවකදී පවසා ඇත. චීනය, සිරියාවේ වර්ධනයත් වෙනුවෙන් ඉතා සමීපව කටයුතු කරන බව හා සියලුම අදාළ පාර්ශ්වයන් සිරියානු ජනතාවගේ මූලික අභිලාෂයන් උදෙසා ඇපකැප වී ක්‍රියා කරනු ඇතැයි යන්න තමන් විශ්වාස කරන බවය. සිරියාව, දේශපාලනමය විසඳුමකින් ඉදිරිය සුබවාදී ප්රවේශයකට පිවිසිය යුතු බව චීනය අදහස් කරනු ලැබේ.
යුරෝපා සංගමයේ ප්‍රතිචාරය වන්නේ අසාද් පාලනය බිඳ වැටීම සිරියානු ජනතාවට ඓතිහාසික මොහොතක් සනිටුහන් කළ බවය. සිරියානු සිවිල් යුද්ධය හමුවේ ගොදුරු බවට පත් වූ සාමාන්‍ය වැසියන් මිලියන ගණනකගේ ඉදිරිය බියෙන් හා සැකයෙන් තොරව නිර්මාණය කර ගැනීමට අවස්ථාවක් උදා වී ඇති බව මෙතුළින් ගම්‍ය වන අදහසයි. සාමය හා සමගිය ස්ථාපිත කර රට ස්ථාවරත්වයකට ගෙන ඒමට ලැබුණු අවස්ථාව උපරිමයෙන් භාවිත කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සිරියාව සම්බන්ධ විශේෂිත නියෝජිත වූ Geir Pedersen ට තම සංගමය විශාල සහයෝගයක් ලබාදෙන බවත් යුරෝපා සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පී.ආර්. දුෂාන්ති සිල්වා