Home » ප්‍රේමයේ ලකුණ සලකුණු කළ කිතුනු සාහිත්‍යය

ප්‍රේමයේ ලකුණ සලකුණු කළ කිතුනු සාහිත්‍යය

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

සාහිත්‍යය හා කලාවන් අයත් වන්නේ මිනිසාගේ විශේෂයෙන් හා වැඩි වශයෙන් තම මානසික ශ්‍රමය වැය කොට නිපදවනු ලබන ආධ්‍යාත්මික නිෂ්පාදනයන් අතරටය.

මාර්ටින් වික්‍රමසිංහයන්ට අනුව සාහිත්‍යය හා කලාවන් අතර වෙනස මෙසේය. කලාවන් වූ කලී විශ්වයේ හා ජීවිතයේ යථාර්ථය නිර්මාණශීලිව ලොව සියල්ලන්ටම ඇසෙන පොදු බසකින් කියාපාන්නකි. නමුත් සාහිත්‍ය වූ කලී විශ්වයේ හා ජීවිතයේ යථාර්ථය නිර්මාණාත්මකව බස දන්නාවුනට පමණක් තේරුම් ගත හැකිසේ කියාපාන්නකි.

අපගේ මෙම ලිපිය සීමාවන්නේ කිතුනු සාහිත්‍ය පිළිබඳ සැකවින් සාකච්ඡා කිරීමටය. ඉනුත් නිර්ප්‍රබන්ධ කිතුනු සාහිත්‍යය නොව ප්‍රබන්ධ සාහිත්‍ය ගැන සැකවින් සාකච්ඡා කිරීමටය.

කිතුනු ප්‍රබන්ධ සාහිත්‍ය

විශ්ව සාහිත්‍ය තුළ කිතුනු සාහිත්‍යයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. එසේ වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ ක්‍රිස්තියානි ධර්මයේ සාරාර්ථයට සපුරා පටහැනි වූවකි. එනම් අධිරාජ්‍යවාදය හා යටත් විජිතකරණයයි. යටත් විජිතකරණය හේතුවෙන් ක්‍රිස්තියානි සාහිත්‍යය ලෝකයේ සෑම මහද්වීපයකටම පැතිරිණි. ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ ප්‍රගමනයට පෘතුගීසින්ගෙන්, ලන්දේසින්ගෙන් හා ඉංග්‍රීසින්ගෙන් ලැබුණු ප්‍රයෝජනය සුළුපටු නොවන අතර ඒ ජාතීන්ගෙන් ලද සාහිත්‍යයම ප්‍රයෝජනයේ මූලය ක්‍රිස්තියානි සාහිත්‍යය යැයි කීම මුසාවක් නොවේ.

කිතුනු සාහිත්‍යය යනු කිතුනු ආගමිකයන් විසින් කරනු ලබන සාහිත්‍ය නිර්මාණයක් නොවේ. කිතුනුවන් විසින් මෙන්ම කිතුනු නොවන අය විසින් ද ක්‍රිස්තියානි සාහිත්‍ය කෘති නිර්මාණ කර තිබේ.

කිතුනු සාහිත්‍යය යනු කිතුනු සභ්‍යත්වය, කිතුනු සංස්කෘතිය, කිතුනු දර්ශනය, කිතුනු ධර්මයේ ඉගැන්වීම් කිතුතුමා, මරියතුමිය වැනි කිතුනු ධර්මයට සම්බන්ධ පුද්ගලයන්, බයිබලීය කතා, සිදුවීම්, ආදි දෑ ඇසුරින් උපදින කිතුනු ලකුණු ඇති සාහිත්‍යයයි. එම සාහිත්‍ය නිර්මාණ රසවිඳීමට, අවබෝධ කර ගැනීමට, විචාරය කිරීමට කිතුනු සභ්‍යත්වය හා ධර්මය ගැන යම්කිසි හෝ අවබෝධයක් තිබිය යුතුය.

කිතුනු දහමේ පදනම් ග්‍රන්ථය වන ශුද්ධ වූ බයිබලය පළල් සාහිත්‍ය නියෝජනයක් සහිත ග්‍රන්ථයකි. එහි විවිධ සාහිත්‍යය ශානරයන්ට අයත් රචනා සංගෘහිතය. ශුද්ධ වූ බයිබලය ලොව වැඩිම පිටපත් සංඛ්‍යාවක් නිකුත් වූ ග්‍රන්ථය වනවා සේම එය කිතුනු ලක්ෂණ ඇති සාහිත්‍යය නිර්මාණයන්ට ද ප්‍රධාන මූලාශ්‍රය වෙති. කෙසේ වෙතත් එහි පළමු ගිවිසුම (පැරණි ගිවිසුම) ජුදා, ක්‍රිස්තියානි මෙන්ම ඉස්ලාම් දහමට ද පදනම් වේ. කිතුනුවන් ලෙස සැලකෙන්නේ ජේසුස් වහන්සේ ගැලවුම්කරු ලෙස පිළිගත් ඇදහිලිවතුන්ය. ඒ අනුව ප්‍රධාන වශයෙන් කිතුනු සාහිත්‍යය ලෙස අප සැලකිය යුත්තේ ජේසුස්ගේ කාලයේ සිට අද දක්වා කිතුනු ලකුණු මත පදනම් වු කිතුනු ලකුණු මතු කරන සාහිත්‍යයි.

කිතුනු සාහිත්‍යය ඉතා පෘථුල විෂය ධාරාවකි. ඒ නිසා එය හඳුනා ගැනීම සඳහා එහි විවිධ ප්‍රභේද, ශානර, ප්‍රවර්ග හඳුනා ගැනීම අවශ්‍ය වේ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කිරීමට මෙම ලිපියෙහි ඉඩකඩ නැතත් එකී පෘථූල බව හඳුනා ගැනීම සඳහා කිතුනු සාහිත්‍යය වර්ග කළ හැකි ආකාර කිහිපයක් පමණක් දක්වමු.

1. විවිධ කිතුනු සභාවන්/නිකායන් අනුව

* රෝමානු කතෝලික කිතුනු සාහිත්‍යය /බටහිර කිතුනු සාහිත්‍යය.
* පෙරදිග හෙවත් ඕතඩොක්ස් (සධාර්මික) කිතුනු සාහිත්‍යය
* පොතෙස්තන්ත්‍ර කිතුනු සාහිත්‍යය
* නිදහස් සභා කිතුනු සාහිත්‍යය.

මේවා ද උප ප්‍රභේද ගණනාවකට බෙදිය හැකි අතර ශ්‍රී ලංකාව තුළ කිතුනු සාහිත්‍යය පිළිබඳ සාකච්ඡාව තුළ ඕතඩොක්ස් කිතුනු සාහිත්‍යය හා නිදහස් සභා කිතුනු සාහිත්‍යය ගැන කිසිදු අවධානයක් නැත.

2. අනුමැතිය අනුව

* නිල සභාවන්ගේ අනුමැතිය ඇති කිතුනු සාහිත්‍ය
* නිල සභාවන්ගේ අනුමැතිය නැති කිතුනු සාහිත්‍ය

ලෝක ඉතිහාසය තුළ විවිධ සභාවන් තමන් අනුමත නොකරන සාහිත්‍යය කෘති මෙන්ම සාහිත්‍යකරුවන් ද විනාශ කිරීම්, වාරණය කිරිම දුර්ලභ දෙයක් නොවේ. ශ්‍රී ලංකාව තුළ මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ එසේ වාරණයට ලක් වූ කෙටිකතා සංග්‍රහයකි.

3. අනර්තගතයේ ස්වභාවය අනුව

* ශ්‍රද්ධා මාර්ගික කිතුනු සාහිත්‍ය, භක්තිවාදි කිතුනු සාහිත්‍ය, ගතානුගතික කිතුනු සාහිත්‍ය
* ප්‍රඥා මාර්ගික කිතුනු සාහිත්‍ය / බුද්ධිවාදි කිතුනු සාහිත්‍ය / විමුක්ති ක්‍රිතුනු සාහිත්‍ය

4. යුග අනුව

* චිරන්තන කිතුනු සාහිත්‍ය
* මධ්‍යගත කිතුනු සාහිත්‍ය
* නූතන කිතුනු සාහිත්‍ය
* පශ්චාත් නූතන කිතුනු සාහිත්‍ය

5. කලාපය අනුව

* බටහිර කිතුනු සාහිත්‍ය
* ලතින් ඇමරිකානු කිතුනු සාහිත්‍ය
* අප්‍රිකානු කිතුනු සාහිත්‍ය
* ආසියානු කිතුනු සාහිත්‍ය
* මැදපෙරදිග හා ඈත පෙරදිග කිතුනු සාහිත්‍ය
* උතුරු ඇමරිකානු කිතුනු සාහිත්‍යය

නියම සාහිත්‍ය කෘතියක් සර්වකාලීන, සර්ව භෞමික වටිනාකම් නියෝජනය කරන බව සැබෑ නමුත් යුගය හෙවත් කාලයත්, එය ජනිත වූ භූමි කලාපයත් සාහිත්‍ය කෘතියක් විමසීමේදි අතිශය වැදගත් වෙයි.

බටහිර කිතුනු සාහිත්‍ය හා උතුරු ඇමරිකානු කිතුනු සාහිත්‍යය සමඟ තුලනාත්මකව අධ්‍යයනය කිරීමේදී ලතින් ඇ‍ෙමරිකානු හා අප්‍රිකානු කිතුනු සාහිත්‍ය, විමුක්ති ක්‍රිස්තියානි සාහිත්‍ය, හෙවත් ප්‍රඥා මාර්ගික ක්‍රිස්තියානි සාහිත්‍යයක ලකුණු වැඩි වශයෙන් පෙන්නුම් කරනු ලබයි.

නිදහස් සාහිත්‍යයක්

චිරන්තන කිතුනු සාහිත්‍ය (පළමු සියවස් තුනේ) පරිණත සාහිත්‍යයක් නියෝජනය නොකරයි. ඊට හේතු වන්නේ එවන් සාහිත්‍යයක් ගොඩනැඟීමට අදාළ කොන්දේසි මේ යුගය තුළ ක්‍රිස්තියානිය විෂයෙහි සම්පූර්ණ නොවීමයි. මෙම යුගයේ මුල් ශතවර්ෂ දෙක කිතුනුවෝ බරපතළ ලෙස පීඩාවට පත්වු යටිබිම්ගත ව්‍යාපාරයක් විය. ඔවුන්ගේ මුල් කලා හා සාහිත්‍ය බිහිවුණේ කැටකොබ් නමින් හඳුන්වන භූගත සූසාන භූමි තුළය. විසිරුණු සමාජ තත්ත්වයක් සහිත කිතුනුවන් මේ යුගය තුළ නිර්මාණය කළ සාහිත්‍යය සංකේතාත්මක භාෂාවන්ගෙන් යුක්තයි.

මධ්‍යගත යුගයේ (ක්‍රි.ව. හතරවන සියවසේ සිට 1500 දක්වා) කිතුනු සාහිත්‍යය ක්‍රිස්තියානියේ විමුක්ති හරයෙන් වියෝවූ ධර්මය වෙනුවට රදළ වැඩවසම්, අධිකාරිවාදි ආගමික අවශ්‍යතා පිණිස නිර්මානය වූ සාහිත්‍යයක් මූලික වශයෙන් නියෝජනය කරයි. කිතුනු සාහිත්‍ය ඉතිහාසයේ ද මෙය අඳුරු යුගයකි. අධිරාජ්‍යවාදයට එරෙහි වූ වහලුන්ට මිදීම ප්‍රකාශ කළ දහමක් වහල් සේවයට අවසර දෙන අධිරාජ්‍යවාදයේ හා රදලවාදයේ උපකරණයක් වූ දහමක් බවට පරිවර්තනය වූ යුගය මෙයයි. මෙම යුගය නිර්මාණ මෙන්ම නිර්මාණකරුවන්ද ක්‍රෑර වධ බන්ධනයට යටත් වූ යුගයකි.

නූතන ක්‍රිස්තියානි සාහිත්‍ය (ක්‍රි.ව 1500-1940) පුනරුදයේ, ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ හා නිදහස්වාදයේ බලපෑම සමඟ වඩා නිදහස් සාහිත්‍යයක් ලෙස වර්ධනය විය. ධනවාදයේ පළමු යුගය අයත් මේ කාලය තුළ එක් අතකින් අධිරාජ්‍යවාදය සමඟ ක්‍රිස්තියානිය ලෝකය පුරා ව්‍යාප්ත වන අතර අනිත් අතින් විශේෂයෙන් යුරෝපයේ ආගම රාජ්‍යයෙන් වෙන් විය යුතුය යන නිරාගමිකවාදය ද මතු වු යුගයකි. මේ යුගය තුළ ඇලෙක්සැන්ඩර් පෝප්ගේ ‘මෙසායා’. චාල්ස් ඩිකන්ස්ගේ ‘නත්තල් ගීතය’ ජොන් බනියන්ගේ ‘මහ මුකලාන මැදින්’ පියඩෝර් ඩොස්ටොයොව්කිගේ ‘කර්මාසෝ සහෝදරයෝ’ ‘අපරාධය හා දඩුවම’ ආදි කෘති කිතුනු අවලෝකනයක් දරාගත් සාහිත්‍යය නිර්මාණ කිහිපයකි.

ශ්‍රී ලංකාවේ කිතුනු සාහිත්‍ය (සිංහල හා දෙමළ) උපදින්නේ ද මෙම යුගය තුළයි. සිංහල මෙන්ම දෙමළ කිතුනු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා ඉන්දියාවේ සිට පැමිණ මුලින් දෙමළ භාෂාවත්, ඉන්පසු සිංහල භාෂාවත් ඉගෙන ගෙන සාහිත්‍යකරණයේ නිරත වූයේ මේ යුගය තුළය.

පශ්චාත් නූතන (ක්‍රි.ව 1940 න් පසු) කිතුනු සාහිත්‍ය ලෝකයේ සියලු කලාප තුළ සුවිශේෂිව ඉස්මතු වී ඇත. මෙය ධනවාදි දෙවන යුගය, පශ්චාත් යටත් විජිතවාදි යුගය, පශ්චාත් නූතන යුගය ලෙස සැලකේ. නියම කිතු සාහිත්‍ය හෙවත් ප්‍රඥා මාර්ගික කිතුනු සාහිත්‍යය, විමුක්ති කිතුනු සාහිත්‍ය මෙම යුගය තුළ මතුව ඒම දැක ගත හැකිය. නමුත් ලංකාව තුළ දෙව්සත්හලේවල මෙන්ම කිතුනු සාහිත්‍ය ගැන යම් හෝ ඉගැන්වීමක් කරන විශ්වවිද්‍යාලය තුළ පශ්චාත් නූතන කිතුනු සාහිත්‍ය තවම සැලකිල්ලට ගනු දකිත නොහැකි වීම කනගාටුදායක තත්ත්වයකි.

සාම්ප්‍රදායික ව්‍යාජ දේව ධර්මය ප්‍රශ්න කිරීම

ජාකොමේ ගොන්සාල්වේස් සාහිත්‍ය පරමත්වයට නැංවූ සිංහල කිතුනු සාහිත්‍ය කතිකාව ඉන් ඉදිරියට ගෙන ඒම අත්‍යවශ්‍යතාවකි. සාහිත්‍යයමය ගුණය අතින් ගත් විට ජාකොමේ ගොන්සාල්වේස් මෙහෙවර සුවිශේෂි බවට විවාදයක් නැත. එහෙත් කිතුනු ප්‍රඥා මාර්ගය අතින් ගත් කල ජාකොමේ ගොන්සාල්වේස් සාහිත්‍ය ඇත්තේ ගව් ගණනක් පිටුපසිනි. ඒ වනාහි කිතුනු ශ්‍රද්ධා මාර්ගික සාහිත්‍යයකි. කිතු දහමේ විමුක්ති සාරය වෙනුවට එහි රාව නැංවෙන්නේ පවතින ක්‍රමය පවත්වාගෙන යන ගතානුගතික දේව ධර්මයයි. ඉන් මිදුණු නිර්මාණයෝ අල්පය.

පශ්චාත් නූතන යුගයට අයත් සාහිත්‍ය තුළ ‘කිතුනු ලකුණු ඇති’ සාහිත්‍ය කෘති තුළ ජේසු තුමාගේ විමුක්තිදායක පණිවිඩුය ලෝකයේ පවතින අධිපතිවාදි සමාජ ක්‍රමය එලෙසම පවත්වාගෙන යාම සඳහා විකෘති කර ඇති සාම්ප්‍රදායික ව්‍යාජ දේව ධර්මය ප්‍රශ්න කරමින් එය සමතික්‍රමණය කරමින් මතුවන සන්දර්භීය දේව ධර්මයන් (විමුක්ති දේව ධර්මය, කළු දේව ධර්මය, ස්ත්‍රීවාදි දේව ධර්මය, ආසියාතික දේව ධර්මය ආදි) පෝෂණය කරයි. එකී දේව ධර්මයන්ගෙන් පෝෂණය ලබයි.

ලතින් ඇමරිතානු සාහිත්‍ය නියෝජනය කරන පාවුලෝ කොයියොගේ ‘පියොද්රා ගඟ බට සිට වැලපුනෙමි’ ‘මිනිත්තු එකොළහේ කතාව’ වැනි නවකතා, ගාර්ෂියා මාර්කේස්ගේ ඇතැම් නවකතා හා කෙටිකතා, නූතනය හා පශ්චාත් නූතන යා කරන යුරෝපා සාහිත්‍යය නියෝජනය කරන ප්‍රංශ මහා ගත්කරු අන්ද්‍රෙ ශිද්ගේ සාධු සංධ්වනිය, උතුරු ඇ‍ෙමරිකානු සාහිත්‍ය නියෝජනය කරන හැරල්ඩ් රොබින්සන්ගේ චැකක ඊකසබාැර (දේශකයාණෝ), ඇලිස් වෝකර්ගේ The color purple (දම්පාට කතාව) අප්‍රිකානු සාහිත්‍ය නියෝජනය කරන න්ගුනි වා නියන්ගෝගේ weep not child (නාඩන් දරුව) චමන්ඩා නුගෝසි අඩිචිගේ purple bisques (දම් වඳමල) චිනුවා අචිබිගේ ‘හිරු බස ගිය පසු‘ වැනි ඇතැම් නවකතා හා කෙටි කතා, නේෂානි ඇන්ඩ්‍රියස්ගේ ‘ද පර්පල් වයලට් ඔන්ඩිෂයන්ටු’ (දම් වයලට් මලක කතාව) ආසියානු සාහිත්‍ය නියෝජනය කරන ඉන්දීය ලේඛක පෝල් සෙකරියාගේ කෙටිකතා ආදි ලෙස ඉතා දිගු ලැයිස්තුවක් (සිංහලයට පරිවර්තනය වී ඇති) කිතුනු ළකුණු ඇති පශ්චාත් නූතන කිතුනු සාහිත්‍ය හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකිය.

ප්‍රඥා මාර්ගික කිතුනු ලකුණු සහිත සාහිත්‍යයක්

මෙම කෙටි ලිපිය සමාප්තියට පත් කිරීමට පෙර ප්‍රඥා මාර්ගික කිතුනු ලකුණු ඇති සිංහල සාහිත්‍ය කෘති කීපයක් ගැන සඳහන් නොකළහොත් එය අඩුපාඩුවකි. ඒ මඟෙහි පුරෝගාමි ලේඛකයා වන්නේ මංජුල වෙඩිවර්ධනය. ඔහුගේ බත්තලංගුංඩුව නවකතාව තුළ යම් ප්‍රමාණයටත්, මුන්නක්කරේ සංසාරේ තුළ මුළුමනින්මත් කිතුනු ප්‍රඥා වාර්ගික සාහිත්‍ය සලකුණු අන්තර්ගතය. ඔහුගේ ඇතැම් කෙටිකතා මෙන්ම කවිවලද එම සලකුණු සුවිශේෂිව සටහන් වී ඇත. තරංගනි රෙසිකාගේ දේශද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය හා ‘ජෙරුසලම් දූ වරුනි’ නවකතා තුළ ද චන්දිම කාරියවසම්ගේ ප්‍රේමවන්ත පිටස්තරයා නවකතාව තුළ ද මේ සළකුණු දැකිය හැකිය.

නමුත් වර්ථමානය වන විටත් මෙරට කිතුනු සාහිත්‍ය පිළිබඳ කතිකාව විශේෂයෙන් කිතුනු ක්ෂේත්‍රය තුළ ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා, මර්සිලිනු ජයකොඩි පියතුමා ආදින්ගෙන් ඔබ්බට ගමන් කොට නැත. අප ඉහතින් මතු කළ පශ්චාත් නූතන යුගයේ මෑත කාලය නියෝජනය කරන සම්මත කිතුනු ලේඛක සංවිධානවලින් ඔබ්බෙහි වන නිර්මාණකරුවාන්ගේ නිර්මාණ පිළිබඳ කතිකාවක් ඇත්තේ කිතුනු ක්ෂේත්‍රයෙන් බාහිර පොදු සාහිත්‍ය සමාජය තුළය.

පුළුල් අරුතින් ගත් කල කිතු දහමේ ආධ්‍යාත්මික සාරාර්ථය ප්‍රේමය වන නිසා ‘ප්‍රේමය’ මත පදනම් වූ ඕනෑම සාහිත්‍ය කෘතියක් කිතුනු අවලෝකනයකට මඟ පාදන බවත් කිතුනු ළකුණු ඇති සාහිත්‍යය කෘතියක් ලෙස සැලකිල්ලට ගත බවත් සැලකිල්ලට ගත හැකි බවත් සඳහන් කළ යුතුය.

‘ප්‍රේමවන්තයිනි අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙනි. ප්‍රේම කරන සෑම දෙනාම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන්වහන්සේ අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයය. (ශුද්ධ වු බයිබලය 1 ජොහාන් 4/7-8)

මහින්ද නාමල්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division