Home » පෙම්වතියගේ ස්කූටියෙන් ගිහින් පෙම්වතා ගහපු ගේම්

පෙම්වතියගේ ස්කූටියෙන් ගිහින් පෙම්වතා ගහපු ගේම්

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

– රන්මාල කොල්ලකෑ ක්‍රිකට් ක්‍රීඩකයා අත්අඩංගුවට
– කොල්ලකෑ රන් මාලයක් රු. 7,000කට විකුණලා
– මෝටර් බයිසිකලයේ ඉඳන්ම මාල කඩන්න පුළුවන්ලු

අපරාධකාරයාට තැනක් නොතැනක්, අම්මා, තාත්තා, දරුවා, පෙම්වතිය, ඥාතියා කියා විශේෂත්වයක් නැත. අපරාධකාරයාගේ සිරිත කෙසේ හෝ අපරාධ සිදුකර මුදල් සොයා ගැනීමයි. එලෙස කටයුතු කරන 99%ක් අපරාධකාරයන් කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූවෝ වෙති.

තමන්ගේ අම්මා, තාත්තා, බිරිය, දරුවා සහ ඥාතියාට අයත් වටිනා භාණ්ඩ සොරකම් කිරීමට නොපසුබට වන මත්ලෝලී අපරාධකාරයා ඒවා විකුණා මුදල් ලබාගන්නේ මත්ද්‍රව්‍ය පානය සඳහාය. තමන්ගේම අම්මාට, තාත්තාට, බිරිය, පෙම්වතිය සහ ඥාතියාට පහරදී මුදල් කොල්ලකන එසේම තමන්ගේ සමීපතමයින් පවා මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඝාතනය කරන අපරාධකරුවන් ගැන අසා නැති කෙනෙක් නම් සිටින්නට නොහැකිය.

තමන්ගේ බිරිය, දියණිය පවා සලෙළුන්ට ‘උකස්කර’ ඒ සඳහා මුදල් ලබාගන්නා තිරිසනුන්ටත් අන්ත මත්ලෝලී අපරාධකරුවන් ගැන පුවත් පසුගිය කාලයේදී අසන්නට ලැබිණි. තමන්ගේම බිරියගේ, දියණියගේ, පෙම්වතියගේ, අම්මා තාත්තාගේ, ඥාතීන්ගේ බඩුබාහිරාදිය සොරකම් කර අලෙවිකර ඒ මුදල්වලින් කුඩු ගහන අපරාධකාරයන් ගැනද තොරතුරු වාර්තා වී තිබුණි.

තමන්ගේ ආදරණීය පෙම්වතිය රවටා ඇයට අයත් ස්කූටි මෝටර් බයිසිකලයෙන් යන ගමන් මහමඟ ගමන් කරන විශේෂයෙන් කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා පලායන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමකට පසුගියදා හැකිවිය. මෙහි සුවිශේෂීම කතාව වන්නේ එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වීමය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම්වල සිදුවන අපරාධ අතර කැපී පෙනෙන්නට වූ අපරාධය වූයේ මහමඟ ගමන් ගන්නා කතුන්ගේ ගෙල බැඳි රන්මාල කඩාගෙන පලායන සංවිධානාත්මක පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වයයි. මේ ගැන සුවිශේෂී අවධානය යොමුකරන ලද පොලිස් ස්ථානාධිපතිවරු අපරාධ වැළැක්වීමේ රාජකාරිවලදී සැක කටයතු පුද්ගලයින් සහ මෝටර් බයිසිකල්වල නැඟී සැක කටයුතු ලෙස ගැවසෙන අය සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්නට වූයේ අපරාධ අවම කිරීම සඳහාය.

යම් සැක කටයුතු පුද්ගලයකු නිරීක්ෂණය වුවොත් ඔහු පරික්ෂා කර ඔහුගේ අනන්‍යතාව සොයා බැලීම සහ ඔහුගේ වතගොත විමසීමට ද මේ අනුව පොලිස් නිලධරයෝ කටයුතු කළහ.

ඒ අනුව බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්හන අංශයේ නිලධාරින් කණ්ඩායමක් කොහුවල ගම් සභා පාර අසල සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ ඔහුගේ හැසිරීම පිළිබඳව බොහෝ වේලාවක් තිස්සේ සිදුකරන ලද නිරීක්ෂණයෙන් අනතුරුවය.

එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන පුද්ගලයා පරික්ෂා කරද්දී පොලිස් නිලධරයන් සොයා ගත්තේ ඔහු සතුව තිබූ රුපියල් 71,000ක මුදලකි. ඒ අනුව පොලිසියේ සැකය තවත් වැඩිවූ අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී හෙළිවන්නේ ඔහු මෝටර් බයිසිකලයෙන් ගමන් කරමින් මහමඟ යන කතුන්ගේ රන්මාල කොල්ලකන පුද්ගලයකු බවය. මේ පුද්ගලයා සිදුකළ රන්මාල කොල්ලකෑම් කිහිපයකම තොරතුරු පොලිසිය හෙළිකර ගන්නේ ඉන් අනතුරුවය.

බොරලැස්ගමුව පොලිස් වසමේ වජිරඥාන මාවතේදී සහ කොට්ටාව පොලිස් වසමේදී මේ සැකකරු සිදුකළ රන්මාල කොල්ලකෑම් තුනක තොරතුරු හෙළිකර ගැනීමට පොලිස් නිලධරයන්ට හැකිවිය.

එලෙස කොල්ලකන ලද රන්මාල මේ සැකකරු විසින් උකස් කර තිබූ අතර එම උකස් කිරීමෙන් අනතුරුව ලබා දෙන රිසිට්පත් සැකකරු විසින්ම විනාශ කර දමන බවද හෙළිකර ගැනීමට නිලධරයන්ට හැකි විය. සැකකරු අත්අඩංගුවට ගනිද්දි ඔහු සතුව තිබුන රුපියල් 71,000 ද රන්මාලයක් උකස් කර ලබාගත් බවට අනාවරණය විය.

එලෙස කොල්ලකෑ රන් ආභරණ උකස් කළ උකස්හල් කිහිපයක තොරතුරු සැකකරු පොලිසියට හෙළිකර ඇත. අධිකරණයට කරුණු වාර්තා කර එම රන් ආභරණ අදාළ උකස්හල්වලින් ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබිණි.

මෙලෙස අල්ලා ගන්නා ලද සැකකරු විශේෂයෙන් ඉලක්කකර තිබුණේ රන් ආභරණ පැලඳ මහමඟ ගමන් කරන වයෝවෘද්ධ කාන්තාවන්ය. මෝටර් බයිසිකලයේ යන ගමන්ම එම කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ හැකියාවක් සැකකරුට තිබී ඇත.

බොරලැස්ගමුව වජිරඥාන මාවතේ ගමන් කරමින් සිටි කතකගේ ගෙල බැඳි රන් මාලයක් මෝටර් බයිසිකලයේ යන ගමන්ම මේ පුද්ගලයා විසින් කොල්ලකන ආකාරය පිළිබඳ සීසීටීවී කැමරා දර්ශන ද පොලිසිය සොයාගෙන තිබිණි.

පොලිස් නිලධරයන් ඉන් අනතුරුව සිදු කරන්නේ සැකකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද ස්කූටි මෝටර් බයිසිකලය ද සොරකම් කරන ලද එකක්දැයි සොයා බැලීමයි. එහි ලිපි ලේඛනවලට අනුව පොලිසිය සොයා ගන්නේ එය හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ යුවතියකට අයත් එකක් බවය. එහිදී හෙළිවන්නේ එම යුවතිය මේ සැකකරුගේ පෙම්වතිය බවයි. පෙම්වතිය ද මුළා කරමින් ඇගේ ස්කූටිය ඉල්ලාගෙන සැකකරු මේ රන්මාල කොල්ලකෑමේ අපරාධ චාරිකාව සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාර පුද්ගලයාගේ පැටිකිරිය ගැන සොයා බලද්දී හෙළිවී ඇත්තේ ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවය. අන්තර් සමාජ ක්‍රීඩා තරග රැසකට මේ පුද්ගලයා සහභාගි වී ඇති බවද අනාවරණය වී ඇත. මේ සැකකරු නුගේගොඩ ගංගොඩවිල උද්‍යාන මාවතේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්නගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය, උප පොලිස් පරීක්ෂක අසංක, සැරයන්වරුන් වන (67941) ගුණතිලක, (68832) අමරසිංහ, කොස්තාපල්වරුන් වන (94121) ඒකනායක, (103224) ගුණසේකර, (51857) විපුල, (79563) රූපසිංහ, කාන්තා කොස්තාපල් (12457) දිල්හාරා යන නිලධාරින් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division