Home » දවල් ඇවිත් ඔත්තු බලා රෑට කඩ කඩන තුනේ කල්ලියට වැටුණු දැල

දවල් ඇවිත් ඔත්තු බලා රෑට කඩ කඩන තුනේ කල්ලියට වැටුණු දැල

by sachintha
December 14, 2024 12:30 am 0 comment

දිවා කාලයේ ගම්නගරවල සැරිසරමින් භාණ්ඩ සොරකම් සඳහා සුදුසු වෙළෙඳසල් පිළිබඳව සොයා බැලීම් සිදුකොට රාත්‍රී සහ අලුයම් කාලයේදී පැමිණ එම වෙළෙඳසල්වල දොර අගුළු කඩා මහා පරිමාණයෙන් භාණ්ඩ සොරා ගැනීම් සිදු කළ බව කියන තිදෙනෙකුගෙන් යුත් සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වූයේ පසුගියදාය.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති මෙම කල්ලියේ නායකයා බව පැවසෙන පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ තවත් දෙදෙනෙකුද සම්බන්ධ කරගනිමින් ඔහු සතු ලොරියක් භාවිතකොට වෙළෙඳසල්වලින් රුපියල් ලක්ෂ ගණන් වටිනාකමින් යුත් විවිධ අන්දමේ භාණ්ඩ විවිධ ප්‍රදේශයන්හිදී සොරා ගැනීම් සිදුකළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වීම මත දැනට රුපියල් කෝටි තුනක පමණ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.

දැනට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු 34 හැවිරිදි කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. අනෙක් දෙදෙනා කඩුවෙල සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 28 සහ 38 යන වයසේ පසුවන අය බවත් මොවුන් විසින් රුපියල් කෝටි හයක පමණ භාණ්ඩ සොරාගෙන ඇති බව ප්‍රකාශ වී ඇති බවත් විමර්ශන සිදු කරන යක්කල පොලිසියේ නිලධරයෝ පවසති.

ඉකුත් නොවැම්බර් 16 වැනි දින අලුයම යක්කල නගරයේ විදුලි භාණ්ඩ වෙළෙඳසලකට ඇතුළුවී රුපියල් ලක්ෂ 9ක් පමණ වටිනා භාණ්ඩ පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණගේ උපදෙස් පරිදි සහකාර අධිකාරී රුවන් නාරාවිටගේ සෘජු අධීක්ෂණය මත යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිදු ප්‍රභාෂ්වර යන නිලධරයන්ගේ මෙහෙයවීමෙන් දින 12ක් පුරා විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂිත කැමරා පරීක්ෂාවට ලක්කරමින් පොලිස් නිලධරයන් සිදු කරන ලද විමර්ශනයේදී සොර කල්ලියේ භාණ්ඩ ගෙන යාම සඳහා භාවිත කළ ලොරියේ අංකය හඳුනා ගැනිණි. අනතුරුව එම ලොරිය සැකකරුවන් සමඟ ගමන්ගත් මාර්ග ද පරීක්ෂාවට ලක් කරමින් සිටියදී ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි විය.

ප්‍රධාන සැකකරු එලෙස අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයෙහි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 11,500ක් තිබී ඇති බවත් අනතුරුව සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශ ගණනාවකදී සිදුකළ සොරකම් පිළිබඳව අනාවරණය වීම මත ප්‍රධාන සැකකරුගේ බිරියගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොරාගන්නා ලද භාණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මහරගම බැටරි වෙළෙඳසලක් කඩා රුපියල් ලක්ෂ 55ක බැටරි තොගයක්, හෝමාගම වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ 16ක පමණ භාණ්ඩ, කඳානේ ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවිසලකින් රුපියල් ලක්ෂ 9 භාණ්ඩ, මහරගම මස් වෙළෙඳසලක් කඩා මස් සහ එහි තිබූ තරාදි සහ පඩි ආදියද, හංවැල්ලේ ටයර් වෙළෙඳසලකින් ලක්ෂ 15ක ටයර් තොගයක්, තලංගම සම්බහන ස්ථානයක් බිඳ එහි තිබූ භාණ්ඩ, ගම්පහ වාහන අලංකරණ ස්ථානයකින් පරිගණක ඇතුළු රුපියල් ලක්ෂ 39ක් පමණ වටිනා භාණ්ඩ සොරාගත් බවත් මහරගම බැටරි වෙළෙඳසලෙන් සොරාගත් අලුත්ම බැටරි තොගය හිල් කොට අබලි ද්‍රව්‍ය ලෙස අලෙවි කළ බවත් අනාවරණය තිබේ.

සැකකරුවන් විසින් දිවා කාලයේදී හඳුනාගනු ලබන වෙළෙඳසල් වෙත රාත්‍රියේ හෝ අලුයම් කාලයේ පැමිණ ඉබි යතුරු කඩා වෙළෙඳසලෙහි තිබූ සියලුම දෑ ඔවුන් රැගෙන එන ලොරියට පටවාගෙන ආරක්ෂිත කැමරාවලට හසු නොවන අන්දමින් අතුරු මාර්ග ඔස්සේ ගමන් කොට ඇති බවද ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ වූ බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම මහා පරිමාණයේ සොර කල්ලිය අත්අඩංගුවට ගැනීම පිණිස ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී රුවන් නාරාවිටගේ අධීක්ෂණයෙන් යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාෂ්වර, උප පොලිස් පරීක්ෂක වසන්ත කරුණාරත්න, සැරයන් හිරංග (67767), කොස්තාපල්වරුන් වන රණසිංහ (68536), වීරසූරිය (78538), ගයාන් (77930), බෝපෙගෙදර (89116 – කොට්ඨාස බුද්ධි), මිහිරංග (24250) සහ කාන්තා පොලිස් කොස්තාපල් ගයනී ( 6811) යන නිලධාරීන් විමර්ශන පැවැත්වූහ.

තිලකරත්න දිසානායක ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division