කුවේට් රාජ්‍යය යනු මැදපෙරදිග පිහිටි පොහොසත්ම රටවලින් එකකි. එම රටවල ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් සම්පත වේ. ඔවුන් එමඟින් වසරකට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් උපයා ගනිද්දී එම රාජ්‍යය මිහිපිට සුර ලොවක් සේය. එම රට සියලුම සශ්‍රීකත්වයෙන් අනූන කරවීමට එරට රජතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබේ.
එවන් රටක සේවය කර කුවේට් ඩිනාර්වලින් මුදල් උපයා ගැනීමට ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසී සිටියි. ඒ අතර එම සිහින පසෙකලා ඉක්මනින් මුදල් උපයා ගැනීම සඳහා එරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පිරිසක් ද සිටිති. කෙසේ වෙතත් එරට ආරක්ෂක අංශයේ නිලධාරීන් ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා අතර එරට අධිකරණය ද ඊට නොදෙවැනි ආකාරයට නීතිය ක්‍රියාත්මක කරමින් සිටිති.
මෙවැනි පසුබිමක් කුවේට් රාජ්‍යය තුළ පැවතිය ද එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අතළොස්සක් මත්ද්‍රව්‍ය ජාවාරම එරට තුළ ද පවත්වාගෙන යාමට ප්‍රයත්න දරමින් සිටිති. මෙම මත්ද්‍රව්‍ය යනු කසිප්පු, ගංජා වැනි ද්‍රව්‍ය නොව හෙරොයින්, අයිස්, කොකේන් වැනි භයානක ගණයේ මත්ද්‍රව්‍ය වී තිබීම විශේෂත්වයකි.
මෙම මත්ද්‍රව්‍ය සහ කුවේට් රාජ්‍යය තුළ ජාවාරම් කිරීමේ නිරත වී සිටින පුද්ගලයන් ද මුලිනුපුටා දැමීම සඳහා එරට රජය මෙන්ම එරට ආරක්ෂක අංශ ද මේ වනවිට දැඩි වෙහෙසක් ගනිමින් සිටියි.
ඒ අනුව මෙම භයානක මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් කිරීම, ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකේය සිරකරුවන් 104 දෙනෙකු කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) රඳවා තබා සිටින බව කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් වෙත දැනගැනීමට ලැබී තිබේ.
එසේ රඳවා තබාගෙන සිටින පිරිස 2007 වසරේ ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ නැවත මෙරටට එවීමට 2024 වසරේ මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකා තානාපතිවරයා කටයුතු කරමින් සිටියේය .
එහෙත් එවකට මෙරට බලධාරීන් මෙම වැඩසටහන සඳහා පණ පෙවීමට උත්සුක නොවූ අතර, 104 ක් වූ ශ්‍රී ලාංකේය සිරකරුවන් පිරිසට තවදුරටත් කුවේට් බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදු විය. එහෙත් කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය උත්සාහය අත්නොහැර තිබූ අතර තම සමීපතම පෞද්ගලික සබඳතා උපයෝගී කරගනිමින් මෙම සිරකරුවන් පිරිස මෙරටට එවීම සඳහා නව මාවතක් විවෘත කර ගැනීමට ඔහුට හැකිවිය.
ඔහු ඒ සඳහා කුවේට් රාජ්‍යයේ රජතුමා මෙන්ම එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් සිදුකර මෙම ශ්‍රී ලාංකේය සිරකරුවන් පිරිස නොමිලේ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරගැනීම සඳහා කුවේට් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු විශාලම ප්‍රවාහන ගුවන් යානයක් වන සී.-17 වර්ගයේ ගුවන් යානයක් ද ලබා ගැනීමට සමත් වී සිටියේය.
ඊට සමගාමීව දෙරට අතර අවශ්‍ය ලිපි ලේඛන සම්පාදනය කර දෙරට අතර සිවිල් ගුවන් සේවා අධිකාරිවල සහාය ලබාගෙන මෙම සිරකරුවන් පිරිස මෙරටට එවීම සඳහා තම නිලධාරීන් සමඟ දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට ඔහු වගබලාගෙන තිබුණි.
ඒ අනුව මෙම සිරකරුවන් අතරින් 32 දෙනෙකු එරට බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය ඇතිව තෝරාගෙන ඔවුන් ශ්‍රී ලංකාව වෙත එවන්නේ පසුගියදාය.
මෙම ගුවන් යානයෙන් මෙම සිරකරුවන් පිරිස ද සමඟ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්, වෛද්‍ය සහ හෙද නිලධාරීන් පිරිසක් ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමඟ කුවේට් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මෙන්ම ඔවුන්ට සම්බන්ධ ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් පිරිසක් ද මෙරටට පැමිණීමට සූදානම් කර තිබුණි.
ඔවුන් පසුගියදා අලුයම 05.00 පමණ වනවිට ‘කුවේට් සිටි’ ගුවන් හමුදා කඳවුරේ සූදානමින් සිටි අතර ශ්‍රී ලාංකේය සිරකරුවන් පිරිස ද ඒ වනවිට හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබුණි.
මේ තත්ත්වය අධීක්ෂණය කිරීමට සහ මෙම පිරිස පිටත්ව යන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා එදින අලුයම ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් ද කුවේට් සිටි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් සිටියේය.
ඒ අනුව සැලසුම් කර තිබූ ආකාරයටම කුවේට් ගුවන් හමුදාව සතු විශාලතම ගුවන් යානය කේ.ඒ.එෆ්.- 3223 ගුවන් ගමන් අංකය යටතේ කුවේට් සිටි ගුවන් හමුදා කඳවුරේ සිට උදෑසන 07.06 ට කටුනායක ගුවන් තොටුපොළ බලා අහසට නැඟුණේය.
මෙම ගුවන් යානය තුළ ඒ වනවිට ශ්‍රී ලාංකේය සිරකරුවන් අත් මාංචු දමා අසුන් ගන්වා තිබූ අතර ඔවුන් වෙනුවෙන් ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු කුවේට් නිලධාරීහු 100කට අධික පිරිසක් ද සිටියහ.
මෙම ගුවන් යානය පැය 05යි විනාඩි 20ක ගුවන් ගමනකින් අනතුරුව පස්වරු 02.33ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.
ඒ වනවිටත් මෙම සිරකරුවන් පිරිස භාර ගැනීමට බන්ධනාගාර බස්රථ කිහිපයකින් බන්ධනාගාර නිලධාරීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් මෙන්ම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ද සීරුවෙන් තබා තිබුණි.
ඉතිහාසයේ පළමු වරට සිදු වූ මෙම සිරකරුවන් හුවමාරුව දැකබලා ගැනීම සඳහා මෙම සිරකරුවන්ගේ සමීපතම ඥාතීහු පිරිසක් මෙන්ම වෙනත් බාහිර පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. එහෙත් මෙම සිරකරු හුවමාරුව තුළ හුවමාරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ කුවේට් ජාතික සිරකරුවන් නොසිටීම විශේෂත්වයක් විය.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකේය සිරකරුවන් පිරිසගෙන් මෙරට ආරක්ෂක අංශ කෙටි ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.
කුවේට් ගුවන් හමුදා විශේෂ ගුවන් යානයෙන් පැමිණි එම ගුවන් යානා කාර්ය මණ්ඩලය ප්‍රමුඛ එරට නිලධාරීන් පිරිස එක් දිනෙක විවේකයක් සඳහා කොළඹට රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර එම ගුවන් යානය පසු දින යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන්, කුවේට් රාජ්‍යය බලා පිටත්ව ගියේය.
කටුනායක ටී. කේ. ජී. කපිල