ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රායෝගිකකරණය අතර ඇති දූරස්ථභාවය පිළිබඳ ගැටලුව කලෙක සිට සාකච්ඡාවට බඳුන් වෙන්නකි. බොහෝ ආර්ථික ගැටලුවලට පිළිතුර සංකල්පීය ප්‍රවේශ ඔස්සේ සාකච්ඡා කළ ද එහි බිම් මට්ටමේ අත්දැකීම් හා සහසම්බන්ධ වීමේ අවම භාවිතය නිසා ඒවා හුදු සංකල්ප ලෙසම පවතිනු පෙනේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මේ සම්බන්ධයෙන් වන දූරස්ථභාවය පිළිබඳව විවිධ ප්‍රවේශ ඔස්සේ සාකච්ඡා කෙරෙන ග්‍රන්ථයක් සංස්කරණයක් ලෙස නිකුත් කර තිබේ. රටවල් පහක සම්පත්දායක පාර්ශ්ව විසින් සපයනු ලබූ පර්යේෂණ පරිච්ඡේද 20කින් මේ කෘතිය සමන්විතය. STABILIZING ECONOMICS ලෙසින් නම් කර ඇති මේ ග්‍රන්ථය ව්‍යාපාර චක්‍ර, ව්‍යවසායකත්වය හා තිරසර පැවැත්ම යන අනු විෂය ධාරා ඔස්සේ සම්පාදනය කර තිබේ. මෙකී ග්‍රන්ථයට ශ්‍රී ලංකාව, ජපානය, ඉන්දියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව ආදි රටවල ලේඛකයන් 36 දෙනෙක් න්‍යායික හා ස්ව අත්දැකීම් අනුසාරයෙන් ලිපි සම්පාදනය කර තිබේ.
සාර්ව ආර්ථික විද්‍යා ප්‍රවේශය, ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, Values And Diversity Organizational Work Ethicality ඇතුළු කෘති 10 ක් මීට පෙර ප්‍රකාශයට පත් කර ඇති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්නගේ 11 වැනි ග්‍රන්ථය වන්නේ මෙයයි. හෙතෙම මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරමින් සිටියි.
රටක ආර්ථිකය සම්බන්ධන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී ව්‍යාපාර චක්‍ර, ව්‍යවසායකත්වය හා තිරසාර දැක්ම වැනි සංකල්ප වඩාත් ප්‍රායෝගික ලෙස යොදා ගන්නේ කොහොමද?
ව්‍යාපාර චක්‍රයක් කියන්නේ රටක නිෂ්පාදනය, භාණ්ඩ හා සේවාවල උච්ඡාවචනය හේතුවෙන් ඇතිවිය හැකි ගැටලුයි. නිෂ්පාදන භාණ්ඩ ප්‍රමාණය එක කාලයකට වැඩි වීම සහ එක කාලයකට අඩු වීම ගැන තමයි ව්‍යාපාර චක්‍රයේදී කතා කරන්නෙ. ඒකට බොහෝ කරුණු බලපානවා. නිෂ්පාදනය අඩුවීම කියන්නේ ආර්ථික පසුබෑමක් සිදු වීමයි. රටක ආර්ථික පසුබෑමක් සිදුවෙන්න කාර්තු දෙකක් විතර එක දිගට නිෂ්පාදිත සේවා හා භාණ්ඩ තොගය අඩු වීමෙන්. ඒක දිගින් දිගට වෙනවා නම් අපි කියනවා ආර්ථික පරිහානියක් කියලා. ආර්ථික පරිහානියක් වුණාම නිෂ්පාදනය වෙනස් වීම, මිල ගණන් වැඩි වීම සහ ආනයන අපනයන ප්‍රශ්න ඇති වීම සිදු වෙනවා. එතැනිනුත් එහාට ගියාම තමයි ආර්ථික අර්බුදය එන්නේ. එතකොට මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටිලා ආදායම් නැතිව මිනිස්සු පාරට බහින තත්ත්වයකට පත් වෙනවා. ඔන්න ඔය හැසිරීමට තමයි ආර්ථික චක්‍රයක් කියන්නේ. ව්‍යාපාර චක්‍රයකදී ආර්ථිකයේ සිදුවෙන උච්ඡාවචන සමතුලිත තලයකට ගැනීමට තමයි රාජ්‍ය ප්‍රතිපත්ති කියන දේ අවශ්‍ය වෙන්නේ.
දෙවැනි කාරණය ව්‍යවසායකත්වය. ලෝකයේ රටවල් පාලනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ධනවාදී එහෙමත් නැත්නම් වෙළෙඳපොළ පදනම් කරගත් ආර්ථිකය. අනෙක සමාජවාදී එහෙමත් නැතිනම් රජය පාලනය කරන ආර්ථිකය. සමාජවාදී ක්‍රමය දැන් ගොඩක් දුරට අඩුයි. නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ මූලිකම ලක්ෂණය තමයි පෞද්ගලික අංශය විසින් වැඩි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා මිනිස්සුන්ට ලබා දීම. ඒවා වැඩියෙන් හදන්න නම් ව්‍යවසායකයන් ඉන්න ඕන. ඒ කියන්නේ පූර්ණ තරගකාරී වෙළෙඳපොළක්. එහිදී නිෂ්පාදකයන් අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා අපි උපකල්පනය කරනවා. රටක ජීවනාලිය භාණ්ඩ නිෂ්පාදනය කරන තැනැත්තා. ඒ සඳහා අපි ව්‍යවසායකයාව උත්තේජනය කරන්න ඕන. ව්‍යවසායකයා තෘප්තිමත් වෙන්නේ ලාභය නිසා.
ඒවගේම වෙළෙඳපොළේ අවශ්‍යතාව පිළිබඳවත් දැනුම්වත් කරන්න ඕන. ලංකාවේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ඉතා අඩුයි. තොරතුරු සම්පාදනය කරමින් ඒ තොරතුරු ගැන අදාළ පාර්ශ්ව දැනුම්වත් කරලා ඒ ආශ්‍රයෙන් තීරණ ගන්න පෙලඹවීමක් ලංකාවේ දක්නට ලැබෙන්නෙ නෑ. ප්‍රතිපත්ති සම්පාදකයන් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්.
ව්‍යවසායකත්වයේත් විවිධ ප්‍රභේද තියෙනවා. තනි පුද්ගල ව්‍යවසායකයන්, කණ්ඩායම් එකතු වී හදපු ව්‍යවසායකයන්, රජයේ ව්‍යවසායකයන් ආදී වශයෙන් විවිධ කොටස් ඉන්නවා. මේ කුමන ක්‍රමයේ ව්‍යවසායකයකුට වුවත් ප්‍රතිපත්ති සම්පාදනයේදී වැදගත් වෙන්නෙ දැනුම ලබා දීම, මඟ පෙන්වීම හා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමයි.
තුන්වැනි කාරණය තමයි තිරසර සංවර්ධනය. මිනිසා පරිසරයට කළ බලපෑම නිසා තමයි පරිසරය දැන් මිනිසාට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දැන් මිනිසුන් අතර එකඟතාවක් තියෙනවා අපි පරිසරයට කරන හානිය අවම කරන්න ඕන කියලා. පරිසරයට මිනිසා දක්වන ප්‍රතිචාරය තමයි පළමුවැන්න. ඊළඟට ව්‍යාපාරික ආයතනයක් සම්බන්ධයෙන් ගත්තම ඒක තිරසර වෙන්නේ කොහොමද? ඕනෑම ව්‍යාපාර ආයතනයකට තියෙනවා අරමුණක්. ඒ අරමුණට යන්න නම් ඔවුන් හා සම්බන්ධ වෙන කණ්ඩායම් සතුටු කළ යුතු වෙනවා. නැත්නම් එහි පැවැත්මක් නෑ. සමහර ආයතන බිඳ වැටෙනවා. සමහර ඒවා දියුණු වෙනවා. තම අරමුණ ගැන කණ්ඩායම දැනුම්වත් කරලා සියල්ලන් එකතු කරගෙන (Shered Vision) කණ්ඩායම් හැඟීමෙන් පොදුවේ වැඩ කරන්න ඕන. තිරසර සංවර්ධනයකදී සිදු විය යුත්තේ එයයි. ඒක ඇති කිරීම තමයි ප්‍රතිපත්ති සම්පාදකයාගේ කාර්යභාරය.
ව්‍යවසායකත්ව සංවර්ධනයේදී බහුමානීය දෘෂ්ටිකෝණ යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
ව්‍යවසායකත්වය පිළිබඳ මූලික සංකල්පයක් තියෙනවා. ඒ තමයි ව්‍යවසායකයන් සාමාන්‍යයෙන් මතු වෙනව ද, නැත්නම් ව්‍යවසායකයන් හදන්න ඕන ද කියන දෙය පිළිබඳ ව වන විවාදාත්මක එළැඹුම. සමහරු සංස්කෘතිය, ඔහුට ලැබුණු ආභාසය, ඔහුගේ පවුලේ පසුබිම ආදියෙන් ව්‍යාපාරිකයෙක් හැදෙනවා කියන කාරණය ගැන කතා වෙනවා. නමුත් සමහරු කියනවා අධ්‍යාපනයෙන් ව්‍යවසායකයන් හදන්න පුළුවන් කියලා. සංස්කෘතියෙන් වැටෙනවා නම්, පිරිහෙනවා නම් අධ්‍යාපනයෙන් නිවැරදි කරන්න පුළුවන් කියන එක තමයි ඔවුන්ගේ තර්කය. එතැනදි වැදගත් වෙන කාරණය තමයි ව්‍යවසායකත්වය පිළිබඳ බහුමානයකින් බැලීම කියන එක. සංස්කෘතියෙන් ව්‍යවසායකත්වයට වන තල්ලුව කොයිතරම් ද, අධ්‍යාපනයෙන් ව්‍යවසායකත්වයට ලැබෙන පිටුවහල මොකද්ද? මෙන්න මේ දර්ශක ගැනයි මෙහිදී අවධානය යොමු වෙන්නේ. මූල්‍ය සාක්ෂරතාව ගැන දැන් විෂයයක් ස්ථාපිත වෙලා තියෙනවා. ඒ වගේම ඒ සංකල්පයට දැන් ඉතා හොඳ වටිනාකමකුත් ලැබිලා තියෙනවා. දේශීය හා විදේශීය ව්‍යවසායකයන් පිළිබඳ අනාගත පරපුරට දෙන දැනුම කොයිවගේ ද, ඒ ඔස්සේ ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණා ගැන දැන් සැලකිලිමත් වෙනවා. අපේ වගේ රටවල හැමෝම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වගේ වෘත්තිකයන් වෙන්න මිසක් ව්‍යවසායකයන් වෙන්න ඉගෙන ගන්නවා හරි අඩුයි. ඒ නිසා ඒ සාක්ෂරතාව හැදිය යුතුයි. මේක වාණිජ විෂයයක් පමණක් නොවෙයි; විද්‍යාව, කලාව, සාහිත්‍ය ආදී විවිධ අන්තර්ගත විෂයයන් මෙහි තියෙනවා. ව්‍යවසායකත්වය කියන්නේ ගණකාධිකාරිවරයකුට උරුම දෙයක් පමණක් ම නොවෙයි. හැම පැත්තෙන්ම බැලිය යුතුයි කියන කාරණය නිසයි බහුමානී දෘෂ්ටිකෝණය කියලා කියන්නේ.
මෙවැනි සංකල්පීය න්‍යායකරණයක් දැනට ලංකාවේ ආර්ථිකය පිළිබඳ පුරෝකථනය හා තක්සේරු කිරීම සඳහා භාවිත කරන්නේ කෙසේද?
මේක තමයි වැදගත්ම කරුණ. ලංකාවේ දැනට දියුණුව, සංවර්ධනය හෝ ප්‍රගමනය මනින දර්ශක, තොරතුරු පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉදිරියේදී මේවා මීට වඩා පුළුල් විය යුතුයි කියලා අපි හිතනවා. දියුණු වෙනවා කියන්නෙ මොකද්ද? උදාහරණයක් විදියට මිනිස්සු කොයිතරම් ආදායමක් උපයනව ද? ආදායම වැඩිවීමත් සමඟ රටේ වැඩි විය යුතු දේවල් ටිකක් තියෙනවා. ආණ්ඩුවට එකතු වෙන බදු ආදායම ඉන් එකක්. උපයන විදේශ විනිමය වැඩිවීමත් තව එකක්. ඒවගේම ආදායම වැඩිවීමත් එක්ක මිනිස්සු මිලදී ගන්න භාණ්ඩ නිෂ්පාදනය වීමත් සිද්ධ වෙනවා. මේ විදියට බැලුවම එකපාරටම මේක ලංකාවේ ආර්ථිකයට යොදන්න බෑ. හැබැයි ලංකාවෙ ආර්ථිකය ඇතුළෙ තියෙන බොහෝ කාරණාවලින් අපට වැටහෙන දේ තමයි මීට වඩා අපි තොරතුරු ගැන උනන්දු වෙන්න ඕන කියන දේ. අපි තීරණ ගැනීම කළ යුත්තේ ඒ තොරතුරු භාවිත කරමිනුයි. තීරණ ගැනීමේදී තොරතුරු ලබා ගැනීම සහ තර්කානුකූල විශ්ලේෂණය කියන කාරණා අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් තීරණ ගන්නෙ කොහොමද; එක්කො කාගෙ හරි බලපෑමට, නැත්නම් කාගේ හරි සම්බන්ධතාවකට, එහෙමත් නැත්නම් දේශපාලන මැදිහත්වීමකින්. ඒ මුකුත්ම නැත්නම් අපට දැනෙන හැඟීමෙන්. එහෙම තීරණ ගැනීම අසාර්ථකයි.
ලෝකෙ තීරණ ගන්නෙ කොහොමද? තීරණ ගන්න හොඳම ක්‍රමය තමයි විද්‍යාත්මක ක්‍රමවේදය. විද්‍යාත්මක ක්‍රමවේදය කියලා කියන්නේ අපට ලැබෙන තොරතුරු ටික අරගෙන, ඒ තොරතුරු විශ්ලේෂණය කරලා, ඒ තොරතුරුවල සාමාන්‍ය ප්‍රමාණයක් බලලා ඒ අනුව තමයි අපි හිතන්න ඕන. මේ කෘතිය ඔස්සේ මම බලාපොරොත්තු වෙන්නේ ඒක. ලංකාව තවම ඒකට මදි.
පරිච්ඡේද 20ක්, ලේඛකයන් 36ක් වැනි ප්‍රමාණයක් කළමනාකරණය කිරීමේදී මතු වූ සංස්කරණ ගැටලු, සංකල්පීයෙව හා න්‍යායිකව ඇති වූ සංස්කරණ ගැටලු හා අභියෝග කවරේද?
මම විශ්වවිද්‍යාලවල අවුරුදු 35ක් සේවය කළා. ඒ අවුරුදු තිස්පහ ඇතුළේ අවුරුදු 12ක් ජපානයේ සේවය කළා. මේ කෘතිය සඳහා ලිපි යොමු කළ විද්වතුන් සිටින රටවල් පහට ම මම ගිහින් තියෙනවා. මගේ සම්බන්ධතා ජාලය හරහා තමයි මට ගොඩක් ලිපි ලේඛන ලැබුණෙ. මගේ සේවා කාලයට අවුරුදු තිස්පහ පිරෙද්දි ආර්ථික විද්‍යාවේ ඉතා අවශ්‍ය නිර්ණායක සම්බන්ධයෙන් පොතක් ලියනවා කියලා මම හිතුවා. ඊට පස්සෙ මම ලිපි ලබා දෙන්න කියලා මේ විද්වතුන්ට ආරාධනා කළා. මම උගන්වපු විද්‍යාර්ථීන් අතර මේ වෙනකොට මහාචාර්යවරු,ආචාර්යවරු, අංශ ප්‍රධානීන්, පීඨාධිපතිවරු බවට පත් වුණු අය ඉන්නවා. එක්කෙනෙක් මේ වෙනකොට වෙන විශ්වවිද්‍යාලයක උපකුලපති ධූරයටත් අයැදුම් කරලා තියෙනවා. ඒ නිසා ඒ අවුරුදු 35 ඇතුළත මා උපයාගත් දේ බොහොමයි. ඒ අයගෙ ලිපි ටික ගෙන්වා ගෙන මම සංස්කරණ කටයුතු පටන් ගත්තා. මේක විෂයය ග්‍රන්ථයක් ම නොවෙයි. මෙය, ලිපි සැපයූ තිස්හය දෙනාම තමන්ගේ පර්යේෂණ හා අත්දැකීම්වල සාරයෙන් ලියන ලද ලිපි සංගෘහිත කෘතියක්.
ඒ කියන්නෙ ප්‍රායෝගික හා න්‍යායික යන ප්‍රවේශ දෙකම මෙහි අන්තර්ගතයි?
අනිවාර්යයෙන්. පර්යේෂණ ග්‍රන්ථයක් කරද්දි පර්යේෂණයේ හරය ග්‍රන්ථයට ගේන්න ඕන. ඇත්තටම මේක විශාල පරාසයක් පුරා ගොඩනැඟුණු කෘතියක්. න්‍යායික කරුණු, ආකෘති, ඒ ඒ රටවල තියෙන සීමා, ප්‍රායෝගික තලයේ ගැටලු ආදී සියල්ල මේ කෘතියෙන් ආවරණය වෙනවා. අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ මම මේ කටයුත්තේ නිරත වුණා. රචකයන් හමුවෙලා ඒ ගැන සාකච්ඡා කළා. පොත පිළිබඳ අවසාන තීරණේ ගත්තේ එහෙමයි.
ඔබ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සම්බන්ධයෙන් විශාල වගකීමක් දරන්නෙක්. මෙවැනි දැවැන්ත පර්යේෂණමය සංස්කරණයක් කිරීමට අවශ්‍ය කාලය කළමනාකරණය කිරීම ඔබට අභියෝගයක් වන්නට ඇති?
මම උදේ 4ට නැගිටින මනුස්සයෙක්. මේ පොත කරන දවස්වලදි මම උදේ 3ට නැගිට්ටා. සාමාන්‍යයෙන් උදේ 4ට නැගිටලා 6 වෙනකම් මගේ සහ අනික් අයගේ අධ්‍යාපනය වෙනුවෙන් මම කියවනවා සහ ලියනවා. මේ පොත කරන කාලෙ මම උදේ 3 ඉඳන් මේ ලිපි සංස්කරණය කරමින්, හදමින් ඒ වැඩම කළා. හැමදාම පැය දෙකකට වඩා පොතේ වැඩවලට අවධානය යොමු කළා. මේක මගේ 11 වැනි පොත. මට ඉදිරිපත් කරන්න උවමනා වුණේ මේ කාලයට ගැළපෙන, මේ රටට මේ මොහොතේ අවශ්‍ය කෘතියක්. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති විදියට ඒ තනතුරට අදාළ අභිමතාර්ථත්, විශ්වවිද්‍යාල අභිමතාර්ථත් මේ කෘතිය ඔස්සේ ගම්‍ය වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය ගත්තම අපිට අභිමතාර්ථ හතරක් තියෙනවා. ඉගැන්වීම් සහ ඉගෙන ගැනීම් ක්‍රියාවලිය ඉතාම ඉහළින් කිරීම පළමුවැන්නයි. දෙවැන්න පර්යේෂණ සහ පර්යේෂණ ජාලගත වීම්, පර්යේෂණ සඳහා සහභාගී වීම සහ දායක වීම යන කරුණු හැකි තරම් ඉහළම මට්ටමට ගැනීමයි. තෙවැන්න අපේ තියෙන ප්‍රාග්ධනය සහ සම්පත් යොදවා උපරිම සේවයක් ජනතාවට සහ විද්‍යාර්ථීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. හතරවැන්න තමයි, වගකිවයුතු කළමනාකරණයක් කිරීම. වගකිවයුතු කළමනාකරණය යටතට වැටෙනවා තිරසර සංවර්ධනය සහ ව්‍යවසායකයන් ගොඩනැඟීම. ඒ වගේම රටේ ප්‍රායෝගික ව සිදුවෙන දේ පිළිබඳව අපි තොරතුරු විශ්ලේෂණය කරලා යමක් පිළිබඳ හරි අවබෝධයක් ලබා ගැනීමත් සිදු කරනවා.
මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපේ විශ්වවිද්‍යාලය උසස්ම විශ්වවිද්‍යාල සමඟ ජාලගත කිරීමටයි. ඒ ජාල ගතවීම ඇතුළත මෙවැනි ග්‍රන්ථයක් බිහි කිරීම ඉතා පහසුයි. ලෝකයේ හොඳ ම විශ්වවිද්‍යාලවල මම උගන්වා තියෙනවා; ඒ වගේම ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඒ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු මා සමඟ සම්බන්ධයි. ලංකාවෙත් එහෙමයි. මේ ක්ෂේත්‍රය ඇතුළත මාව නොදන්න කෙනෙක් නැහැ. මහාචාර්යවරුන් 45ක් පමණ මම බිහි කරලා තියෙනවා. අපි වැඩ කරන්නේ ජාලයක් එක්ක. මම හැම වෙලාවෙම බලන්නෙ ධනාත්මක ලෙස සමාජයට යමක් කරන්නෙ කොහොමද කියලා.
මේ කෘතිය සම්පාදනය කරද්දි දැනට කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් දෙදෙනෙකුත් මම සහාය කරගත්තා. ඒ අයටත් මෙවැනි අත්දැකීමක් ලබා දීමට මට අවශ්‍ය වුණා. විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් කියන්නෙ හැම අංශයක්ම බලන්න ඕන කෙනෙක්. තමන්ගෙ පර්යේෂණ කරන්න ඕන, අනෙක් අයත් සමඟ ජාලගත වෙන්න ඕන, ඒ වගේම හරියට උගන්වන්න ඕන, තමනුත් ඉගෙන ගන්න ඕන. ඒ විතරක් නොවෙයි පරිපාලන කටයුතුත් හරියට කරන්න ඕන.
කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම්වලදී අංක එකට පත් වෙනවා.
විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියේදී ඔබ ගැනීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොනවාද?
මගේ මූලිකම අරමුණ නවෝත්පාදනය කිරීම. මම නිතරම උත්සාහ කරන්නෙ ඒකට. ලෝකයේ විශ්වවිද්‍යාල වර්ග 3ක් තියෙනවා. මුලින්ම ඕනෑම රටක විශ්වවිද්‍යාල බිහිවෙන්නෙ ප්‍රථම උපාධි සඳහා ඉගැන්වීමට පිහිටවූ ආයතන ලෙස. ඒ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වෙනකොට ඒ අයට හිතෙනවා ප්‍රථම උපාධිය පමණක් ප්‍රමාණවත් නැහැ, පශ්චාත් උපාධි හදාරන අයටත් අපි උදව් කරන්න ඕන කියලා. ඊට පස්සෙ ටිකක් කල්යනකොට මේවා පශ්චාත් උපාධි ආයතන බවට පත්වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් ඒකෙ ළමයින්ගෙන් 36%ක් විතර තමයි ප්‍රථම උපාධිය ඉගෙන ගන්නෙ. ඉතිරි කොටස පශ්චාත් උපාධි, දුරස්ථ අධ්‍යාපන සහ බාහිර උපාධිවලට ඉගෙන ගන්න අය. ඒ කියන්නේ මේක විහිදුවලා තියෙන්නෙ. මම අද කොළඹ විශ්වවිද්‍යාලය නම් කරන්න කැමැති පශ්චාත් උපාධි විශ්වවිද්‍යාලයක් විදියට. මෙතැනින් එහාට යනවා කියන්නේ පර්යේෂණ විශ්වවිද්‍යාලයක් බවට කොළඹ විශ්වවිද්‍යාලය පත් කිරීමයි. මගේ අනාගත පරමාර්ථය ඉදිරියේදී තමන් විසින් මුදල් හොයලා, තමන් විසින් පාලනය වෙන, ආණ්ඩුවට තියෙන බර අඩු කරන පර්යේෂණ විශ්වවිද්‍යාලයක් බවට කොළඹ විශ්වවිද්‍යාලය පත් කිරීමයි. ලංකාවේ දැනට පර්යේෂණ විශ්වවිද්‍යාල නැහැ. පර්යේෂණ විශ්වවිද්‍යාලයක මූලික අරමුණ වෙන්නෙ ඉගැන්වීමට වඩා පර්යේෂණ ව්‍යාපෘති කිරීම.
සුමුදු චතුරාණී ජයවර්ධන