– සොරකම් කළ කුරුඳු තොගයක් සොයා ගනී
– තෙබුවන බටගොඩ ව්‍යාපාරිකයකු අන්දා රු.ලක්ෂ 3ක කුරුඳුවලට විදලා
– විමර්ශන තෙබුවන පොලීසියෙන්
කළුතර බටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන අසංක අක්කර තුනක පමණ වන කුරුඳු ඉඩමක හිමිකරුවෙකි. මෙම කුරුඳු ඉඩම පිහිටා තිබුණේ මහදුරුපිටිය ප්‍රදේශයේය. හොඳින් සරුවට වැවී තිබූ කුරුඳු වගාවේ අස්වැන්න නෙළන කාලය ළංවී තිබිණි. ඒ සඳහා පළපුරුදු දක්ෂ කුරුඳු තළන පුද්ගලයින් කිහිප දෙනෙකු සොයා ගැනීමට ව්‍යාපාරිකයාට අවශ්‍ය වී තිබිණි. ඔහු මුහුණුපොත සිසාරා විපරම් කර බැලීමේදී දුටුවේ කුරුඳු තැළීම සඳහා පුද්ගලයන් ඉල්ලුම් කර තිබූ දැන්වීමකි. එහි තිබූ දුරකතන අංක අනුව කතා කර පුද්ගලයින් තිදෙනෙකු ඒ සඳහා ගෙන්වා ගැනීමට ව්‍යාපාරිකයාට හැකි විය. ඔවුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවුවත් ඔවුන් පිළිබඳ පැහැදිලි අනන්‍යතාවක් ප්‍රකාශ කර ගැනීමට ව්‍යාපාරිකයා අපොහොසත් විය. එහෙත් ඔහු මෙම පුද්ගලයින් විශ්වාස කර තම කුරුඳු වගාවේ අස්වැන්න නෙළීමේ කටයුතු ඔවුන්ට භාර කරන්නේ අනතුරුවය.
ව්‍යාපාරිකයාට අයත් මහදුරුපිටිය ප්‍රදේශයේම තිබූ තවත් ඉඩමක වසා දමා තිබූ නිවෙසක් තිබිණි. දුර බැහැර සිට පැමිණි ‘ආගන්තුක කුලීකරුවන්ට’ එම නිවෙසේ නවාතැන් පහසුකම් සැපයීමට ද ව්‍යාපාරිකයා පසුබට නොවීය. රුපියල් තිස් දාහක් පමණ වැය කර මාසයකට පමණ සෑහෙන වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ඔවුනට සැපයීමට ද ඔහු කටයුතු කළේ මෙම පුද්ගලයින්ට අත්තිකාරම් වශයෙන් රුපියල් තිස් දාහක මුදලක් ද අතට ලබාදීමෙනි. එම නිවෙසේ සිට කුරුඳු ඉඩමට ඇත්තේ කිලෝමීටර් 1/2 ක් පමණ දුරකි.
මෙම තිදෙනා එහි නතරව ඉඩමේ කුරුඳු කපා මෙම නිවෙසට රැගෙන විත් තළා වේළීම ආරම්භ කළේ ව්‍යාපාරිකයාගේ විශ්වාසය ද දිනා ගනිමිනි. ගත වූයේ දින හතරක පහක කාලයකි. ව්‍යාපාරිකයා පැමිණි විට දුටුවේ කපාගෙනවිත් තිබූ කුරුඳු තොගය මෙන්ම මෙම පුද්ගලයින් ද නිවෙසේ නොමැති බවය.
තෙබුවන පොලීසියට පැමිණි ව්‍යාපාරිකයා මේ පිළිබඳ පැමිණිලි කිරීමට කටයුතු කළේ තමන්ට ලක්ෂ තුනක පමණ අලාභයක් සිදු වී ඇති බව පවසමිනි.
පොලීසිය විමර්ශන ආරම්භ කළේ ඒ අනුවය. ‘උපාය දූතයෙකු’ යොදවා කුරුඳු තැළීමට කෙනෙකු සොයන බවට අවස්ථා කිහිපයකදී මුහුණුපොතේ දැන්වීම් පළකළත් මේ සොරුන් ඒ බව දැනගෙන ඊට හසුවූයේ නැත. එහෙත් පසුව පොලීසියට තොරතුරක් ලැබෙන්නේ රත්ගම ප්‍රදේශයේ මෙම පුද්ගලයින් සිටින බවටය. තිදෙනාම අත්අඩංගුවට පත්වන්නේ ඒ අයුරින්.
මෙහි ප්‍රධානියා බටපොළ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. අනෙක් දෙදෙනා අවුරුදු 24 හා 25 වයස්වල පසුවෙන අය වේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මහනුවර හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු විවාහකයෙකි.
අනෙක් පුද්ගලයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ ඥාතියෙකු බටපොළ ප්‍රදේශයේ සිටින බැවින් ඔහු නිතර එම නිවෙසට පැමිණීම සිදුකර තිබේ. මේ අනුව මෙම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධ කරගෙන ප්‍රධානියා විසින් මෙම ජාවාරම සිදු කර තිබේ.
ඔවුන් විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් භාගයක් හිමිකරුට ලබාදෙන පොරොන්දුව මත කුරුඳු ඉඩම් ලබාගෙන ටික දිනක් කුරුඳු තළා සියල්ලම රැගෙන පලා යෑමට කටයුතු කර තිබෙන බව අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාපාරිකයාගේ ඉඩමේ ද කපාගෙන විත් තිබූ කුරුඳු කිලෝ 75 ත් 100 ත් අතර ප්‍රමාණයක් මොවුන් විසින් රැගෙන ගොස් තිබිණි.
අලුයම හතරට පමණ බටගොඩ ප්‍රදේශයෙන් රුපියල් 5000ක කුලී පදනම මත ත්‍රී රෝද රථයක් ගෙන්වාගෙන කුරුඳු තොගය පටවාගෙන වියළි ආහාර ද ඔවුන්ගේ බඩුමුට්ටු ද පටවාගෙන පලා ගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයටය. ඒ තවත් ත්‍රිරෝද රථ දෙකකිනි.
ඉන්පසු බටපොළ ප්‍රදේශයේ කුරුඳු මිලදී ගන්නා පුද්ගලයෙකුට එම කුරුඳු තොගය රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලකට විකුණා තිබූ අතර කුරුඳු කිලෝ 30 ක් පමණ පොලීසිය විසින් සොයා ගෙන තිබිණි.
මොවුන් විවිධ දුරකතන අංක භාවිත කරමින් කාලයක් තිස්සේ පුද්ගලයින් රවටමින් ව්‍යාපාරයක් ලෙස මෙම වංචාව සිදු කරගෙන ගොස් තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
කළුතර කොට්ඨාශ භාර ෙජෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්තගේ උපදෙස් පරිදි තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ දිසානායක, සැරයන්වරුන් වන 55277 කිත්සිරි, 50834 චමින්ද, කොස්තාපල් 23843 මදුෂාන්,106088 නිර්මාල්, කොස්තාපල් රියදුරු 80151 ජයවීර යන නිලධාරිහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ