Home » මැණික්වලින් ඩොලර් බිලියන 03ක ආදායමක් ගේන්න සැළසුම්

මැණික්වලින් ඩොලර් බිලියන 03ක ආදායමක් ගේන්න සැළසුම්

by chanaka
December 16, 2024 4:25 pm 0 comment

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය විශාල වශයෙන් විදේශ විනිමය ලබාගත හැකි අංශයක් වුවත් අපේ රටේ නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා මෙම වටිනා කර්මාන්තය අප රටින් ගිලිහෙමින් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (15) “Jewels 2024” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ඇතිව ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයින්ගේ සංගමය විසින් දේශීය මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් වාර්ශිකව සංවිධානය කරනු ලබන “Jewels 2024” (ස්වර්ණාභරණ 2024) අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනය හා තරගාවලිය පසුගිය 13,14 හා 15 යන තෙදින කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්විණ.

1970 දී ආරම්භ කළ ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයින්ගේ සංගමය ශ්‍රී ලංකාවේ මැණික් විද්‍යාඥයින්ගේ වෘත්තීමය ආයතනය වන අතර ලාභ නොලබන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය වෘත්තීමය දැනුම, තාක්ෂණය, දේශීය හා විදේශීය වෙළඳපල සපයා ගැනීම සඳහා පහසුකම් සපයන අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය ලෙසද කටයුතු කරයි.

“ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය” මෙවර ප්‍රදර්ශනයේ තේමාව වන අතර ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලබන්නේ 14 වෙනි වරටය. “Jewels 2024” ප්‍රදර්ශනයට සමගාමීව ක්ෂේත්‍රයේ නවතම ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මැණික් විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන් “Jewels Talk” සම්මන්ත්‍රණය පවත්වන ලද අතර අංශ කීපයක් ඔස්සේ පවත්වන ලද තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යග පිරිනමන ලදී.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා,

“රටේ නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වටිනා කර්මාන්තය අප රටින් ගිලිහෙමින් පවතිනවා. තාක්ෂණික ගැටලු, රජයේ බදු ප්‍රතිපත්තීන්, රාජ්‍ය යාන්ත්‍රණය තුළින් සිදුවන බාධාවන් වැනි ගැටලු මෙම කර්මාන්තයේ සංවර්ධනයට බාධාවක් බවට පත්ව තිබෙනවා. නමුත් වර්තමාන රජයේ ඉලක්කය වන්නේ මෙම සියලු බාධාවන් ඉක්මනින් ඉවත් කර ඇමරිකානු ඩොලර් බිලියන 3 අපනයන ආදායමක් මෙම කර්මාන්තයෙන් ඉපයීමයි. තවද ලංකාව ලෝකයේ මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ හැකියාවක් තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීමට අප රජයේ අවධානය යොමු කොට තිබෙනවා. සංචාරක කර්මාන්තයත් සමග බද්ධ කොට ගනිමින් මෙම කර්මාන්තය ඉතා වේගයෙන් සංවර්ධනය කිරීමට අප රජයක් ලෙස කටයුතු කරනවා ” යැයි පැවසීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි, ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති නුවන් බාලගේ අතුළු නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දෙස් විදෙස් ගැනුම්කරුවන්, ක්ෂේත්‍රයේ නියලෙන්නන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division