Home » යාල කැලේ අක්කර දහසයක කංසා හේනට වෙච්ච දෙයක්

යාල කැලේ අක්කර දහසයක කංසා හේනට වෙච්ච දෙයක්

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

– කංසා පැළ ලක්ෂ දහයකුත් විනාශ කරයි
– වැටලීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන්

පසුගිය දින කීපයේදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් කීපයක්ම සිදු කරමින් මත්ද්‍රව්‍ය කිලෝ ගණනින් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී. මේ අතර ඉකුත් දා පොලිස් විශේෂ කාර්ය බළකාය මෑත කාලයේ සිදු කළ විශාලතම ගංජා හේන් ද වටලන ලද්දේ යාල වනෝද්‍යානය ඇතුළතදීය.

අධිආරක්ෂිත යාල රක්ෂිතයේ ස්වාභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට හානි ගෙන දෙමින් වගා කර තිබූ එම ගංජා හේන අක්කර 16කින් යුත් විශාල භූමි ප්‍රමාණයක පැතිරී තිබිණි.

විශේෂ කාර්ය බළකා බුත්තල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග සහ උපදෙස් පරිදි මොනරාගල කලාපය භාර පොලිස් අධිකාරි ගුණසිරිගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි අරුණ ප්‍රදීප් සම්පත්ගේ අධීක්ෂණයෙන් බුත්තල කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.සී. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විශේෂ කාර්ය බළකා පස්සර කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සමඟ එකාබද්ධව ගෝනගංආර පොලිස් වසමේ යාල අධිරක්ෂිතය තුළදී මේ වැටලීම සිදුකර තිබිණි.

එම වැටලීමේදී එස්ටීඑෆ් නිලධාරින් විසින් අක්කර 16ක කංසා වගාව විනාශ කරන ලද අතර තුවක්කුවක් සමඟ සැකකරුවන් දහතුන්දෙනකු අත්අඩංගුවට ගන්නා ලදි.

එම සැකකරුවන් අධිආරක්ෂිත යාල රක්ෂිතය තුළට අනවසරයෙන් ඇතුළු වී එහි ස්වාභාවික පරිසරයට සහ ජෛව විවිධත්වයට හානි කරමින් ස්ථාන කිහිපයකදී කැලෑව ගිනි තබා විනාශ කර අක්කර 16ක භූමි ප්‍රදේශයක වගා කර තිබූ කංසා පැළ ප්‍රමාණය ලක්ෂ දහයකට ආසන්න විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා බුත්තල, මාතර, ඌව කුඩාඔය, ඇතිලිවැව, සෙල්ලකතරගම සහ මිද්දෙණිය යන ප්‍රදේශයන්වල පදිංචි පුද්ගලයෝය. එම සැකකරුවන් අතර මෙරට නිෂ්පාදිත තුවක්කුවක් ද තිබිණි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා වැඩිදුර විමර්ශන සඳහා කංසා ගස් 100ක් සමඟ ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දීම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සිදු කරද්දී සෙසු කංසා ශාක සියල්ල ගිනි තබා එම ස්ථානයේදීම විනාශ කරන ලදි. මෙය පොලිස් විශේෂ කාර්ය බළකාය මෑතකදී වටලන ලද විශාලම කංසා හේන බවද සඳහන් කරයි.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division