ඉන්දියාවේ නිල චරිකාවක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අද(17) පෙරවරුවේ බිහාර් වෙත පැමිණ බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
ඔහු පැමිණීමත් සමඟ ගයා ගුවන් තොටුපළේදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔහු පිළිගනු ලැබූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව බුද්ධගයාවට පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගෙන තිබුණි.
මෙහිදී ඉන්දියානු මහාබෝධි සමාගමේ මහ ලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කර තිබේ.
ඉන් අනතුරුව සද්ධා උද්‍යානයේ ධර්ම ඝණ්ඨාර නාදයෙන් අනතුරුව විහාර සංකීර්ණයේ පිහිටි අනෙකුත් බෞද්ධ ආගමික ස්ථාන ද ජනාධිපතිවරයා විසින් වැඳපුදා ගෙන ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.