ඕක කරන්න ඇත්තෙ අරුන්දතී….” සෝමා, අයෝමාගේ කනට කෙඳිරුවාය. “ඔයා කොහොමද එහෙම කියන්නෙ…?” තරමක සාමකාමී චරිතයක් වූ අයෝමා, සෝමාගේ අදහස එයාකාරයෙන්ම පිළිගැනීමට මැළි විය.
“ඔයා විශ්වාස කරන්නෙ නැත්නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක්. මට හොඳටම විශ්වාසයි… ඔය වැඩේ කළේ අරුන්දතීමයි කියලා.. පඩි ලැබිලත් ඇඩ්වාන්ස් එකක් ඉල්ලල තියෙනව සර්ගෙන්… නත්තලට කියලා.. සර් කියල තියෙනවා කලින් මාසෙ වැඩට ඇවිල්ල තියෙන්නෙත් කඩින්කඩ. නිවාඩුත් ගොඩක් අරගෙන තියෙනවා… ඇඩ්වාන්ස් දෙන්නත් බැහැ කියලා…. එයින් පස්සෙ කිහිප දෙනෙක්ගෙන්ම අතමාරුවකුත් ඉල්ලලා තියෙනවා.. ඒත් ලැබිල නෑ…”
“එහෙනම් ඉතින් සැකයක් නෑ… අරුන්දතීම තමයි…”
අයෝමා තුළ තරමක කෝපයක් ඇතිවූයේය. ඇය වහා කාර්යාලය වෙත දිව ගියේ දෙවරක් නොසිතාමය. ආයතනය පුරා පැතිර ගියේ අයෝමාගේ මුදල් පසුම්බිය අරුන්දතී සොරකම් කළ බවට ය. විවාහක එහෙත් සැමියාගේ හදිසි වියෝවෙන් අසරණ වූ අරුන්දතී තිදරු මවකි. තරමක අධ්‍යාපනයක් ලැබ සිටින්නියක වූ නමුත්, ඇයට ජීවන අරගලයට මුහුණදෙන්නට සිදු වූයේ තම ආදරණීය සැමියා අනතුරකින් මියගොස් මාස හතරක් පමණ ගෙවෙන්නටත් මත්තෙනි. තම පෙම්බරාගේ සදාතනික නිහඬ බවින් කම්පනයට පත් ඕ, පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා වෙනුවෙන් ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා පැමිණියේ තම මහලු මවට දරුවන් රැකබලා ගැනීමේ වගකීම පවරා දෙමිනි. රැකියාවට පැමිණ එතරම් කාලයක් ගතනොවුව ද ඇය ඇගේ කාර්යභාරයට සාධාරණයක් ඉටු කළ කාර්යක්ෂම සේවිකාවක වූවාය. ඈ කෙරෙහි කිසිවෙක් නෝක්කාඩු සිතුවිලි ඇති කර නොගත්ත ද අයෝමාගේ මාස එකහමාරක වේතනය සහිත පසුම්බිය අතුරුදන් වීමත් සමඟම සේවක සේවිකාවෝ ඈ කෙරෙහි වපර ඇසින් බලන්නට වූයෙන් අරුන්දතී විශාල වේදනාවකින් පසුවූවාය. එකී වේදනාව පුපුරා යන තරමට තීව්‍ර වූයේ ආයතනයේ පිරිස් කළමනාකරු විසින් ඇයව රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟය. සාක්ෂිවලින් තොර තීන්දුවක මහත…
එහෙත් යුක්තියුක්ත බව හමුවෙහි සැබෑම විනිශ්චයකරුවාණෝ දෙවියන් වහන්සේ බව අරුන්දතී නොදැන සිටියා නොවේ. අයෝමා තමා සිටින නේවාසිකාගාරයට යාබද කාමරය වූ අරුන්දතී නවාතැන් ගෙන සිටි කාමරයට එබී බැලුවාය. ඇගේ ඇඳුම් බෑගය එහි නොවීය. ඇය නවාතැනින් නික්ම ගොසිනි.
“මම කරපු දේ හරි ද…?” අයෝමා කිසිවකුට මඟහැරිය නොහැකි වූ හෘදය සාක්ෂියේ හඬට බියෙන් පසුවූවාය.
“එයා ගිය එක ගැන ඔයා හිතන්න ඕනි නැහැ. කපටි හෙර…” සෝමා විසින් අයෝමාට තම හෘදය සාක්ෂියේ හඬට ඇහුම්කන් දීමට ඉඩ නොදුන්නාය. යෙහෙළිය නිවැරදි යැයි ඇය සිතන්නට ඇත.
මාස එකහමාරක වූ වැටුප සොරා ගත්, කවුරුන් හෝ කෙරෙහි ඇති කැකෑරෙන කෝපය මුසු කලකිරීම අයෝමාගේ සිතට වරින්වර වද දෙන්නට විය. නමුත් එකී කෝපය අරුන්දතී කෙරෙහි සෘජුව එල්ල නොවුවක් විය හැකිය. එහෙත් තම යෙහෙළිය වූ සෝමා විසින් වරින්වර අරුන්දතී වරදකරු කරන්නට උත්සාහ ගැනීම විටෙක ඇයට කම්පනයක් ඇති කරවීය.
“අයෝමා.. ඔයා යන්න අරුන්දතීලගෙ ගෙදර… හොර සල්ලිවලින් ගෑනි නත්තල ජයටම සමරන්නට හිතාගෙන ඇති… ගෙදරට ගිහින් ඒකිගෙ දරුවන්ටත් කියා දෙන්න ඕන අම්මගේ හොර වැඩ ගැන… රස්සාවෙන් අස් කරද්දිවත් මේ ගෑනි කතා කළේ නෑනෙ… බස්සි වගේ හිටියා.. කපටි අම්මණ්ඩි… මැනේජර් සර්ටත් හොඳටම තරහ ගිහිල්ලා… ඔයා යන්න අයෝමා… ගිහිල්ලා හොඳවයින් දෙකක් කියල එන්න…”
සෝමාගේ පෙරැත්තය වරින්වර කෙමෙන් උස් පහත් වෙමින් තම සිත තුළ පොර බදද්දී කෝපය හමුවේ අතරමංව සිටි අයෝමා, අරුන්දතී සොයා යාමට තීරණය කළාය.
“එයා කරපු වැඩේට එයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනි… මේ මාසෙ මගෙ වියදමට කීයක්වත්ම නෑ… අරුන්දතීට තියෙන්නෙ නම් අහිංසක මූණක්… ඒ වුණාට හොරකම හිත ඇතුළේ…” අයෝමා තම යෙහෙළිය අනුමත කරමින් සිතුවාය.
“අයෝමා, ඔයා ඔය කරන්න යන වැඩේ නවත්වන්න… අරුන්දතී ඔයාගෙ සල්ලි ගත්ත කියල සාක්ෂි නැතුව එයාව රස්සාවෙන් අස් කෙරෙව්ව මදිවට, ඔයා ඒ ගෙදරට ගිහින් ඒ ගෑනිට ලැජ්ජා කරන්න ද හදන්නෙ… ඔයා නම් හරි පුදුමයි අයෝමා… ඔයා හරි හොඳ සාමකාමී චරිතයක් විදියට නේද හැමෝම හිතාන ඉන්නෙ… ඒ වුණාට ඔයා…? මේ කාරණයේදී ඔයා දුෂ්ට චරිතයක් විදිහටයි මම නම් දකින්නෙ…”
“ඔයාට දවසක පසුතැවෙන්න වෙයි අයෝමා… සෝමා ඔයාව අවුස්සනවා. එයා කවදාවත් අරුන්දතීට එච්චර කැමැති නැහැ. ඒක ඔයත් දන්නවනේ…” අයෝමා සමඟ නේවාසිකව සිටින උත්පලා කීවාය.
“හරි අපිට වැරදුණා කියමුකො… ඒකනෙ මැනේජර් සර් අරුන්දතීව අස් කරන්න තීරණය කළේ… මොකක් හරි හේතුවක් ඇතිනේ…” අයෝමා උත්පලාගේ අදහසට විතර්කයක් ගෙනාවාය.
“හේතුවක් නැත්තේ මොකද? මැනේජර්කාරයා අරුන්දතීට බැල්ම දානවා…අරුන්දතී අහිංසකයි… ඒත් එක එකාගේ ඕනෑඑපාකම් පිරිමහන ජාතියෙ දුර්වල ගෑනියෙක් නෙමෙයි එයා… හැබැයි ඉතින් සෝමා නම් මැනේජර් පස්සේ නටාගෙන යන එක ප්‍රසිද්ධ කාරණයක්නෙ…”
උත්පලා පවසනුයේ සත්‍යයකි. අරුන්දතීට කළමනාකරුගෙන් අයුතු යෝජනා ඇති බවත්, ඊට එකඟ නොවීම නිසා ඇයට ඔහුගෙන් පීඩනයක් ඇති බවත් අයෝමා දැන සිටියා ය. ඒ නිසාම කළමනාකරු අරුන්දතී මත මෙකී චෝදනාව පවරා ඇයව අපහසුතාවට පත් කරන්නට උත්සාහ කළා විය හැකිය.
“කොහොම වුණත් මම අරුන්දතීලගෙ ගෙදර යන්න ඕන…” අයෝමා තීරණය කළාය.
නැවත වරක් අරුන්දතීගේ කාමරයට එබී බැලූ අයෝමාට පාළුවක් දැනුණි. ඇය රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජේසුස් වහන්සේගේ කුඩා ප්‍රතිමාවක් හමුවේ යාච්ඤා කරන ආකාරය ඇයට මැවී පෙනුණි. උදෑසන අවදි වූ සැණින් ඊට පොල්තෙල් පහනක් දල්වා යාච්ඤා කරන්නට ඇය පුරුදුව සිටියාය. පොල්තෙල් පහනත්, ප්‍රතිමාව තබා තිබූ ස්ථානයේ ඉහළින් බිත්තියේ ගසා තිබූ ‘මගේ සතුට කතෝලිකයකු වීමයි.’ යන කාර්ලෝ ඇකියුට්ස් මුනිතුමන් ප්‍රකාශිත වදනත් පමණක් එහි ඉතිරිව තිබුණි. විශ්වාසවන්ත ඇදහිලිවන්තයකුගේ අතින් වරදක් සිදු විය හැකිදැයි යන ප්‍රශ්නය අයෝමාගේ හදවතෙහි බුර බුරා හඬ නැඟෙන්නට විය. ඇගේ දෙනෙතට ඉබේම කඳුළක් උනා ආවේ අරුන්දතීට අසාධාරණයක් තමන් අතින් සිදු වූවා දැයි යන්න කුකුසක් ඇති වූ නිසා විය හැකිය.
එහෙත් එසේනම් තමාගේ මුදල් පසුම්බියට සිදු වූයේ කුමක්ද? තමා වසන නේවාසික ස්ථානයේ ඇත්තේ කාමර දෙකකි. ඉන් එකක තමන් සමඟ සෝමා සිටියි. අනෙක් කාමරයේ අරුන්දතී පමණි. දෙපාර්ශ්වයටම ඇත්තේ එකම මුළුතැන්ගෙයකි.
තමන් සහ සෝමා එක්ව ආහාර පිස ගැණිනි. අරුන්දතී තනිවම ආහාර පිසින්නීය. හරිහැටි තුන්වේල නොකන අරුන්දතී, නිතරම තමන්ගේ දරුවන් සහ මව ගැන සිතමින් කනස්සලු වෙයි. දෙවියන් වහන්සේ කෙරෙහි බලවත් විශ්වාසයක් ඈ තුළ වෙයි. කිසිවකුගේ සිත් රිදවන්නේ හෝ කෙනකු පීඩාවට පත් කරන්නේ හෝ නැත. සාධාරණ හේතුවක් නොමැතිව කිසිවකු සැකයට භාජනය නොකරන ඇය, සේවා ආයතනයේ හිත හොඳ තැනැත්තියක් ලෙස නමක් දරා සිටින්නීය. එහෙයින් ඈ තුළින් අන් සතු යමක් සොරා ගනු ලැබීමක් සිදු වනු හැකිද?
එහෙත්, අයෝමාගේ මුදල් පසුම්බිය අතුරුදන් වීමත් සමඟ අරුන්දතීගේ ප්‍රතිරූපය බිඳ වැටුණේ කෙටි කාල පරිච්ඡේදයකිනි. කෙනකුගේ ප්‍රතිරූපය බිඳ වැටීම තරම් අසාර්ථකත්වයක් තවත් වෙයිද?
විශාල බලයක් හෝ නිලයක්, නොඑසේ නම් කීර්ති නාමයක් ඇයට නැතත් ඇය හොඳ ගැහැනියක් පමණක් යන සුන්දර ප්‍රතිරූපය බිඳ දැමූයේ කවුරුන් ද? අනෙකුත් සේවිකාවන් අතරේ කැපී පෙනෙන සෞම්‍ය ආකර්ෂණයක් සතුව තිබූ අරුන්දතීට, විරුද්ධ ලිංගික පාර්ශ්වයේ ඇතැමෙක් වෙතින් පැන නැඟෙන අයුතු බලපෑම් ද පුදුමයක් නොවේ. එකී යෝජනාවන්ට එකඟ නොවූ තැන මතු වන අහේතුක චෝදනා ද පුදුමයක් නොවේ.
අයෝමා, අරුන්දතී සොයා පිටත් වූවා ය. පුත්තලම, කරිකට්ටිය ග්‍රාමයේ ඇයගේ නිවෙස සොයා ගැනීම එතරම් අසීරු කාරණයක් නොවූයේ ඇය ගැන කවුරුත් දැනසිටි හොඳ ගැහැනියක් නිසාය.
“අරුන්දතීට හැමෝගෙම ගෞරවයක් තියෙනවා.. එහෙම එකේ එයා කොහොමද හොරකමක් කරන්නේ”? යැයි අයෝමා සිතුවාය. අරුන්දතීගේ නිවෙස කුඩා නිවෙසකි. සුදුවැලි ගෙමිදුල වට කරමින් මලින් පිරී තිබිණි.
’පුදුම මල් කන්දරාවක්නෙ’ සුන්දර කුඩා නිවහනෙහි ඉදිරිපස සුදු වැලි මිදුලෙහි කුඩා දරුවන් තිදෙනෙකි. ඔවුහු ඇට්ටේරියා ගසක අත්තක බැලුම් බෝල සහ ටොෆී දවටන ද විවිධ පින්තූර ද එල්ලමින් ‘නත්තල් ගසක්’ සාදමින් සිටියහ. කුඩා දරුවන් දෙස මඳ වේලාවක් බලා සිටි අයෝමාගේ දෙනෙතට කඳුළක් ඉනුණි.
“මේ අරුන්දතීගෙ ගෙදර ද?”
“ඔව්… නැන්දා කවුද…?”
“ඔයාලට නත්තල් සරුයි වගේ…”
අයෝමා, අරුන්දතීගේ මුහුණුවර ඇති දැරියගේ අතින් අල්ලා ගනිමින් කීවාය. ඇය සුරතලයට සිනාසුණාය.
“කෝ දූ අම්මා…”?
“අම්මා අලුවා හදනවා…”
“නත්තලට ද…?”
“ඔව්”
“නත්තලට කේක්නෙ හදන්න ඕන”
දැරිය සිනාසුණාය.
“අම්මට එන්න කියන්නකෝ…”
දියණිය ගෙතුළට දිව ගියා ය. එසැණින්ම අරුන්දතී ඉදිරිපසට පැමිණියාය.
“අයෝමා….?”
“අරුන්දතී… මම ආවෙ ඔයා එක්ක කතා කරන්නයි…”
“එන්න අයෝමා ඇතුළට… වාඩිවෙන්න.” ඕ ඇයව ආදරයෙන් තම කුඩා නිවහනට පිළිගත්තීය.
“ඔයා මොනවද බොන්නේ…. කූල් ඒව නම් නැහැ. තේ එකක් හදන්න ද?”
“බොමු…”
නිවෙසෙහි වූ සාමකාමී පරිසරය අරුන්දතී කෙරෙහි අයෝමා තුළ වූ කෝපසහගත සිතුවිලි මුළුමනින්ම නිවා දමන්නට සමත් විය.
“අම්මා තේ එකක් හදාගෙන එයි.. අපි කතා කරමු…”
“අරුන්දතී මට ඇත්තටම දුකයි ඔයාගෙ රස්සාව නැති වුණ එක ගැන… ඒත් ඉතින් ඔයා කළේ පොඩි වැරැද්දක් නෙමෙයිනේ…”
නැවතත් අරුන්දතී සිනාසුණාය. ඒ සිනහව අව්‍යාජය. අවංකය. අයෝමා පුදුමයෙන් ඈ දෙස බලා සිටියාය.
“එදත් ඔයා මේ විදියටම මොකුත් නොකියා හිටියා. අදත් එහෙමයි… ඇයි අරුන්දතී ඒ….?”
“මම මොනවා කියන්න ද අයෝමා… මම ඔයාගෙ සල්ලි ගත්තෙ නෑ කියල ඔප්පු කරන්න මගෙ ළඟ සාක්ෂි නැහැ… ඒ වගේම මම සල්ලි ගත්ත කියල ඔප්පු කරන්න ඔයා ළඟ සාක්ෂිත් නැහැ….” අරුන්දතීගෙ සාමකාමී කටහඬ අයෝමාගේ සිත පාරවන්නට විය.
“අනේ මන්දා… මට හිතාගන්න බෑ…” අයෝමාට ඊට වඩා යමක් අරුන්දතී හමුවේ පවසන්නට හැකියාවක් තිබුණේ නැත.
අයෝමාගේ දුරකතනය නාද වන්නට විය. ඒ උත්පලාය. “ඔයා කොහෙද ඉන්නේ….?”
“මම අරුන්දතී හොයන් ආවා…”
“මම හිතුවා, අර හෙර සෝමාගේ කතාවට රැවටිලා ඔයා අරුන්දතීට තවත් වධ දෙන්න එන්න ඇති කියලා…”
උත්පලාගේ ආවේගකාරී වදන්වලට අයෝමා බිරාන්ත වී ගියාය.
“ඇයි….? සෝමාට හෙර කිව්වෙ… මට තේරෙන්නෙ නැහැ උත්පලා… ඔයා මොනාද මේ කියන්නෙ කියලා…”?
“එහෙනම් ඔයා හොඳට අහගන්න අයෝමා… අන්න ඔයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් පැදුරටත් නොකියාම ගිහිල්ලා… ඔයාගෙ පර්ස් එක අන්න සෝමා ළඟ… මට මුල ඉඳන්ම සැකයක් තිබුණා. ඒ ගෑනි ගැන… ඔයාට හොඳ මූණ පෙන්නගෙන හිටියට ඒකී හරිම කපටි ගෑනියක්… බඩු අතේ මාට්ටු… මැනේජර්ට හොරු අල්ලල දුන්න ගමන් සෝමා මාරු… හැමෝම අර අහිංසක අරුන්දතීව හෙරක් කළා… රස්සාව නැති කළා… හෙර ඉඳලා තියෙන්නෙ ඔයාගේ ඔඩොක්කුවේ…”
අයෝමාගේ දෙනෙත කඳුළින් බර විය. තමාගේ හෘදය සාක්ෂිය අරුන්දතී වරදක් නොකළ බවට හඟවද්දිත් සෝමාගේ වදන් විශ්වාස කොට අරුන්දතීට කළ අපරාධය කොතරම් බරපතළ වූවක් දැයි අයෝමාට සිතිණ. තම දෙනෙත් තුළින් කඳුළු රූරා හැලෙද්දී අරුන්දතී අයෝමාව තම උරට වාරු කරගත්තාය.
“අරුන්දතී මට සමාවෙන්න… මම මහා අපරාධකාරියක්… අහිංසක ඔයාගෙ ආත්මගරුත්වය මම මරා දැම්මා… මේ හැම දෙයක්ම කරල තියෙන්නෙ සෝමා…”
“පොඩ්ඩක් ඉන්න අයෝමා… මම ඔයාට කෝල් එකක් අරගෙන දෙන්නම් කෙනෙකුට… අපි කතා කරමු…”
අරුන්දතී තම ජංගම දුරකතනයෙන් කිසිවකුට ඇමතුමක් ගත්තාය.
“ජයන්ති මම අරුන්දතී… මේ අයෝමා ඉන්නවා…. ඉන්න මම දෙන්නම්…”
ජයන්ති එම ඇඟලුම් ආයතනයේ සේවය කළ සේවිකාවකි. ඇය මීට තෙමසකට උඩදී එම ආයනතයෙන් ඉවත්ව ගියේ තම පියාගේ බලවත් රෝගී තත්ත්වයක් නිසාය.
“අයෝමා….”
“ජයන්ති…”
“අයෝමා… මට හැමදේම ආරංචි වුණා… මට ඔයාට කතා කරන්න වුවමනාව තිබුණත් ඒකට ඉඩක් ලැබුණෙ නෑ….”
“අරුන්දතීට සිද්ධ වුණේ පුදුම අසාධාරණයක්… ඊටත් වඩා අපරාධයක්… අරුන්දතී එයාගේ මාස දෙකකම පඩිය මට එව්වා. මගෙ තාත්තගේ අසනීපයට ප්‍රතිකාරවලට…. එයා ඇඩ්වාන්ස් එකක් ඉල්ලලා තිබුණෙ එයාගේ ගෙදර වියදමට… ඒ තරම් හොඳ කෙනෙකුට තමයි මේ දේ සිද්ධ වුණේ… අරුන්දතීගෙ රස්සාව නැති කළා විතරක් නෙමෙයි ඔයා මට තිබුණු ශක්තියත් නැති කළා… මගෙ පිහිටට හිටියෙ අරුන්දතී විතරයි. නත්තලට පොඩි උන්ට දෙයක් අරන් දෙන්නවත් අරුන්දතීට සල්ලි නැති වුණා. ඒත් එයා තමයි සැබෑවටම නත්තල භුක්ති විඳින්නෙ…. ඒ එයාගෙ පරිත්‍යාගය තුළින්….”
“අරුන්දතී…”
අයෝමා, අරුන්දතී වැලඳගත්තේ සැබෑම සෙනෙහසකිනි.
“මට සමාවෙන්න අරුන්දතී…”
“ජේසුට එදා ලැබුණ තීන්දුව අසාධාරණ එකක් කියල තේරුම් ගන්න ඒ අයත් පරක්කු වුණා. ඒත් ඒ අයට ජේසු සමාව දුන්නා…”
“මටත් එහෙමයි… මමත් එහෙමයි…”
ඇනට් මාරි ජසින්තා