ගම්මිරිස් වගා බිමකට අනවසරයෙන් ඇද තිබුණු විදුලි රැහැනක ගැටී පුද්ගලයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කළේ පසුගියදාය. මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොළ, වත්තහේන, අඟුරුමුල්ල ප්‍රදේශයේ පදිංචි අමුහේනේ ගෙදර වීරක්කොඩි ගුණසේකර නමැති එක්දරු පියෙකි. මේ සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීහු කම්පාවට පත් වූයේ එවැනි සිදුවීමක් මතක ඇති කාලයක එම ගම් ප්‍රදේශයෙන් සිදු වී නොමැති නිසාය.
ඇද හැළෙන දැඩි වර්ෂාවද නොතකා මොහු රාත්‍රී කාලයේදී අයිතිකරුට හොරෙන් වත්තහේන ප්‍රදේශයේම තිබූ මේ ඉඩමට ඇතුළුව ගම්මිරිස් කඩමින් සිටියදී අයිතිකරු විසින් දමා තිබූ විදුලි රැහැනට පැටලී ඇති බව පොලිසිය පවසයි. එහි ගිය ගම්පොළ මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් ඒ ගැන විමර්ශනයක් ද සිදු කළේය. ගම්පොළ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධරයන්ද එහි පැමිණ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන ලදි.
මෙම දිනවල ගම්මිරිස් මිල ඉහළ යාම සමඟ සතුන්ගෙන් සහ සොරුන්ගෙන් එම වතු ආරක්ෂා කර ගැනීම සඳහා හිමිකරුවන් විසින් විවිධ ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පෙලඹී සිටී. අදාළ වතුහිමියා ද විදුලි රැහැන් ඒ අනුව ඇද ඇත්තේ අනවසරයෙනි. ඒ මෙම වතුහිමියා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැනකින් අනවසරයෙන් විදුලිය ගෙන මෙම ගම්මිරිස් වගාවට යොදා ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව වතු හිමියාගෙන් දීර්ඝව ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන ඇත.
වතුහිමියා විදුලි රැහැනේ පැටළි සිටි පුද්ගලයා දැක ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත්තේ වෙනත් බාහිර අයකු එම සිද්ධිය දන්වන ආකාරයටය. ඒ පිළිබඳව ද පොලිසිය අවධානය යොමුකර සැකකරුගෙන් ප්‍රශ්න කර තිබේ. නමුත් මොහුගේ අංකය හඳුනා ගැනීමත් සමඟ ඒ බව ඔහු පොලිසිය ඉදිරියේ පිළිගෙන ඇත. සැකකරු අදාළ ඇමතුම ගත් දුරකතනය ද පොලිසිය සොයා ගත්තේය.
විදුලි සැර වැදී මෙම පුද්ගලයා මියගිය බව දැනගත් ඔහුගේ හිතවතුන් සහ ඥාතීන් වතු හිමියාගේ නිවසට හා දේපළවලට පහර දී බරපතළ අලාභ හානි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත. ඊට සම්බන්ධ පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න විදුලි සර වැදී මියගිය පුද්ගලයාගේ සිරුර ගම්පොළ රෝහල වෙත රැගෙන ගොස් පරීක්ෂණ සිදු කරන ලෙස පොලිසියට නියෝග කරනු ලැබීය.
ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දුගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.හේරත්, සැරයන්වරුන් වන (82711) රුචිර ශ්‍රී, (3787) විජේරත්න, (45180) රාජපක්ෂ යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කළහ.
ගම්පොළ - සුරංග දිල්හාන්