Home » ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර දුන් ජනපතිගේ ඉන්දීය සංචාරය

ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර දුන් ජනපතිගේ ඉන්දීය සංචාරය

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

නාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු නිල විදේශ සංචාරය පසුගිය 15 වැනිදා ආරම්භ කෙරිණි. ඒ අසල්වාසී ඉන්දියාවටය. ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනාධිපති නිල නිවෙස වන ‘රාෂ්ට්‍රපති භවන්හීදී‘ ය.

පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගන්නා ලදී. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවාගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

රතුපලස් මතින් ජනාධිපතිවරයා මන්දිරය වෙත කැඳවාගෙන එන ලදී.

ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් විය.

ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීය.

එදින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර හමුවක් හා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්ද පැවැත්වුණි. එසේම ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, මහත්ම මහත්මීන්ද හමු විය. මෙම සංචාරයේ විශේෂිතම නියෝජිත පිරිස ලෙසින් ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් හමු වී මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීම ද සිදු කෙරිණි.

ජනාධිපතිවරයා බුද්ධගයාව වැදපුදා ගැනීම ද මේ සංචාරයේ විශේෂිත කාර්යයක් වූ අතර හින්දු සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා පිළිගැනීම එහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ඉන්දීය ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන තිදෙනාම පහළ ස්ථරයකින් සිය ගමන් මඟ අරඹා රටක පාලකයන් බවට පත් වූ අය වන අතර ඔවුහු රතු පලස් මත හිඳ පුරවැසියන් ඇමතීම ඓතිහාසික සිදුවීමක් විය.

ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසුව පළමුව ශ්‍රී ලංකාවේ ස්තූතිය ඉන්දියාවට පළ කරන්නට ජනාධිපතිවරයා විසින් කටයුතු කරන ලදී.

ඒ 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අතරතුරදී සහ ඉන්පසුව ඉන්දියාව විසින් ශ්‍රී ලාංකික ජනතාවට ලබා දුන් සහයෝගයට වෙනුවෙනි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සහ ‘SAGAR’ යන දැක්ම තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානය ගැන සහතික කළේය.

ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 4ක් වටිනා හදිසි මූල්‍ය සහ විනිමය සහයෝගයක් ඇතුළු බහුවිධ සහයෝගයක් හරහා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායි කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මෝදිට සිය ස්තූතිය පළ කළේය. නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති වශයෙන් ඉටු කළ භූමිකාව ඇතුළුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඉන්දියාව ලබා දුන් සහය එතුමා අගය කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා නිසි කලට අවසන් කිරීමට එය තීරණාත්මක වූවත් ණය බර සැලකිය යුතු ලෙස අඩු කරමින් දැනට ක්‍රියාත්මක ණය පහසුකම් යටතේ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු මුදල් පියවීම සඳහා ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 20.66ක් ලබාදීම සම්බන්ධයෙන් ද එතුමා ඉන්දීය රජයට සිය ස්තුතිය පළ කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා අවසන් කරන ලෙස නායකයෝ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ.

ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති සාකච්ඡාවන්ගෙන් ඵලදායි ප්‍රතිඵල රැසක් අප වෙත හිමි විය.

දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යූහගතකරණය හමුවේ පවා ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහාය ද ජනාධිපතිවරයා අගය කළේය.

මෙහිදී දෙරට අතර ආරම්භ කර ඇති ඉන්දීය ව්‍යාපෘති ඉදිරියටත් සිදු කිරීමට අවශ්‍ය පසුබිම ගැන ද සාකච්ඡා පැවැත්වුණි.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවන සහ සිව්වන අදියර සහ උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කඩිනමින් සිදු කිරීම, නැ‍ෙඟනහිර පළාත සහ ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන සඳහා සූර්ය විදුලිබලය ලබාදීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතීන් නියමිත කාලයේදී ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීම ගැනද අවධානය යොමු කරන ලදි.

ඉන්දියාවේ යහපාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය හරහා ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයන් 1500 දෙනෙකුට පුහුණු අවස්ථා සංවිධානය කිරීමට ද දෙපාර්ශ්වය එකඟ විය.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයීම ගැන මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතා විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම ගැනද මෙහිදී සාකච්ඡා පවත්වන ලදී.

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සාර්ථක අත්දැකීම් හඳුනා ගනිමින් ඉන්දියාවේ සහය සමඟින් එවැනි පද්ධතීන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සොයා බැලීමට ද මෙහිදී තීරණය කෙරිණි.

කෘෂිකර්මාන්තය, ජලජ කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, සෞඛ්‍යය සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙක් ක්ෂේත්‍ර තුළ පර්යේෂණ සහ සංවර්ධන සහයෝගීතාවය පුළුල් කිරීම උදෙසා ද සාකච්ඡා කෙරිණි.

ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම සම්බන්ධ සාකච්ඡා ඉදිරියට ගෙන යාමටත්, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමටත් මෙහිදී එකඟතා ඇති විය.

ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වයට ද අහිතකර කිසිදු කාර්යයක් වෙනුවෙන් ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජනාධිපතිවරයා මෙහිදී යළිත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ සමුද්‍රීය ආරක්ෂක අවශ්‍යතා වැඩිදියුණු කරමින් සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහාත් කලාපීය මත් වෙළෙඳාම මැඬලීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එසේම ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය වැනි විවිධ ආරක්‍ෂක තර්ජන සැලකිල්ලට ගනිමින්, ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම් රාමුවක් පිළියෙල කිරීමේ හැකියාව ගවේෂණය කිරීම ගැන ද සාකච්ඡා විණි.

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සංවර්ධනය පිළිබඳව ද ආගමික සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැපයිය හැකි රාමුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා පවත්වන ලදී.

ඉන්දු ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවාව වඩාත් දියුණු කරමින් රාමේශ්වරම් සහ තලෙයි මන්නාරම අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව කඩිනමින් නැවත ඇරඹීම සඳහා නිලධාරීන් කටයුතු කළ යුතු බවට ද සාකච්ඡා කෙරිණි.

ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ හැකියාව සොයා බලන ලදී.

එමෙන්ම දෙපාර්ශ්වයේම ධීවරයන් මුහුණ දෙන ගැටලු සහ ජීවනෝපාය පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින්, මානුෂීය ආකාරයෙන් විසඳුම් සෙවීම තවදුරටත් පවත්වා ගෙනයාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් නායකයෝ එකඟ වූහ.

ඉන්දීය ආධාර තුළින් පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධනය කිරීම, කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම සහ ජලජ කෘෂි ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඇතුළු ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ තිරසර හා වාණිජ සංවර්ධනය සඳහා ඉන්දියාව ගෙන යන මුලපිරීම් පිළිබඳව ජනාධිපතිතුමා සිය ස්තූතිය පුද කළේය.

එසේම 2028 – 2029 සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර නොවන ආසනයක් සඳහා ඉන්දියාවේ අපේක්ෂකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන සහයෝගයට අගමැති මෝදි මහතා සිය ප්‍රසාදය පළ කළේය.

ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරයෙන් මෙලෙස මෙරටට වාසිදායක සාකච්ඡා රැසකට මුල පිරුණු අතර ඉදිරියේදී දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා රැසක් බිහි කෙරෙනු ඇත. දැනටමත් ඉන්දියාව විසින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව රැසක් වාර්ෂිකය ප්‍රදානය කරනු ලැබේ.

හැකි ඉක්මනින් පහසු දිනයකදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කළේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division