මම රංජනී. මට තිබුණා හරි ලස්සන පවුල් ජීවිතයක්. මම එහෙම කියන්නේ අපේ පවුල ඇත්තටම ලස්සන නිසා. අපි හිටියේ අප්පච්චිගෙ මහගෙදර. විශාල වත්තක් මැද්දේ තමයි අප්පච්චිගෙ මහ ගේ පිහිටලා තිබුණේ. මගෙ අම්මයි අප්පච්චියි දෙන්නම හොඳ වැදගත් පවුල්වල අය. ඒ නිසා ඒ දෙන්නම හිටියේ ආඩම්බරයෙන්.
මම උසස් පෙළ කරලා ප්රතිඵල එනතුරු ගෙදරට වෙලාමයි හිටියේ. අම්මයි මමයි යාළුවෝ වගේ. අප්පච්චිත් එහෙමයි. පවුලේ එකම ළමයා නිසා මට කිසිම දේක අඩුවක් වෙන්න එයාලා ඉඩ දුන්නේ නෑ. අප්පච්චිගේ සහෝදරයෝ දෙන්නා ඒ කියන්නේ මගෙ බාප්පලා දෙන්නා හිටියෙ පිටරට. අප්පච්චිට ඕන වුණා මාවත් එයාලා ගාවට යවන්න. මමත් හිටියේ එහෙම පිටරට යන්න හිත හදාගෙන.
ඒත් ජීවිතේ නොහිතපු විදිහට වෙනස් වුණා. මගෙ අම්මා හදිසියේම අසනීප වුණා. එයාට හැදුණ අසනීපය මොකක්ද කියලා හරියටම දැනගත්තේ අම්මා මියගියාමයි. අම්මට තිබිලා තියෙන්නේ පිළිකාවක්.
අම්මා මියගියාට පස්සේ අප්පච්චියි මමයි තනිවුණා. අප්පච්චි ටික ටික බීමට ඇබ්බැහි වුණා. ඒත් එයා මට කිසිම වෙනස්කමක් කළේ නෑ.
අම්මා මියගිහිල්ලා අවුරුදු දෙකකට විතර පස්සේ දවසක අප්පච්චි උදේ කෑම මේසයේදී මට කතා කළා.
අත්තම්මත් අපිත් එක්ක හිටියා.
“දුව දැන් ඔයා තනියම හිටියා ඇති. දුවටත් යන කලදවසක් තියෙන්න ඕන. ඒ නිසා අපි දුවට මංගල යෝජනාවක් ගෙනාවා. ඒ ළමයා හොඳ කෙනෙක්. මගේ යාළුවෙක්ගේ පුතෙක්. මේ සති අන්තේ ඒ දරුවා පවුලේ අයත් එක්ක මෙහෙ එනවා.“
අප්පච්චි, රුවන් ගැන මුලින්ම මට කිව්වේ එහෙමයි.
රුවන් මුලින්ම අපේ ගෙදර ආවේ ඒ විදිහට. එයාගේ නංගියි, මල්ලියි, අම්මයි, තව නැන්දා කෙනෙකුත් එදා අපේ ගෙදර ආවා. ඉන් පස්සේ වරින්වර රුවන් අපේ ගෙදර ආවා. මාස තුනකට විතර පස්සේ අපි දෙන්නා විවාහ වුණා.
රුවන් මුල ඉඳලම කිව්වේ විවාහයෙන් පස්සේ එයාගේ ගෙදර නතර වෙන්න යමු කියලා. ඒත් මගෙනම් කැමැත්තක් තිබුණේ නැහැ. මගෙ අප්පච්චියි අත්තම්මයි දෙන්නත් ඒකට කැමැති වුණේ නෑ. පුංචි පුංචි පැටලිලි තිබුණත් අන්තිමට සිද්ධ වුණේ රුවන්ගේ ගෙදර නතර වෙන්න. මුලින්ම රුවන්ගේ අම්මා හොඳයි වගේ පෙනුණට එයාගේ ගතිගුණ ගැන දැනගත්තේ එයත් එක්කම ඒ ගෙදර ඉන්න ගත්තම. රුවන් බිස්නස් වැඩවලට කිය කියා නිතර ගෙදරින් පිට යනවා. මාස කීපයක් යනකොට මට තේරුණා රුවන් හරි වෙනස්ම කෙනෙක් කියලා. එයා ගෙදර ආවත් මා එක්ක වැඩි වෙලා ඉන්නේ නෑ. දවසක් මම රුවන්ගේ අම්මට මේ ගැන කිව්වා. එයා මට බැන්නා මම විකාර හිතන්නේ කියලා. මට හිතුණා අප්පච්චිටයි අත්තම්මටයි මේ කරදර මොකට කියනව ද කියලා.
කාලය ගෙවිලා ගියා. රුවන් මට හිතාගන්න බැරි විදිහට ගෙදරින් ඈත්වුණා. දවසක් ගෙදරට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ආවා. ඒ ලියුම ආවේ මගෙ නමට. මම ලියුමත් අරන් මගෙ කාමරයට ගියා. මට ඒ දැක්ක කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරිව ගියා. මම ලියුමේ තිබුණ පින්තූර, විස්තර අරගෙන ගිහින් රුවන්ගෙ අම්මට පෙන්නුවා. මුලින් එයා මට බැන්නා. නමුත් ඒ තිබුණ පින්තූර දැක්කට පස්සේ අම්මට සිහි නැතිවුණා වගේ.
ඒ පින්තුරවල හිටියේ රුවන් එක්ක තරමක් හැඩකාර ගෑනු කෙනෙක්. අවුරුදු දෙකක් විතර වයස පුංචි පුතෙකුත් පින්තූරවල හිටියා.
මම බොහෝම අමාරුවෙන් හැම දෙයක්ම ඉවසගෙන එදා රෑ වනතුරු බලාගෙන හිටියා. මම ගෙදර කා එක්කවත් කතා කරන්න ගියේ නෑ.
රෑ අටට විතර රුවන් ගෙදර ආවා. අම්මා එයාගේ කාමරයට වෙලා හිටියා. නංගිත් අඬලා අඬලම වේලාසනින්ම නිදාගත්තා. රුවන්ට කෑම බෙදලා දුන්නත් මගෙ හිතේ සතුටක් තිබුණේ නැහැ. එයා කොහොමද මාව රැවැට්ටුවේ කියලා මගෙ හිත මටම වධ දුන්නා.
රුවන් ගැන මගෙ හිතේ කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. මේ මිනිහා මට මේ තරම් බොරුවක් කළේ කොහොමද කියන එක තමයි මට මහා වධයක් වුණේ. රුවන් කාමරයට ඇවිල්ලා නිදාගත්තත් මට නින්ද ගියේම නෑ. මහ රෑ මම භුමිතෙල් ගැලුම ගෙනැල්ලා රුවන්ගේ ඇඟට හැලුවා. ඒ එක්කම ගිනි කුරකුත් ගැහුවා. මම කාමරයෙන් එළියට පැන්නා.
ගෙදර අය කෑගහන්න ගත්තා. රුවන්ගේ මර හඬත් මට ඇහුණා. අහල පහල මිනිස්සු දුවගෙන ආවා. ඇත්තම කිව්වොත් මට පැන යන්න වුවමනාවක් තිබුණේම නැහැ.
ඒ රෑම පොලිසියෙන් ගෙදරට ආවා. මම හෙමින් සීරුවේ පොලිසියේ අය ඉස්සරහට ආවා.
“රාලහාමි මමයි ගිනි තිබ්බේ… ඒ මිනිහව මරන්නයි මට ඕන වුණේ“ කියලා මම කිව්වා.
මගේ අප්පච්චි පොලිසියට ඇවිල්ලා මගෙ අත් දෙක අල්ලගෙන ඇඬුවා.
“මට සමාවෙයන් දුවේ“ කියලා.
මම කළේ වැරැද්දක්. අප්පච්චිට බැරි වුණා මාව බේරගන්න. මට බැරි වුණා අප්පච්චිගෙ අවසන් කාලෙදී එයාව බලාගන්න. දැන් සෑහෙන කාලයක් තිස්සේ මම හිර ගෙදර…“ අැය පවසන්නට වූයේ දෑසේ මතු වූ කඳුළක් පිස දමමිනි.
(විශේෂ ස්තූතිය – ශ්රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට)
ඉනෝකා සමරවික්රම