Home » බණ්ඩාරවෙල කුලී ගෙදරක හිටපු සෙබළා කරපු ‘රස්සාව’

බණ්ඩාරවෙල කුලී ගෙදරක හිටපු සෙබළා කරපු ‘රස්සාව’

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment
සී. ගමගේ - සොරණාතොට සමුහ

– වට්ස්ඇප් මඟින් ගෙන්වන හෙරොයින් වටේටම බෙදලා
– පොලීසිය ගෙට එනකොටත් සැකකරු ‘රස්සාවේ’
– පැකට් 320ක් සමඟ අතටම අල්ලා ගන්නේ බණ්ඩාරවෙල ඩී.සී.ඩී.බී. යෙන්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරම් ආරක්ෂක අංශවලට හසුනොවී කරගෙන යාමට දැන්, දැන් නොයෙකුත් ක්‍රමවිධි සහ උපායන් භාවිත කරති.

එසේ ආරක්ෂක අංශවල දෙනෙතට වැලි ගසමින් වට්ස්ඇප් මාර්ගයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ආබාධිත හිටපු හමුදා සෙබළකු සෙලෝටේප්වලින් ඔතා ඉතා සූක්්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය විකුණමින් සිටියදී රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 320ක් සමඟ නොබෝදා බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූයේ බණ්ඩාරවෙල නගරයේ පෙරේරා මාවතේ කුලී නිවසකදීය.

වැලිමඩ අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මේ සැකකරු අවුරුදු 10ක පුතෙකු සහ අවුරුදු 6ක දියණියක සිටින පියෙකි.

ඔහු කලක් යුද හමුදාවේ සේවය කර පාදයට වැදුණු වෙඩි පහරක් නිසා ආබාධිත වී පසුව විශ්‍රාම ගොස් සිටින අයෙකි.

බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලකට සිය දරුවා ඇතුළත් කිරීමේ අරමුණින් ඔහු සිය දරු දෙදෙනා සහ බිරිය සමඟ බණ්ඩාරවෙල නගරයේ පෙරේරා මාවතේ කුලියට ගත් නිවෙසකට පැමිණෙන්නේ මීට අවුරුදු එකහමාරකට ඉහතදීය.

එසේ බණ්ඩාරවෙලට පැමිණීමට මත්තෙන් මොහු සිය මිතුරෙකු මාර්ගයෙන් ඔහු සමඟ එක්වී ඊසි කෑෂ් ක්‍රමයට වට්ස්ඇප් මාර්ගයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක ඉතා රහසිගතව නිරතව සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මිතුරා මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට හසුවීමත් සමඟ එම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන යාමේ සම්පූර්ණ වගකීම, මෙම ආබාධිත සෙබළා මතට පැවරී ඇත්තේ ඉන් අනතුරුවය.

ඔහු ඉතාමත් රහසිගතව කිසිවකුටත් දැනගැනිමට නොහැකි පරිදි මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සාර්ථක ලෙස සිදු කරගෙන ගොස් ඇති අතර ඒ නිසාම අතමිටට යහමින් මුදල් ද ගැවසී ඇත.

මේ අතරතුරේ සිය දෙවන දරුවා බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් කර ගැනීමේ අරමුණින් ඔහු බිරිය සහ දරු දෙදෙනා කැටිව බණ්ඩාරවෙල නගරයේ පෙරේරා මාවතේ කුලී පදනමට ගත් නිවෙසකට පැමිණ තිබිණි.

බණ්ඩාරවෙල නගරය ඉතා ජනාකීර්ණ බැවින් රටේ සතර දිග්භාගයෙන් විවිධ අය මෙම නගරයට පැමිණෙන හෙයින් හිටපු සෙබළාට මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යාමට එය තවත් රුකුලක් වී තිබිණි.

කොළඹ ප්‍රදේශයේ ගැනුම්කරුවෙකු මාර්ගයෙන් හිටපු සෙබළාට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබී ඇත්තේ වට්ස්සැප් පණිවුඩ හරහාය.

විදේශ රටක සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙහෙයවූ බව කියන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා රහසිගතව මේ සෙබළා විසින් සිදු කරගෙන ගොස් ඇති අතර ඔහු අතට ද යහමින් මුදල් ලැබී ඇත්තේ ඒ නිසාය.

ගැනුම්කරුගේ වට්ස්ඇප් පණිවුඩ ජායාරූප ඔස්සේ බණ්ඩාරවෙල නගරයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා මොහු එම හෙරොයින් බණ්ඩාරවෙල කුලී නිවෙසට රැගෙන ගොස් කුඩා කඩදාසි කොළවලට දමා සෙලෝටේප්වලින් හොඳහැටි ඔතා කුඩා ඉටිකවර තුළ බහා පැකට් කර ඇති බව හෙළිවී ඇත.

අනතුරුව ලැබෙන වට්ස්ඇප් පණිවුඩ අනුව මොහු එම හෙරොයින් මත්ද්‍රව්‍ය නගරයේ විවිධ ස්ථානවල රහසිගතව සඟවා තබා එම ස්ථාන ඡායාරූප ගත කර ඒවා ගැනුම්කරුට වට්ස්ඇප් මඟින් යවමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත් රහසිගතව කලක් පුරා කරගෙන ගොස් තිබේ.

මෙම කුඩා හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 7000ක මුදලකට විකුණා ඇති අතර එසේ විකුණන මත්ද්‍රව්‍ය පැකට්ටුවකින් මොහුට රු.200ක කොමිස් මුදලක් ලැබී තිබේ.

මෙලෙස කාලයක් පුරා ඉතා රහසිගතව සිදුකර ගෙන ගිය මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තොරතුරක් බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහනට ලැබෙන්නේ මේ අතරතුරේය.

සිය විශ්වාසදායක ආරංචිකරුවෙකු මඟින් ලැබුණු එම තොරතුර අනුව වහා ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත හේරත් ඇතුළු නිලධාරීන් කැඳවමින් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නේ වැටලීම ඉතා සාර්ථකව සිදුකරන ලෙසය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහනගේ සහ බණ්ඩාරවෙල අපරාධ සහ සම්බන්ධීකරණ කටයුතු භාර සහකාර පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දුගේ උපදෙස් මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ පොලිස් පරික්ෂක අශෝක ප්‍රියන්ත හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායම බණ්ඩාරවෙල පොලිසිය ආසන්නයේ පිහිටි මෙම නිවෙස වටලන්නේ අනතුරුවය.

ඒ වනවිටත් සැකකාර හිටපු ආබාධිත සෙබළා නිවසේ කාමරයකට වී නිදහසේ හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩා පැකට්වලට අසුරමින් පැකට් කරමින් සිටි අතර පොලිස් නිලධාරීන් දුටු විගස ඔහු තුෂ්නිම්භූත වී ඇත.

පොලිස් නිලධාරියකු වහා සැකකරුට අත්විලංගු දැමූ අතර, ඒ වනවිටත් කාමරයේ තිබූ සෙලෝටේප්වල ඔතා ඉතා සූක්ෂ්ම ලෙස විකිණීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 320ක් අත්අඩංගුවට ගැනිණි.

“අනේ සර් මාව අත්හරින්න. මම ආබාධිත සෙබළෙක්. මගෙ විශ්‍රාම වැටුපෙන් මට මගේ පවුල නඩත්තු කරන්න බෑ. බැංකු ණය ගෙව්වාම පඩිය ඉතිරි වෙන්නේ නෑ. අනේ බුදු සර් මාව අත්හරින්න.” යැයි සැකකරු පොලිස් නිලධාරින් හමුවේ බැගෑපත් වෙමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් ඒ වනවිටත් සැකකරු සමඟ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන හමාරය.

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානය ආසන්නයේ පොලීසිය පෙනි පෙනී කාලයක් මුළුල්ලේ හොර රහසේ සිදුකරගෙන ගිය මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය කොටුකර ගනු ලැබූයේ එලෙසිනි.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහනගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (අපරාධ සහ සම්බන්ධීකරණ) රුවන් ප්‍රනාන්දුගේ අධික්ෂණයෙන් බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අශෝක ප්‍රියන්ත හේරත්, උපපොලිස් පරික්ෂක දිසානායක, සැරයන්වරුන් වන (71832) ජානක, (89074) බණ්ඩාර (102782) තුරාන්ත්, (105307) කෞශල්‍ය, (82888) බණ්ඩාර යන නිලධාරීන් බණ්ඩාරවෙල විශේෂ කාර්‍යාංශයේ සහාය මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය පරික්ෂා කරන පොලිස් නිලධාරීන් කණ්ඩායම

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය පරික්ෂා කරන පොලිස් නිලධාරීන් කණ්ඩායම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division