කොළඹට කිරි අපට කැකිරි’ විරෝධතා පුවරු තිබුණේ පාසල් දරුවන් අතරය. විරෝධතා පැවැත්වුණේ පාසල් ඉදිරිපිටය. අධ්‍යාපනයේ අසමානතාව ප්‍රකාශ කරන්නට කොළඹට කිරි, අපට කැකිරි යැයි කීවේ ගම්වල දරුවන්ය. අද නම් මට හිතෙන්නෙ අපි බොන කිරිවලට වඩා කැකිරි ගුණ බවය. කෙසේ වුවද මේ අසමානතාව සමහන් වී ඇතැයි යන අදහස සංබ්‍යාලේඛනවලින් ගම්‍ය නෙවෙයි. වසර පහකදී පාසල් දරුවන් ලක්ෂ පහක් පමණ අධ්‍යාපනය අත්හැර දමන බව එම සංඛ්‍යාදත්තවලින් අනාවරණය වෙයි.
මට ‘කොළඹට කිරි අපට කැකිරි’ කතාව මතක් වූයේ පාර්ලිමේන්තුවේ දිගහැරුණු ජනාධිපති අරමුදල් ලබාගත් මැති ඇමැතිවරුන්ගේ නම්, ගම් සහ මුදල් ගැන ඇතිව තිබෙන කතාබහට ලැබී ඇති ප්‍රාණයයි. මේවා රාජ්‍ය රහස් නොවුණ ද, පාර්ලිමේන්තුවේ දිගහැරුණු ජනතාව අතර සංසරණය වෙයි.
මා වැඩියෙන්ම ගොස් ඇති රාජ්‍ය ආයතනය කුමක්දැයි කවුරුන් හෝ විමසුවහොත් මගේ උත්තරය වන්නේ ජනාධිපති අරමුදල් කාර්යාලයයි. මාධ්‍ය ආයතනවල වැඩ කිරීමත්, අපට සමාජ සම්බන්ධතා ඇතැයි යන විශ්වාසයත් නිසා අපේ ගම්වල බෝ නොවන රෝගවලින් අසරණ වන මිනිසුන් ජනාධිපති අරමුදල වෙත යොමු වන්නෙ අප හරහාය. අවශ්‍ය ඉල්ලුම්පත් ලබා ගැනීම, උපදෙස් රෝගීන්ගේ පවුල්වලට ලබාදීම, ඒ ගැන පසුවිපරම් කිරීම ඇතුළු ස්වේච්ඡා රාජකාරි කිහිපයක්ම අපට පැවරෙයි. ප්‍රතික්ෂේප නොවුණ ද බොහෝවිට රෝගීන්ට ලැබෙන ආධාරය රුපියල් ලක්ෂ දෙකකට අඩුය. ගණන තීරණය කරන අවසන් තීරකයා විධායක බලැති ජනපතිය. මැති ඇමැතිවරුන්ට, අත් දිගහැර නිර්ලෝභීව බෙදන ජනාධිපතිවරු ආන්ත්‍රික ජනයා කෙරෙහි දක්වන්නේ අරපරෙස්සම්, සකසුරුවම්, දයාවකි.
ජනාධිපති අරමුදලේ ආධාර සහනය ලැබුණ මැති ඇමැතිතුමන්ලාගේ ආර්ථික, ශක්තිය සහ අසරණභාවය ගැන අවධානය යොමුකළ බව, කෙහෙළිය රඹුක්වැල්ල වැනි තක්කඩි දේශපාලකයන්ට ලබා දී ඇති මූල්‍ය සහනයෙන් සිතාගත හැකිය. තමන් කෙරෙහි මහජන වෛරය, අප්‍රසාදය, එල්ලවන්නට හේතු නියෝජිතයන් වන තමන් විසින්ම වගා දියුණු කරගත් තක්කඩිකම බව තේරුම් ගත යුතුය. ඡන්ද කාලයේ පෝස්ටර්වලින් මහත්මා දේශපාලනය, හෘද සාක්ෂියේ දේශපාලනය වැනි සළුපිළි අන්දවන දේශපාලකයන්ගේ හෘද සාක්ෂිය, මහත්මා ස්වරූපය දැකගන්නට බලය ලැබී කලක් ගතවෙයි.
සමාජ සාධාරණත්වය, රටක මානව සම්පතෙහි පලදායිතාවය කෙරෙහි බලපාන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු වරප්‍රසාදිත සුවිශේෂී පිරිසක් ලෙස ක්‍රමක්‍රමයෙන් කළ සමාජ ආක්‍රමණය ආපසු හැරවීමට ඇති අවශ්‍යතාව මෙවැනි කාරණාවලින් තහවුරු වෙයි.
සමාජ සාධාරණත්වය පිළිබඳව ඇති උනන්දුව, වැදගත්කම සහ එහි අවශ්‍යතාව නිසාම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සමාජ සාධාරණත්ව දිනයක් ප්‍රකාශයට පත්කළේ 2007 දීය. ඒ දිනය පෙබරවාරි 20 වැනිදාට යෙදෙයි. සමාජ අසමානතාව තුරන් කිරීමේ වුවමනාව ඉතිහාසය පුරාම පෙන්වා දී ඇත්තේ වාමාංශික ව්‍යාපාර විසිනි. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරවල මැදිහත්වීම මත, අත්පත් කරගත හැකි ජයග්‍රහණයන් කෙරෙහි අවධානය යොමුවිය යුතුය. රටේ ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය කෙරෙහි ස්ත්‍රි – පුරුෂ සමාජභාවය, ආබාධිත ප්‍රජාව කෙරෙහි දක්වන සමාජ ආකල්ප ද ඝෘජුව බලපානු ලබයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් මෙන්ම උසස් නිලතල හොබවන නිලධාරින් ද තමන් වෙත ආරෝපණය කරගෙන ඇති රාජ්‍ය බලයට අභියෝග කිරීමට සාමාන්‍ය ජනයා පෙලැඹී සිටින්නෙ කාලාන්තරයක් තිස්සේ ඉවසා දරාගෙන සිටිමෙන් අනතුරුවය. එය ‘අරගල’ නමින් හෝ ‘විප්ලවයන්’ නමින් ප්‍රකාශයට පත්වෙයි. තමන් තෙවන පෙළ පුරවැසියෙක් බවට පත්ව ඇතැයි යන හැඟීම විසින් ඇතැම් සමාජ ස්තරයක ඇතිකරවන්නේ ඉච්ඡාභංගත්වයයි. විධායක බලය සහිත ජනාධිපතිවරයකු සිය තනතුර අත්හැර පලා යාම දක්වා පෙළගැසුණු සිද්ධින් සහ හේතු සාධක නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ සමාජ සාධාරණත්වය පිළිබඳ පිපාසයක් තිබූ බවය. සමාජ සාධාරණත්වය අරබයා පැනනඟින විරෝධතා ඇතැම්විට ප්‍රචණ්ඩත්වය කරා ඇදෙයි. එය දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තැබීම, ශාරීරික හිංසා දක්වා දිවෙයි.
රටේ ආදායමෙන් ඉහළම ධනවතුන් ස්තරය 51.2%ක් භුක්ති විඳින අතර දුප්පත්ම පවුල් 11ක් පමණ සමස්ත ආදායමෙන් 4.1%ක ප්‍රමාණයකින් ජීවත්වෙන බව අනාවරණය වෙයි. ආදායම් බෙදීයාමේ විෂමතාව පුළුල්වීමෙන් ඇතිකරන සමාජ පීඩනය සමහන් කිරීමේ වගකීම භාරගැනීමට රජය සූදානම් බව පෙනෙන්නට ඇත. අභියෝගාත්මක ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහිත සමාජයක් ගොඩනැඟීම වෙහෙසකරය, දුෂ්කරය. එහෙත් එය මඟහැර යා නොහැකිය.