– උඩරට දුම්රියේ ගිය විදේශීය කතකට පොල්ලෙන් ගසා ජංගම දුරකතනය පැහැරගෙන
– දුම්රිය සේවකයා දුන් ඔත්තුවෙන් සැකකරු අල්ලන්නේ වටවල පොලිසියෙන්
විදේශවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් රටේ ආර්ථිකය සඳහා ලබා දෙන්නේ ඉතා විශාල දායකත්වයකි. සංචාරක ගමනාන්තයක් සඳහා මෙරට ඉතාම සුදුසු බවද ලොව පුරා ප්‍රචලිතව හමාරය. විදේශීය සංචාරකයන් මෙහි එන්නේම ශ්‍රී ලාංකිකයන්ගේ සුහදත්වය සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ඉතාම හොඳින් දන්නා නිසාය.
ජාතික ආර්ථිකයට ඉතා විශාල පිටුවහලක් ලබා දෙන සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මොහොතක මෙරටට පැමිණෙන සංචාරකයන්ට හිරිහැර හිංසා පීඩා සිදු කරන ඔවුන් සතු මිල මුදල් සොරකම් කරගෙන පැහැර ගන්නා සහ පහරදෙන ඉතා අතළොස්සක් නිසා සංචාරක ව්‍යාපාරයට කළු පැල්ලමක් ඇතිවීම වැළැක්වීම බලධරයන්ගේ යුතුකමකි.
විශේෂයෙන් මෙරට අසිරිය නරඹමින් රට පුරා සංචාරය කරන විදෙස් සංචාරකයන් සතු මිල මුදල් ජංගම දුරකතන පැහැර ගැනීම සහ ඔවුන්ට පහර මේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා විය. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියවලින් කොළඹ පේරාදෙණිය හෝ මහනුවර සිට නානුඔය ඇල්ල බදුල්ල දක්වා ගමන් කිරීමට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් දක්වන්නේ ලොකු උනන්දුවකි. ඒ උඩරට දුම්රිය මාර්ගයේ ඇති අතිශය සුන්දරත්වය නිසාමය. එසේ අසිරිය නරඹමින් දුම්රියෙන් ගමන් කරන විදේශීය සංචාරකයන්ට පහර දී ඔවුන් සතු ජංගම දුරකතන සහ වටිනා දෑ පැහැර ගැනීමේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල කෙරුවාව ගැන පසුගියදා පුවත් කිහිපයක්ම වාර්තා වී තිබිණි.
දුම්රිය පා පුවරුවේ ගමන් කරමින් සිය ජංගම දුරකතනවලින් උඩරට දුම්රිය ගමනේ අසිරිය වීඩියෝ කරමින් යන විදේශිකයන්ට පොලුවලින් පහර දෙමින් ඔවුන් සතු ජංගම දුරකතන කොල්ලකෑමේ නිරතව සිටින කල්ලියක් ගැන පොලිසිය තොරතුරු හෙළිදරව් කරගන්නේ පසුගියදාය.
වටවල පොලිසිය මේ සිද්ධිය පිළිබඳව මුල සිටම විමර්ශනයක නිරත වූ අතර එහිදී හෙළිවන්නේ මෙවැනි කතාවකි. ඇල්ෆා මාරියා ස්පාඤ්ඤ ජාතික කාන්තාවකි. ඇගේ වයස අවුරුදු 36කි. ඇය මෙරට සංචාරයකට පැමිණෙන්නේ මෙරට සුන්දරත්වය විඳීම සඳහාය.
උඩරට පළාතේ ඇල්ල ප්‍රදේශයේ මේ වන විට සංචාරක ආකර්ෂණය බහුලව ඇති ප්‍රදේශයකි. දිනපතා ඇල්ලට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණයද සංඛ්‍යාවෙන් වැඩිය. බොහෝ දෙනෙක් ඇල්ලට පැමිණෙන්නේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියවලිනි. උඩරට කඳුකරයේ සුන්දරත්වය නරඹමින් සුන්දර දසුන් සිය වීඩියෝ කැමරා සහ ජංගම දුරකතනවලින් වීඩියෝගත කරන අතරේ සංචාරකයන් ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස සිය නවාතැන් පොළට යෑම සාමාන්‍ය සිද්ධියකි.
ඇල්ෆා මාරියාද පසුගිය දිනෙක කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වන දුම්රියකට ගොඩවන්නේ ඇල්ලට යාම සඳහාය. එදින රාත්‍රිය ඇය ගත කිරීමට තෝරාගෙන තිබුණේ ඇල්ල ප්‍රදේශයේ නවාතැන් පොළකි.
මෙසේ දුම්රියෙන් යන ඇය වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අසලදී ගමන් කළ මැදිරියේ දොරටුව අසලට පැමිණ ජංගම දුරකතනයෙන් දුම්රිය ගමන සහ අවට අසිරිය වීඩියෝ ගත කළාය. එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් මාරියා දෙසට පොලු පහරක් එල්ල කළේ අනපේක්ෂිතවය. මේ සිද්ධියෙන් ඇය බොහෝ තැති ගත්තාය. පොලු පහර වැදුණේ ඇගේ එක් අතකටය. ඒ ක්ෂණයකින් ඇගේ අතේ තිබුණ ජංගම දුරකතනය අතින් ගිලිහී බිම වැටිණි. එය මෙරට මුදලින් රුපියල් පන්ලක්ෂයක් පමණ වටිනා එකකි.
පොලු පහරට ලක්වීමෙන් මාරියාගේ හිසට ද තුවාල සිදුවිය. සිද්ධියෙන් කම්පාවට පත් මාරියා තම ගමනාන්තය වන ඇල්ල දක්වා ගමන් කළාය. දුම්රියෙන් බැස්ස ඇය මේ ගැන ඇල්ල සංචාරක පොලිසියට පැමිණිලි කළාය.
එහෙත් මාරියා මේ ගැන ඇල්ල සංචාරක පොලිසියට පැමිණිල්ලක් කිරීමට පළමුව මේ සිද්ධිය මුල සිට බලා සිටි පුද්ගලයකු ඒ ගැන ඒ සැණින් හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දුට දැනුම් දී තිබිණි. ඒ තැනැත්තා ඒ අවස්ථාවේ දුම්රිය මාර්ග සංචාරක මුරකරුවකු ලෙස සේවය කළ පුද්ගලයා හැටන් දුම්රිය ස්ථානාධිපති ජනක ප්‍රනාන්දු මේ ගැන වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ දැනුම්වත් කළේ ක්ෂණිකවය.
හැටන් දුම්රිය ස්ථානාධිපතිගේ දැනුම් දීම අනුව ක්‍රියාත්මක වූ වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ නිලධාරීන් කණ්ඩායමක් කැටුව යන්නේ සංචාරක මුරකරු හැටන් දුම්රිය ස්ථානාධිපතිට දැනුම් දුන් ස්ථානය වෙතය. එහෙත් ඒ වනවිටත් මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ පලාගොස් තිබිණි.
එහෙත් උත්සාහය අත් නොහළ වටවල පොලිස් ස්ථානාධිපතිවරයා එදින රාත්‍රී සෝදිසි මෙහෙයුමක් සිදු කළේ පොලිස් කණ්ඩායමක් යොදවාය. එහිදී මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙක් නිරීක්ෂණය කරන ලද අතර ඔවුන් නවතා ප්‍රශ්න කරද්දී එක් පුද්ගලයකු සන්තකයේ තිබී ඉතා නවීන ජංගම දුරකතනයක් හමු විය. ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධරයන් හෙළි කරන්නේ එම ජංගම දුරකතනය ස්පාඤ්ඤ තරුණියට පොල්ලකින් පහරදී කොල්ල කෑ ජංගම දුරකතනය බවය.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මේ ජංගම දුරකතන කොල්ලයේ සියලු තොරතුරු හෙළි විය. වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මේ ගැන ඇල්ල පොලිසියට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.
ඇල්ල සංචාරක පොලිසියේ නිලධරයෝ මේ ගැන ස්පාඤ්ඤ ජාතික ඇල්ෆා මාරියා දැනුම්වත් කිරීමෙන් අනතුරුව පසුදින වටවල පොලිසියට පැමිණි ඇය සිය ජංගම දුරකතනය ලබා ගත්තාය.
තම ජංගම දුරකතනය සොයා ගැනීමේ විමර්ශනයට දායක වූ සියලුම පොලිස් නිලධාරීන්ට තුති පුද කළ ඇය තම රටේ පොලිස් නිලධාරීන්වත් සිද්ධියකට මෙතරම් ඉක්මනට ක්‍රියාත්මක නොවන බවද සඳහන් කිරීම සුවිශේෂීය. ඉන් අනතුරුව ඇය උඩවලව ප්‍රදේශයේ සංචාරය සඳහා පිටත්ව ගියාය.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක චන්දන ගමගේ වටවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම අනුව උප පොලිස් පරීක්ෂක චමිල, සැරයන්වරුන් වන (71112) හේරත්, (6605) නන්දසිරි, කොස්තාපල්වරුන් වන (74247) සම්පත්, (100815) දිනේෂ්, (1003208) ඉසිඳු, කාන්තා කොස්තාපල් (10814) කාවින්දි යන නිලධාරීන් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
දීපාල් සමරසේකර