ඉකුත් අට වැනි දින උදෑසන 9.00ට පමණ දංකොටුව පොලිස් ස්ථානයට ලැබුණු දුරකතන පණිවිඩයක සඳහන් වූයේ දංකොටුව නගරයේ වෙළෙඳසලකින් කිසියම් පිරිසක් විසින් භාණ්ඩ සොරකම් කර ඇති බවය. දංකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයාගෙන් මෙම ඇමතුම ලැබී තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරින් අදාළ ස්ථානයට පැමිණියේය. වෙළෙඳසල පිහිටියේ දංකොටුව පන්නල ප්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේය. එය රෙදි අලෙවිසලකි. එහි ඇති යකඩ දොර පැවතියේ පුද්ගලයෙකුට අසීරුවෙන් ඇතුළු වීමට හැකි වන ලෙස විවෘතවය. යකඩයක ආධාරයෙන් ඉබි යතුරු කඩා ඇතුළු වී ඇති බව සිදු කළ විමර්ශනවලින් තහවුරු විය. පොලිස් නිලධාරින් පරීක්ෂා කරන අතරතුර වෙළෙඳසලේ අයිතිකරුට තිබෙන අඩුපාඩු සොයා බලන ලෙසට උපදෙස් දුන්නේය. ඒ අතර ස්ථානාධිපතිවරයා සොකෝ නිලධාරින් ගෙන්වා ගැනීමට කටයුතු කළේය.
“සර්… සල්ලියි රත්තරන් බඩු වගයකුයි තමයි හොරකම් කරල තියෙන්නෙ… රෙදිවත් වෙන කිසිම දෙයක් අරන් නෑ…” අඩුපාඩු සොයා බැලූ වෙළෙඳසැලේ අයිතිකරු කීවේය. රුපියල් ලක්ෂ දාහතරක් වටිනා රන් ආභරණ සහ රුපියල් ලක්ෂ අටක මුදල් මෙසේ සොරකම් කර තිබිණි. ගෙල පලඳනා, කරාබු හා වළලු සොරාගත් රන් ආභරණ අතර විය.
“ඇයි මේ රත්තරන් ටික කඩේ තිබ්බෙ.” ස්ථානාධිපතිවරයා හිමිකරුගෙන් විමසුවේ එහි රෙදිපිළි පමණක් අලෙවියට තබා ඇති නිසාවෙන්ය. “සර්, දුවගේ මහත්තයා රට ඉන්නෙ එයා වැඩි ආරක්ෂාවට රත්තරන් බඩු මෙහෙ තියලා තිබ්බේ” හිමිකරු කීවේය.
අනතුරුව සොකෝ නිලධාරින්ගේ විමර්ශන කටයුතු සිදුවන අතරතුර තවත් පොලිස් කණ්ඩායම් කීපයකට නගරයේ සැක කටයුතු ස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධතිවල වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමට ස්ථානාධිපතිවරයා උපදෙස් දුන්නේය. මේ අතර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතරතුරදී දංකොටුව පොලිස් ස්ථානයට ආසන්නයේ ඇති වෙන්නප්පුව සහ කොස්වත්ත යන පොලිස් ස්ථානවල බුද්ධි අංශ නිලධාරින්ගේ සහාය ලබා ගැනීමටද ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
නිලධාරින් ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් දර්ශනවල සමීප රූප එකිනෙක ගෙන විමර්ශනය කරන අතරතුරදී එදින උදෑසන තුනයි පනස් අටට සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ සැක සහිත රූප රාමුවක් ගැන පොලිස් නිලධාරින්ගේ අවධානය යොමු විය.
සුපර් කබ් වර්ගයේ යතුරුපැදියකින් රතු පාට සරමක් සහ කහ පාට කමිසයක් ඇඳගත් පුද්ගලයෙක් ගමන් ගන්නා ආකාරය එම රූප රාමුවල සටහන්ව තිබුණි. තවදුරටත් ආරක්ෂිත කැමරා පද්ධතිවල රූප රාමු නිරීක්ෂණය කිරීමේදී ඔහු වෙන්නප්පුව පොලිස් වසමට අයත් සිරිගම්පළ ප්‍රදේශයට ගමන් කරමින් සිටින බව තහවුරු විය. වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව විවිධ සමාජ අපචාර හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයක් ලෙස සිරිගම්පොළ හැඳින්වේ. වෙන්නප්පුව පොලිසියේ බුද්ධි නිලධාරින් දෙදෙනාගේ දැඩි අවධානය මේ ගැන යොමු කිරීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා හඳුනා ගැනිණි.
ඒ අනුව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.අයි.ආර්.එන් පෙරේරාගේ උපදෙස් මත වෙන්නප්පුව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශගේ අධීක්ෂණයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපති ශිරාන් පෙරේරාගේ මෙහෙයවීමෙන් හඳුනා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය.
වෙන්නප්පුව පොලිසියේ බුද්ධි නිලධාරින් දෙදෙනා යතුරුපැදියකින් සැකකරුගේ නිවසට ගමන් කිරීමට කටයුතු කරන අතරතුර සෙසු නිලධාරින් ඒ අවට රැකවල් යොදා සිටියේය. ඔහුගේ නිවස වෙත ළඟා වන විට එදින වෙලාව සවස තුනයි තිහ පමණ විය. බුද්ධි නිලධාරින් දෙදෙනා නිවසට ඇතුළුවී මේදී තැති ගැනීමේ ස්වරූපයෙන් ඔහු ඉදිරියට පැමිණ “ඇයි සර්…?” යනුවෙන් විමසූවේය. “තමුන් කළ වරද දන්නවනේ… හංගන්නෙ නැතුව කියන්න…” යැයි නිලධාරින් දෙදෙනා කියනවාත් සමඟම “මොකක්ද සර් මං කරපු වැරද්ද…?” යැයි ඔහු කිසිවක් නොදන්නා සේ කීවේය. ඒ සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රැකවල් යොදා සිටි නිලධාරින් එම නිවසට පැමිණ සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු නිරුත්තර විය. සියලු දේ කියනවා හැරෙන්නට අන් කිසිවක් කළ නොහැකි බව වටහා ගත් සැකකරු එකවරම නිවසේ මුළුතැන්ගෙට ගොස් සඟවා තිබූ රන් ආභරණ සහ මුදල් පොලිස් නිලධාරින් වෙත භාර දෙමින් කියා සිටියේ ඉන් තමන්ට රුපියල් පහළොස් දාහක් වියදම් වූ බවයි. සොරාගත් සියලු රන් ආභරණ සහ ඉතිරි මුදල් පොලිස් නිලධාරින්ට භාර දීමට ඔහු කටයුතු කළේය.
වයස අවුරුදු 40ක් වූ සැකකරු සිවුදරු පියෙකි. ඔහු මත්කුඩුවලට තදින් ඇබ්බැහි වූ අයෙක් වන අතර, නිවාසවලින් සොරකම් කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වසර දෙකක් පමණ සිරගතව සිටි අයෙකි. ආරක්ෂිත කැමරා පද්ධති නිරීක්ෂණය කරමින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු පැය හයක් ගතවීමට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දංකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අසේල ද සිල්වා නියෝග කළේය.
අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මසිරි, පොලිස් සැරයන් 34493 සමන්ත, කොස්තාපල්වරුන් වන 999339 හපුආරච්චි, 100543 ඉඳුනිල්, 108853 පැතුම් යන නිලධාරින් මෙම මෙහෙයුමට සහයෝගය දැක්වූහ.
මිහිර විජේසේකර – මාරවිල සමූහ