දිගු කලක් “කොන්ස්තන්තිනෝපල්” නමින් හැඳින්වූ තුර්කියේ විශාලම නගරය හා ප්‍රසිද්ධම නගරය ඉස්තාන්බුල් ය. එය සියවස් කිහිපයක් තිස්සේ අධිරාජ්‍ය ගණනාවක අගනුවර වුවත් වත්මන් තුර්කියේ අගනුවර වෙන්නේ අන්කාරා නගරයයි. ඉස්තාන්බුල් නගරයේ ඉඳන් රට මැදට වෙන්න ගිනිකොන දිසාවෙන් පිහිටි අන්කාරාවලට කිලෝමීටර් හාරසිය පනහක් විතර දුරයි.
එහෙට යනවා නම් ගුවනින් , බස්රියෙන්, දුම්රියෙන් හෝ පෞද්ගලික වාහනයකින් යන්නට පුළුවන්. ඉස්තාන්බුල් -අන්කාරා දුම්රිය් මාර්ගයට සමාන්තරව අධිවේගී නවීන දුම්රිය මාර්ගයක් ද මීට අවුරුදු කිහිපයකට පෙර විවෘත වුණා.
රටේ පාර්ලිමේන්තුව, පරිපාලන ආයතන හා සියලුම තානාපති කාර්යාල තියෙන්නේ අන්කාරා නගරයේ. කාර්යබහුල, සංකීර්ණ හා ජනාකීර්ණ ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටනයේ කලක් ජීවත් වුණු කෙනකුට අන්කාරා යනු කඳු වළල්ලකින් වට වෙච්ච තරමක පාළු හුදෙකලා නගරයක් කියල හිතෙන්න පුළුවන්’.
තුර්කියේ භූගෝලීය මධ්‍යයට තරමක් ආසන්න තැනක පිහිටි මේ නගරයේ අද වනවිට ජනගහනය ලක්ෂ පනස් පහක් පමණ වෙනවා. මධ්‍යම අනටෝලියා කලාපයේ පිහිටි මේ ප්‍රදේශය රටේ පාලනයට උපක්‍රමික වශයෙන් වැදගත් නිසා 1923 ඔක්තෝබර් 13 පටන් තුර්කි ජනරජයේ අග නගරය වශයෙන් ප්‍රකාශයට පත්වුණා. ඒ වන විට කුඩා නගරයක් වූ අන්කාරා පසුගිය සියවසක කාලය තුළ විශාල වශයෙන් සංවර්ධනය වෙමින් නවීන අග නගරයක් බවට පත්වෙලා. රටේ නොයෙක් තැන්වලින් පැමිණි ජනයා අලුතින් පදිංචි වෙලා. ලෝකයේ රටවල් විශාල ගණනක තානාපති කාර්යාල හා දූත මණ්ඩල කාර්යාල සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. අන්කාරා විශ්වවිද්‍යාලය, බිල්කෙන්ට් සරසවිය හා මැද පෙරදිග තාක්ෂණ විශ්වවිද්‍යාලය ආදියේ විශාල ජාත්‍යන්තර සිසුන් පිරිසක් ඉගෙනුම ලබනවා. ක්‍රිස්තු වර්ෂයට පෙරත් දිගු ජනාවාස ඉතිහාසයක් තිබෙන මෙහි ඉන්පසු රෝමන්වරු, බයිසන්ටයින්වරු හා ඔටෝමාන්වරු බලය පවත්වාගෙන ගියා. ඒ නිසා අන්කාරා හඳුන්වන්නේ කොස්මොපොලිටන් නගරයක් කියලා. ඒ කියන්නේ නොයෙක් රටවල් හා ජාතීන් නියෝජනය කරන නගරයක් හැටියට.
මෙන්න මේ හේතුව නිසා පසුගියදා අන්කාරා නුවර පිහිටි තුර්කි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා අන්කාරා විශ්වවිද්‍යාලය එකතු වී සංවිධානය කරපු ජාත්‍යන්තර ශිෂ්‍ය කෙටි චිත්‍රපට උලෙළ සුවිශේෂ වෙනවා. මේ චිත්‍රපට උලෙළේ චිත්‍රපට නිර්මාණය කර තියෙන්නේ තුර්කියේ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් විසින්.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරිය හසන්ති දිසානායක සඳහන් කළේ ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනු තම රටවල් නියෝජනය කරන සංස්කෘතික තානාපතිවරුන් බවත් නිර්මාණශීලීත්වය තුළින් ජාතීන් එකතු කළ හැකි බවත්. මට හිතෙන්නේ ඕනෑම රටකට ගොඩබසින, සංචාරය කරන හෝ රැකියාව කරන කෙනෙක් තමන් මොන විදිහකින් හෝ සිය මවුරට වෙනුවෙන් කුඩා පරිමාණයෙන් හෝ තානාපති කාර්යයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ රටට කුඩා හෝ අගය එකතු කිරීමක් කරන්න පුළුවන්. ඇඳුම පැලඳුම, හැසිරීම, තමන් සිටින රටේ සංස්කෘතියට ගරු කිරීම, අගය කිරීම වැනි මොනයම් ආකාරයෙන් ඒ දේ කරන්න උත්සාහ කරනවා නම් ඊට අපිට යහපත් ප්‍රතිචාර ලැබෙන බව මට අත්දැකීමෙන් දැනෙනවා. ඒ යහපත් ප්‍රතිචාර බොහෝ විට ලැබෙන්නේ පුද්ගලයකුට වඩා රටකට.
අන්න ඒ වගේ බැඳීමක් ඇතිකර ගන්න හොඳ මාධ්‍යයක් තමයි කලාව. එයිනුත් සිනමාව සුවිශේෂයි. අපිට සිනමා නිර්මාණයක් හරහා යම් රටකට සංවේදී වෙච්ච මාතෘකාවක් කතා කරන්න පුළුවන් වුණොත් එය තවත් වටිනවා.
සිනමාකරුවෙක් හා සරසවි කථිකාචාර්යවරයකු වන එරන්ද මහගමගේ ආචාර්ය උපාධිය හදාරන්නේ සිනමාවේ දර්ශනවේදය ගැන. ඉස්තාන්බුල් නුවර මගේ ගමන් සගයා ඔහුයි. මේ උලෙළේ සම්බන්ධීකාරකයා වන ඔහුට අනුව මේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැරීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ අවධානයක් සිනමා රසිකයන් අතරත් සිනමා නිර්මාණ සඳහා දායක වූ කලා ශිල්පීන් අතරත් ඇති වුණා.
ශ්‍රී ලාංක්ය, ඉතාලි, ඇෆ්ගනිස්ථාන්, කිර්ගිස්තන් හා ක්‍රිමියානු නිර්මාණ ශිල්පීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ වැඩසටහනේ නව නිර්මාණ මෙන්ම ජාත්‍යන්තර සම්මාන දිනූ කෙටි චිත්‍රපට කිහිපයක්ද ප්‍රදර්ශනය කෙරුණා.
ඒවා අතරින් එරන්දගේ නිර්මාණයක් වූ විනාඩි දාහතක කෙටි චිත්‍රපටය තුර්කි බසින් නිමවූවක්. එහි නම ‘අවිනිශ්චිත සුසුම’ ලෙසින් සිංහලයට හරවන්න පුළුවන්. එය නැරඹූ රසිකයන් ඉතා සංවේදී කම්පනයකට ලක් වෙනවා. භූමිකම්පා කියන්නේ තුර්කිවාසීන්ට හද කම්පා කරන සැමරුම් හා අවධානය ඇති කරන වචනයක්. තුර්කිය පිහිටා තිබෙන්නේ සක්‍රිය භූ කම්පන කලාපයක, ප්‍රධාන භූ තල තැටි තුනකට ආසන්නව. ඒවානම් ඇනටෝලියානු, අරාබි සහ යුරේසියානු තැටි. මෙම භූගෝලීය සැකැස්ම සහිත කලාපය, ඉතිහාසය පුරා නිතර නිතර හා ඇතැම් විට විනාශකාරී භූමිකම්පාවලට ගොදුරු වී තිබෙනවා. උතුරු තුර්කිය හරහා දළ වශයෙන් කිලෝමීටර් 1,500ක් පමණ විහිදෙන උතුරු ඇනටෝලියානු සක්‍රිය තීරය පසුගිය සියවසේ සිදු වූ විශාල භූමිකම්පා කිහිපයකට වගකිවයුතු වෙනවා
ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ තුර්කියේ දකුණු හා මධ්‍යම ප්‍රදේශවල ඇති වූ භූමිකම්පාව මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළම අනතුරක්. දිවි අහිමිවූවන්ගේ ගණන පනස්දහසකට වැඩියි.
මේ භූ කම්පනය ගැන විශාල කතාබහක් 2023 අවුරුද්ද පුරාම සිදුවුණා. මා තුර්කියට ගොඩබසින කාලයේත් එය බොහෝ තැන්වල ප්‍රධාන මාතෘකාවක්. මෙන්න මේ වටපිටාව නිසා මිනිසුන්ගේ මනසේ නින්නාද වන කම්පනය ඇමතීම එරන්දගේ විනාඩි දාහතේ කෙටි චිත්‍රපටයේ අරමුණ වෙන්න ඇති. චිත්‍රපටයේ සිටින්නේ එකම එක නිළියක් පමණයි. කුඩා කාමරයක් තුළ පාඩම් කරමින් සිටින තරුණියක් භූමිකම්පාවකට මුහුණ දෙනවා.
බිඳුණු කොන්ක්‍රීට් සුන්බුන් හා දූලි වලා අතරේ සිරවී චලනය වෙන්නට බැරිව සිටින තරුණියකගේ මනෝභාව කියවා ගැනීම තමයි සිනමාකරුවා කරලා තියෙන්නේ. සිනමා නිර්මාණය නැරඹූ බොහෝ දෙනෙක් මේ සමීප අත්දැකීම හැඟීම්බරව විඳ ගත්තා වගේම චිත්‍රපටය අවසානයේ අඳුරු සුන්බුන් ගොඩක හිරවී සිටින තරුණිය වෙත එල්ල වන සෙවුම් කණ්ඩායමක ආලෝක ධාරාව වැනි එළියක් මනසේ ඉතිරි කර ගන්නවා.
පෙර කී චිත්‍රපටයේ රඟපෑ එකම නිළිය ක්‍රිමියානු ජාතික ලියනා තබ්ගුවා විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටයක් ද තිරගත වුණා. ඒ පියකු හා දියණියකගේ බැඳීම හා වේදනාව හෙළිකරන ප්‍රබල කතාවක්.
ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපට කිහිපයකුත් වෙනත් රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකේය සිසුන් කිහිප දෙනෙක්ගේ කෙටි චිත්‍රපට ද මෙහිදී ප්‍රදර්ශනය වුණා.
තුර්කියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය අනෙක් යුරෝපීය හා මැද පෙරදිග රටවලට සාපේක්ෂව ඉතා සීමිතයි. එනිසා මේ උලෙළ පිළිබඳ ආරංචිය මට ඉමහත් සතුටක් ගෙන දෙන්නක්.