– පදවියේ ඝාතන 3ක් සඳහා යොදාගත් ටී56 සොයාගත්තේ එස්ටීඑෆ් එකෙන්
– සැකකරුවන් මීට පෙර ගත් ඉලක්කයක් වැරදී අහිංසකයෙක් මියගිහින්
– බාලයාවැව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය මරන්න තැබූ වෙඩිල්ලක් වැරදී මියයන්නේ ආච්චිඅම්මා
– ඇල්ලූ තිදෙනාගෙන් එක් අයෙක් හිරෙන් ආවේ මාස දෙකකට පෙර
– වැරදුණු ඉලක්කයෙන් මියගිය මුතුමැණිකා ඝාතනයේ තිදෙනාම අත්අඩංගුවේ
– සියලු ඝාතන ඩුබායි සිට මෙහෙයවන්නේ
මත්ද්‍රව්‍ය ජාවාරම වසර ගණනාවක සිට බහුලවම ප්‍රචලිත වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත මුල්කරගෙනය. එලෙස මහා පරිමාණයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා ප්‍රතිවිරුද්ධ කල්ලි අතර ගැටුම්වල ද ඉවරයක් නැත. එවැනි ගැටුම් නිසා මිනිස් ජීවිත ද බොහෝ ප්‍රමාණයක් අහිමි වී තිබේ. බස්නාහිර සහ දකුණු පළාතේ පවතින එම තත්ත්වයන් දැන් දැන් රටේ නානාවිධ පළාත්වලින් ද අසන්නට ලැබීම අවාසනාවකි. මේ කතාවද එවැන්නකි. එය පියවරෙන් පියවර සටහන් වන්නේ මෙසේ ය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කොනක පිහිටි පදවිය පොලිස් වසමෙන් ඉකුත් 5 වැනිදා කාන්තා ඝාතනයක් වාර්තා විය. එදින රාත්‍රී 11.45ට පමණ සිදුව තිබූ එම ඝාතනය පදවිය පොලිසියට වාර්තා වීමත් සමඟ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩබ්ලිව්. ඩබ්ලිව්. කුමාරසිරිගේ මෙහෙයවීමෙන් විමර්ශන ඇරැඹිණි. එහිදී එම ඝාතනය ගැන පදවිය පොලිසිය විසින් පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී.එස්. කුලතුංග ද දැනුම්වත් කරන්නේ පසුගිය දිනවල එම පළාතේ සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ පිළිබඳව පොලිස් පරීක්ෂක කුලතුංග ඇතුළු කණ්ඩායමද දැඩි විමසිල්ලකින් පසු වූ නිසාය.
මේ ඝාතනය සිදුවී මඳ වේලාවකින් පොලිසිය සහ එස්ටීඑෆ් නිලධාරින් ඝාතනය සිදුවූ බලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ අදාළ නිෙවසට ගියේය. වෙඩි තබා ඝාතනය කර තිබුණේ 73 හැවිරිදි නන්හාමිගේ මුතු මැණිකා නමැත්තියයි. පොලිස් නිලධාරින් ඇගේ නිෙවසට යද්දී වෙඩි වැදුණු මුතුමැණිකා ඇගේ මුනුපුරකු සහ අසල්වැසියකු විසින් යතුරුපැදියක නංවාගෙන පදවිය රෝහලට රැගෙන ගිය ද ඇය ඒ වන විටත් මිය ගොසිනි.
විමර්ශන නිලධාරින්ට අනාවරණය වූයේ එම ඝාතනය වෙනත් අයකු ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීමකින් ඉලක්කය වැරැදී සිදු වූවක් බවය. ටී56 ගිනිඅවියකින් උණ්ඩ 19ක් පමණ භාවිත කර තිබූ එම වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ මුතුමැණිකාගේ දියණියගේ දියණිය හෙවත් මිනිපිරියක වන 32 හැවිරිදි තුෂාරි රම්‍යලතා බව විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්තේ පසුවය.
මුතුමැණිකා නිෙවසේ ගත කර තිබුණේ මිනිපිරිය වන තුෂාරි සහ මුනුපුරකු සමඟය. වෙඩික්කරුවන් පැමිණෙද්දී තුෂාරි සිටියේ ඇගේ නැඟණියගේ සැමියා සමඟ එම නිවසත් නැඟණියගේ නිවසත් අතර ප්රදේශයකය. ගණ අඳුරේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු තුෂාරි දැක ගිනිඅවිය අතට ගන්නවාත් සමඟම තුෂාරි ආච්චිඅම්මා සිටි නිෙවස පිටුපසට දිව යද්දී ඇගේ නැඟණියගේ සැමියා වෙනත් පැත්තකට දිව ගොස් තිබිණි.
තුෂාරි නිෙවස පිටුපස දොරෙන් නිෙවසට ඇතුළු වූවායැයි සිතූ වෙඩික්කරු එම නිෙවස දෙසට වෙඩි වරුෂාවක් එල්ලකර තිබේ. එහෙත් තුෂාරි නිවස තුළට නොගොස් නිවස පිටුපස කැලෑවේ සැඟවි සිටියාය. කෙසේ හෝ වෙඩික්කරු වෙඩි තබද්දී නිෙවස තුළ බිත්තියකට මුවා වී සිටි මුතුමැණිකා ක්ෂණයෙන් වෙඩික්කරු දෙසට හිස යොමද්දී ඇගේ මුහුණ පසාරු කරගෙන යන සේ වෙඩි ප්‍රහාර දෙකක් වැදී තිබුණේ ඇගේ ඉරණම් ගමන එම ස්ථානයේදීම තීන්දු කරමිනි.
වෙඩික්කරු ඉන්පසු පැමිණි යතුරුපැදියෙන්ම පැදිකරු සමඟ පලා ගොස් තිබුණේ නිෙවස තුළට ගියා යැයි සිතූ තුෂාරි ඝාතනය වූවා යැයි සිතමිනි. එහෙත් තුෂාරිට ජීවත් වීමේ වාසනාව තිබියදී මරණයට පත් වූයේ ඇගේ ආච්චිඅම්මාය. එලෙස තුෂාරි ඝාතනය කිරීමට තැත් කිරීමේ හේතුව ලෙස විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්තේ කලක සිට පවතින මත්ද්‍රව්‍ය ආරවුලකි.
තුෂාරි ද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු තැනැත්තියකි. ඇය අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වසර දෙකක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට එළියට පැමිණ තිබුණේ පසුගිය ජනවාරි මාසයේය. ඒ දිනවල තුෂාරි ජාවාරම්කර තිබුණේ වර්තමානයේ බූස්ස බන්ධනාගාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රැවුල් කුමාරට අයත් මත්ද්‍රව්‍යයයි. බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු තුෂාරි නැවත මත්ද්‍රව්‍ය ජාවාරමට ඇඳා ගැනීමට උත්සාහ කර තිබුණේ වැලිඔය ප්‍රියන්ත නැතිනම් ආමි ප්‍රියන්ත ලෙස ප්‍රචලිත ජාවාරම්කරු විසිනි. වැලිඔය, කිරිඉබ්බන්වැව පදිංචිකරුවකු වන ප්‍රියන්ත එම ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තැනැත්තෙකි. ඔහු වසර තුන හතරක පමණ සිට ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නෙකි. ඔහු ඩුබායි සිට පසුගිය කාලයේ පදවිය ආශ්රිත ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන කීපයක් ද මෙහෙයවූ තැනැත්තාය. ප්‍රියන්ත පසුගිය කාලයේ කිහිප විටකදීම තුෂාරිට දුරකතන ඇමතුම් දෙමින් තර්ජනය කර තිබුණේ ඔහුගේ මත්ද්‍රව්‍ය විකුණන ලෙස ඇයට තර්ජනය කරමිනි.
“ඒයි… තුෂාරි උඹට මම ආයි කියන්නේ නෑ… උඹ මගේ බඩු විකුණපන්… මොකද මේ පළාතේ බස්සන්න පුළුවන් මගේ බඩු විතරයි…“ යැයි ප්‍රියන්ත එලෙස ඇයට තර්ජනය කර තිබුණේ අසැබි වචනයෙන් ද බැණ වදිමිනි. එම තර්ජනයන්ට බිය නොවූ තුෂාරි රැවුල් කුමාරගේ මත්ද්‍රව්‍ය එම ප්‍රදේශයේ ජයටම බෙදා හැරියාය.
ඊට පලිගැනීමක් ලෙස තුෂාරි ඝාතනය කරන්නට සැලැසුම් කළ වැලිඔය ප්‍රියන්ත පසුගිය පස්වැනිදා රාත්‍රී කුලී ඝාතකයන් දෙදෙනෙකු යොදවා ඇය ඝාතනය කිරීමට තැත් කළේය. කෙසේ හෝ ඇයට ජීවත්වීමට වාසනාව ලැබුණද ඇගේ ආච්චිඅම්මා මුතුමැණිකාට අවාසනාව කැන්දාගෙන ආවේ වෙඩික්කරු තැබූ වෙඩි උණ්ඩ දෙකක් ඇගේ මුහුණ පසාරු කරගෙන ගොස් තිබූ හෙයිනි.
අනතුරුව මුතුමැණිකාගේ ඝාතනය සැලවීමත් සමඟ පදවිය පොලිස් නිලධාරින් මෙන්ම පුල්මුඩේ එස්ටීඑෆ් කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කුලතුංග ඇතුළු කණ්ඩායමක් ද විමර්ශන සිදු කළේය. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත වවුනියාව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ප්‍රසාද් කොඩිතුවක්කුගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී ඊ. ඒ. එම්. දයාරත්නගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක කුලතුංග ඇතුළු එස්ටීඑෆ් නිලධාරින් කණ්ඩායම විමර්ශන සිදු කළේ තුෂාරිට වැලිඔය ප්‍රියන්ත කළ තර්ජන ගැනද තොරතුරු රැස් කරමිනි. වසර තුනක පමණ සිට වැලිඔය සහ අවට පෙදෙස්වල සිදුවූ අපරාධ ගැන මනා අධ්‍යයනයකින් සිටි අයි.පී. කුලතුංග ඇතුළු කණ්ඩායම ඊට පෙර ද එම පළාතේ සිදුවූ වෙඩි තබා ඝාතන සිදු කිරීමේ සිදුවීම් ද වැලිඔය ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් සිදු වූ බව විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබිණි.
ඒ අනුව එස්ටීඑෆ් නිලධාරින් තොරතුරුකරුවන් මාර්ගයෙන් තොරතුරු රැස් කරමින් පසුගිය 6 වැනිදා දින එම ඝාතකයන් ගැන සොයා විමර්ශන සිදු කරද්දී පදවිය පොලිස් නිලධාරින් විසින් මුතුමැණිකාගේ මුනුපුරන් ඇතුළු ඥාතින්ගේ ප්‍රකාශ ගනිද්දී එස්ටීඑෆ් නිලධාරින් ද ඊට එක්විය.
එහිදී එම ප්‍රකාශවලින් වැඩිදුරටත් තහවුරු වූයේ මුතුමැණිකා ඝාතනය වැලිඔය ප්‍රියන්තගේ ‘වැඩ‘ක් බවය. ඒ වන විට පදවිය පොලිසියේ සිටි අයි.පි. කුලතුංග ඇතුළු එස්ටීඑෆ් නිලධාරින් කණ්ඩායම 6 වැනිදා දහවලේ වැලිඔය ප්‍රදේශයට ගොස් තෙරතුරුකරුවන් මාර්ගයෙන් තෙරතුරු රැස් කරද්දී පෙර දින රාත්‍රියේ එම ප්‍රදේශයේ යතුරුපැදි ද වෙනදාට වඩා ධාවනය වූ බවක් අනාවරණය විය. ඊට අමතරව ප්‍රදේශයේ සැක කටයුතු නිවෙසක් ගැනත් තොරතුරු හෙළි විය. ඒ නිවෙස පිහිටා තිබුණේ වැලිඔය, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේයි. එම ප්‍රදේශය වැලිඔය ප්‍රියන්තගේ ගම් ප්රදේශයයි. එහි නිවෙසක සිට 6 වැනිදා සවස දෙකට පමණ සැකපිට අත්අඩංගුවට ගැනුණේ ධනංජය උපුල් හෙවත් තරංගය. ඔහු 41 හැවිරිදිය. වැලිඔය, කිරිඉබ්බන්වැව පදිංචිකරුවෙකි. දරුවන් තිදෙනකුගේ පියකු වන උපුල් යුද හමුදාවෙන් පලා ආ අයෙකි.
ඔහු ගිය වසරේ මැයි 16 දා පදවිය, මහසෙන්පුර පදිංචි චිරන්තන රසික විජේවර්ධනට වෙඩි තබා ඝාතනයට අත්අඩංගුවට ගෙන ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා බන්ධනාගාරයෙන් ඇප මත පැමිණ සිටි අයෙකි. උපුල්ගේ නිවෙසේ තිබී එස්ටීඑෆ් නිලධාරින් විසින් ටී56 ගිනිඅවියක් සමඟ පතොරම් ගැබක් සහ උණ්ඩ අටක් සොයා ගන්නේ අබිරහස් හෙළිකර ගනිමිනි. ඊට අමතරව රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ හතරක් ද සොයා ගැනිණි. ටී56 ගිනිඅවියක් මුතුමැණිකා ඝාතනයට ද යොදාගෙන තිබූ හෙයින් එස්ටීඑෆ් නිලධාරින් උපුල්ගෙන් ප්‍රශ්න කළේ මුතුමැණිකා ඝාතනය ද රසික ඝාතනය කළා සේ ඔහුගේ ‘වැඩක්‘ද යන්නයි.
“නෑ… සර්… මං නෙමෙයි මුතුමැණිකා ආච්චි මැරුවේ… මං කළේ ෂූට් එකට වෙෆන් එක දීපු එක විතරයි…“ යැයි කී උපුල් ඔහු ටී56 ගිනිඅවිය කසුන් නමැත්තෙකුට දුන්නේ ඩුබායි සිටින වැලිඔය ප්‍රියන්තගේ කීමට බව හෙළි කළේය.
ඒ අනුව මුතුමැණිකා ඝාතනය එම ටී56 ගිනිඅවිය යොදාගෙන ප්‍රියන්ත සිදුකළ වැරැදුණු කුරුමානමක් බව හෙළි වෙද්දී එස්ටීඑෆ් නිලධාරින් තහවුරු කරගත්තේ ප්‍රියන්ත විසින් එම ටී56 ගිනිඅවිය ඝාතන තුනක් සඳහා යොදාගෙන ඇති බවය.
“සර්… ප්‍රියන්ත කිව්වා… කිරිඉබ්බන්වැවේ වැව් බන්ට් එකේ තියෙන කැලෑවේ කහපාට මාර්ග සංඥා බෝඩ් එක ළඟ වෙපන් එක තියන්න කියලා… එයා ලොකේෂන් දාලා කියන්නම්… ඊට පස්සේ කසුන් ඇවිත් අරන් යයි… හැබැයි උඹ කැලෑවට වෙලා බලාගෙන හිටපන් ඌ ඇවිත් වෙපන් එක ගන්නවද කියා…“ යැයි අත්අඩංගුවට ගත් උපුල් එස්ටීඑෆ් නිලධාරින්ට පැවැසීය.
අනතුරුව එම ස්ථානයේ ගිනිඅවිය තබා ලෝකේෂන් කී පසු යතුරුපැදියකින් පැමිණි ප්‍රියන්තගේ ඥාතියකු වන කසුන් එම ගිනිඅවිය රැගෙන ගොස් තිබුණේ මුතුමැණිකා ඝාතනයට පැයකට පමණ පෙරය. අනතුරුව මුතුමැණිකා ඝාතනයෙන් පසු එදින මධ්‍යම රාත්‍රිය පසුවී පැයකට පමණ පසු කසුන් ටී56 ගිනිඅවිය එම ස්ථානයටම ගෙනැවිත් දමා තිබිණි. පසුව නැවත උපුල්ට කතා කළ ප්‍රියන්ත කියා තිබුණේ ගිනිඅවිය ඔහු තැබූ ස්ථානයේම නැවත කසුන් තබා ඇති බවත් එය රැගෙන ඔහු සන්තකයේ තබාගන්නා ලෙසයි. උපුල් එස්ටීඑෆ් නිලධාරින්ට කොටුවන්නේ එලෙස එම ගිනිඅවිය ළග තබාගෙන සිටියදීය.
උපුල්ගේ පාපෝච්චාරණය අනුව කසුන් ගිනිඅවිය රැගෙන ගිය බව හෙළිවීමත් සමඟ අයි.පී. කුලතුංග විසින් කසුන් ගැන පදවිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළේය.
මේ අතර මුතුමැණිකා ඝාතනයේ විමර්ශන සිදු කරමින් සිටි පදවිය පොලිසියේ නිලධාරින් 6 වැනිදා අලුයම පදවිය, පරාක්රමපුර බස් නැවතුම්පොළක සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ සැකපිටය. ඔහු මහියංගණයේ පදිංචිකරුවෙකි. 26 හැවිරිදි බුද්ධික උදය බවත් ඔහු යුද හමුදාවෙන් ඉවත් කළ අයෙක් බව ද හෙළි විය. ඔහු පොලිසියේ රඳවා සිටියදී උපුල්ගේ පාපෝච්චාරණය මත හෙළිවූ කසුන් නමැති පුද්ගලයකු එදින සවස් යාමයේ පරාක්රමපුර නගරයේදී අත්අඩංගුවට ගැනීමට පදවිය පොලිසියේ නිලධාරින්ට හැකි විය.
30 හැවිරිදි දොඩන්ගොල්ලේගෙදර කසුන් ධනංජය වැලිඔය, ඇහැටුගස්වැව පදිංචිකරුවෙකි. අනතුරුව කසුන්ගේ පාපෝච්චාරණ මත මුතුමැණිකා ඝාතනයට යොදාගත් ඩියෝ වර්ගයේ ස්කූටි යතුරුපැදිය කසුන්ගේ මවගේ නිෙවස පිහිටි වැලිඔය, කිරිඉබ්බන්වැව නිවෙසේ තිබියදී සොයා ගැනිණි. පසුව කසුන් සහ බුද්ධිකගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වූයේ මුතුමැණිකා ඝාතකයා බුද්ධික බවත් උපුල්ගෙන් ගිනිඅවිය ලබාගෙන යතුරුපැදිය ධාවනය කරමින් නැවත ගිනිඅවිය රැගෙන ගොස් ඇත්තේ කසුන් බවය. දෙදෙනා එලෙස ඝාතනය කිරීමට ගොස් තිබුණේ වැලිඔය ප්‍රියන්ත සමඟ වූ මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් තුෂාරිය.
මුතුමැණිකා ඝාතනය කිරීමත් සමඟ එස්ටීඑෆ් නිලධාරින් සිදුකළ විමර්ශනයෙන් සොයා ගත් ටී56 ගිනිඅවිය පසුගිය කාලය පුරා එම ප්‍රදේශයේ සිදුවූ තවත් ඝාතන දෙකකට යොදාගෙන ඇති බව ද හෙළි විය.
මුලින්ම එම ගිනිඅවිය යොදාගෙන එම ප්‍රදේශයේදී ඝාතනය කෙරුණේ පදවිය පොලිස් වසමේ තෙල් මෝලක් පවත්වාගෙන ගිය රසික විජේවර්ධනය. දරු දෙදෙනෙකුගේ පියකු වන රසික ගිය වසරේ මැයි 16 දා රාත්‍රියේ මෙකී ටී56 ගිනිඅවිය යොදාගෙන ඝාතනය කර තිබුණේ ඉකුත් 6 වැනිදා එස්ටීඑෆ් අත්අඩංගුවට ගත් උපුල් හෙවත් තරංගය.
ඒ රසික වැලිඔය ප්‍රියන්ත සමඟ එක්ව කේරළ ගංජා ජාවාරමක් සිදුකොට ඒ සඳහා ලැබිය යුතු මුදල් නොදීමේ ආරවුලකටය. එදා එම ඝාතනය සඳහා මෙකී ටී56 ගිනිඅවිය පදවියට ගෙනැවිත් තිබුණේ බස්රථයක පැමිණි කොළඹ ප්‍රදේශයේ දෙදෙනෙකි. එම ඝාතනය පිළිබඳව පදවිය පොලිසිය සහ පසුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිදුකළ විමර්ශනයේදී මාස හතරකට පමණ පසු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක බාලසූරිය ඇතුළු කණ්ඩායම සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ප්‍රියන්තගේ බිරිය, වෙඩික්කරු උපුල් ඇතුළු සැකකරුවන් සයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
එම ඝාතනයෙන් කලක් ගත වූවා පමණි. මේ වසරේ අගෝස්තු මස 16 දා ශ්‍රීපුර පොලිස් වසමේදී අලුයම් කාලයේ කාපට් මාර්ගයේ වී වේළමින් සිටි තරුණයන් සිවුදෙනෙකුගෙන් කෙනෙකු ඝාතනය කෙරුණේ ටී56 ගිනිඅවියක් යොදාගෙනය. එදින එලෙස වෙඩි උණ්ඩ 4ක් වැදි මියගොස් සිටියේ 26 හැවිරිදි චන්දන මනෝජ්ය. ඔහු අහිංසක පුද්ගලයකු බවත් වැරදීමකින් සිදුවූ ඝාතනයක් බව පසුව පොලිසිය සිදුකළ විමර්ශනයෙන් හෙළි විය. එම ඝාතනය ද සිදුකර තිබුණේ මෙකී ටී56 ගිනිඅවිය යොදාගෙන වැලිඔය ප්‍රියන්තගේ මෙහෙයවීමෙනි. වැලිඔය ප්‍රියන්තගේ බිරිය පැතුම් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ හෙයින් ඔහු ඉලක්කකොට වෙඩි ප්‍රහාරය එල්ල කෙරුණ ද වෙඩික්කරුට වැරැදී ඝාතනය වී තිබුණේ පැතුම්ගේ හැඩරුවට සමාන චන්දනය.
චන්දන කිසිම මත්ද්‍රව්‍ය හෝ පාතාල ක්‍රියාවකට සම්බන්ධ නොමැති අහිංසක තරුණයකු බවත් එය අපරාධකාරයන්ට වැරදුණු තවත් කුරුමානමක් බව හෙළි වෙද්දී ටී56 ගිනිඅවියක් යොදාගෙන එම වෙඩි ප්‍රහාරය එල්ල කළ ඝාතකයා සොයා ශ්‍රිපුර පොලිසිය ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් ද විමර්ශනයක ආරම්භ කළහ.
එහිදී වෙඩික්කරු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය ද පතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් එම වෙඩික්කරුගේ නම්, ගම් ඇතුළුව ඡායාරූප දෙකක් ද මාධ්‍යයට නිකුත් කළේ පසුගිය අගෝස්තු 26 වැනිදාය.
ඒ අනුව එහි සඳහන්ව තිබුණේ වෙඩික්කරු 39 හැවිරිදි කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස බවත් ඔහු සමරුගම, අවිස්සාවේල්ලේ පදිංචි බවය. එලෙස පොලිසිය එම වෙඩික්කරු ගැන ප්‍රසිද්ධ කිරීමත් සමඟ ගයාන් සුගතදාස ශ්‍රීපුර තරුණයා ඝාතනයෙන් මාස තුන හතරකට පසු පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ එම ඝාතනයට නොව අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඔහු වාද්දුව පොලිසියට කොටුවීමත් සමඟිනි.
ඒ අනුව මුතුමැණිකාගේ ඝාතනයත් සමඟ එතෙක් පොලිසියට සොයා ගැනීමට නොහැකිව තිබූ ඝාතන ත්‍රිත්වයකට යොදාගත් ටී56 ගිනිඅවිය ද අත්අඩංගුවට ගැනීමට හැකි විය.
වැලිඔය ප්‍රියන්ත අමිල මලවිසූරිය