– එයාලාගේ ෆොටෝ එකක්වත් නැහැ. ඒ හැමදේම සුනාමියට ගියා. ඒත් එයාලා හැමදාම අපේ හිත්වල ජීවත් වෙනවා
– සුනාමිය අපේම අය 96ක් බිලි ගත්තත් අපේ ජීවිත හැමදාම බැඳිලා තියෙන්නේ මහමුහුද එක්ක
තෙරක් නොපෙනෙන මහ සයුර දෙස බලා හිඳිමි. පෙරළි පෙරළී වෙරළට දිව එන රළ පෙළ වෙරළ සිපගෙන යළි සයුර වෙතම දිව යන්නේය. ඒ සොඳුරු දාංගලය හමුවේ හදවතේ ළතැවුල් ඈතට ඇදී යද්දී දෑස තව තවත් ඒ දෙසටම ඇලේ.
“කොයිතරම් ලස්සන වුණත් මුහුද අපේ ජීවිතවල සතුට උදුර ගත්තා. අපට හැමදේම දුන්න මුහුදම ඒ විදිහට දරුණු වුණ එකයි දරාගන්න අමාරුම දේ.”සයුරේ රළ බිඳෙන හඬ අතරින් ඇසුණු ඒ හඬ ආ දෙසටම හිස එසවිමි. ඔහු කම්පිත දෑසින් මහ සයුර දෙස බලා සිටියේය. හදවත මත බරක් ඇතිරුණේ ඔහු හෙළූ ගැඹුරු සුසුමක බරටය.
“ඒ වුණත් අපිට මුහුද ගැන අහිතක් හිතන්න බෑ කවදාවත්. අපි තාමත් ජීවත් වෙන්නෙ මේ මුහුද හින්දා.”ඔහු මුහුදට පිටුපා මදෙසට හැරුණේය. ඒ දෑස්වල වේදනාවක් මිස ද්වේශයක් නැත. සිය ප්‍රාණ සම බිරිය, කුඩා දියණිය ඇතුළු එකම පවුලේ 9 දෙනකුගේ ජීවිත ඇතුළුව ඥාතීන් 96 දෙනකුගේ ජීවිත බිලිගත් මහ සයුර ගැන එතරම් උපේක්ෂාවෙන් සිතන්නට ඔහුගේ සිත හුරු කළේ කාලය ද නැත්නම් ඔහුගේ ආත්ම ශක්තිය දැයි නොදනිමි.
“ජීවිතෙත් මහමුහුද වගේ. දුක, සැප මේ රළ ගෙඩි වගේ පෙරළි පෙරළි එනවා යනවා මිස නැවතීමක් නැහැ. ඒවා දරාගන්න මිනිහෙකුට තියෙන්නෝනි වෙරළ වගේ හයිය හිතක්” යටි සිත හඬ ගා කියනු ඇසෙද්දී මම ඔහු දෙස බැලීමි.
ඔහු මොහොමඩ් සලීම් මොහොමඩ් සලිත් (59)ය. මහමුහුද දෙස බලාගෙන ඔහු මේ ආවර්ජනය කරන්නේ මීට වසර විස්සකට එහා අතීතයේ අඳුරු දවසක් ගැනය.
2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් 35,000කට අධික පිරිසකට ජීවිත අහිමි විය. සුනාමියෙන් ගාල්ල නගරයට සහ දිස්ත්‍රික්කයට බරපතළ හානි සිදු වූ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් 5000කට අධික පිරිසක් මියගිය බව පැවසේ. ඒ අතරින් එකම පරම්පරාවකින් පැවත එන පුද්ගලයන් 96 දෙනකුට ජීවිතය අහිමි කළ මළ ගෙයක් වූ ගමක් සොයා අප ගාල්ල මාතර ප්‍රධාන පාරේ මුහුද අද්දර පිහිටි දෙවට ප්‍රදේශයට ගියෙමු. එසේ මියගිය පුද්ගලයන් අතරින් එකම පවුලේ 9 දෙනකුම අහිමි වූ මොහොමඩ් සලිත් ඒ අඳුරු මතකය අවදි කළේ මෙලෙසිනි.
” අපේ ගමේ පවුල් 300ක් විතර ජීවත් වුණා. එයින් මගේ ගෙදර මාත් එක්ක ජීවත් වුණ මගේ බිරිය, බාල දියණිය ඇතුළු 9 දෙනෙක් සුනාමියෙන් මට නැතිවුණා. එයාලත් එක්ක ඒ ගමේම හිටිය මගෙ තාත්තගේ අම්මගේ පැත්තේ ඥාතීන් එක්ක සේරම 96 දෙනෙක් සුනාමිය නිසා මට නැති වුණා.”
ඒ අතරින් මොහොමඩ් සලිත්ගේ බිරිය වූ එදා 26 හැවිරිදි වියේ පසුවූ නූරුල් ඉනාමා, එවකට හය හැවිරිදි වියේ පසුවූ බාල දියණිය ෆාතිමා මිස්නා සමඟ සලිත්ගේ මස්සිනා, බිරිය සහ දරුවන් දෙදෙනා, සලිත්ගේ බිරියගේ නැඟණිය සහ දරුවාත් ඇයගේ තවත් නැඟණියකුත් ජීවත්ව ඇත්තේ එකම නිවෙසේය. වසර විස්සක් ගත වී ඇත ද එදා මෙන්ම අදත් ඔවුන් සිහිවන විට මොහොමඩ් සලිත්ගේ හදවත පෑරෙන බව කඳුළු පිරුණු දෑස සාක්ෂි දරන්නේය.
” මම වගේම අපේ ගමේ හිටිය වැඩි දෙනෙක් මාදැල් කර්මාන්තයේ නිරත වෙලා හිටියෙ. එදා සුනාමියට කලින් දවසෙ රෑත් මම දැල වටකරලා උදේ දැල් වේළෙන්න දාලා හිටියෙ. මට බිරිය කිව්වා වැඩිමහල් දුවයි පුතයි දහම් පාසල් යවන්න පාන් අරගෙන ඉක්මනට එන්න කියලා. මම ගෙදරින් යනකොට ගෙදර කට්ටියම ගෙදර හිටියා. මම පානුත් අරගෙන ඇවිත් දෙවට හන්දියේ මාළු කඩේ මුදලාලි එක්ක කතා කර කර ඉන්නකොට එකපාරටම මීටර 3ක් විතර මුහුද ඉස්සරහට ආවා. මුහුද සැර කාලෙට එහෙම පාරට රැල්ල ගහන එක අමුතු දෙයක් නෙවෙයි. හැබැයි එහෙම එන රළ ඒ එක්කම ආයෙ මුහුදට යනවා. ඒ වුණාට එදා රැල්ල ඇවිත් එහෙමම වතුර පිරෙන්න පටන් ගත්තා. අවුරුදු 18 ඉඳන් මුහුදු රස්සාව කරපු මට එකපාරටම සැකයක් ආවා, මොකක්හරි අමුතු දෙයක් වෙන්න යනවා කියලා. ජීවිතේ පළමු වතාවටයි මම එහෙම දෙයක් දැක්කෙ. මම ඒ එක්කම මුදලාලිට කිව්වා, මොනවහරි දෙයක් වෙන්න යනවා, ඉක්මනට මෙතැනින් යමු කියලා. ඒ එක්කම බයිසිකලේ නැඟලා මම ගෙදර ආවා.
මම දිගටම කෑගහගෙනමයි ආවේ මුහුදේ මොකක්හරි වෙන්න යනවා, හැමෝම ඉක්මනට අයින් වෙන්න කියලා. ඒත් මිනිස්සු ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒ වෙද්දිත් මුහුදෙ වතුර හිඳිලයි තිබිලා තියෙන්නෙ.ඒ වෙද්දි මුහුද මීටර් 20-30ක් පස්සට ගිහින්. වැල්ල අයිනෙම ගෙවල් 15ක් විතර තිබුණා. ඒ ගෙවල්වල හිටපු අයත් මාළු අල්ලන්න ගිහින්. මම මුහුද දිහාට නොගිහින් ගෙදරට දිව්වා. ඒත් ගෙදර කවුරුත් හිටියෙ නැහැ. ගෙදර වහලෙ උඩ හිටපු මස්සිනා දැකලා තියෙනවා සිමෙන්ති පැක්ට්‍රිය පැත්තෙන් වතුර පාරක් එනවා. එයා වහලෙන් බැහැලා හිටපු සේරම අරගෙන දුවලා. ඒ නිසයි මම එද්දි කවුරුත් ගෙදර ඉඳලා නැත්තෙ. මම රේල් පාර පැනලා දිව්වා. රේල් ගේට්ටුව දිහාට විතර දුවද්දි මට පිටිපස්සෙන් සද්දයක් ඇහෙන්න ගත්තා, ප්ලේන් එකක් බානවා වගේ ලොකු සද්දයක්. හැරිලා බලද්දි මහා වතුර කඳක් වේගයෙන් මගෙ පැත්තට එනවා. මම එහෙමම පාත් වුණා. වතුර ඇවිත් ගෙවල් සේරම යට වුණා. ඒ වෙද්දි එකම ගාලගෝට්ටියක්. මිනිස්සු, ළමයි කෑගහනවා, විලාප දෙනවා. වතුර උඩ මිනිස්සු පාවෙනවා. ඒ ගොඩක් අය ඒ වෙද්දිත් මළ කඳන් බවට පත්වෙලා. ඒ අතරේ පුංචි දරුවො පවා හිටියා. ඒ වෙද්දි වතුර අඩි 15කට වැඩිය උසට ඇවිත්. මම ගහක් අල්ලගෙන හිටියා. විනාඩි 4-5ක් ඒ විදිහට තිබිලා ආයෙමත් ක්ෂණිකව ආයෙමත් මුහුද පස්සට ගියා. ඒ එක්කම අර සද්දෙන් ආව වතුර පාර නැවතුණා. වතුර පාර අඩි 10-12ක් විතර අඩු වුණාට පස්සේ මම ගහෙන් බැහැලා අපේ කට්ටිය හොයන්න ගියා. ඒ වෙද්දි ගොඩක් අය ගිලිලා. පුංචි දරුවො, වයසක ගෑනු අය ගොඩක් ඒ වෙද්දිත් මුහුදට බිලි වෙලා. බිරියයි දරුවොයි මතක් වෙලා මම හිස හැරුණු අතේ දිව්වා. ඒත් ඒ වෙද්දිත් කටුගොඩ ජුම්මා පල්ලිය ළඟට යනකම් ඒ පැත්තම තනිකර මුහුදක් වෙලා තිබුණා. ”
එය චිත්‍රපට දසුනක් නොවේ. බියකරු උදම් රළ ඒ වන විටත් ඒ පළාතම විනාශ කරමින් තිබිණි. වතුරේ පාවෙන මළ සිරුරු අතරින්, ජීවිතය බේරා ගැනීමට මරු විකලෙන් දිව යන මිනිසුන් අතරින් මොහොමඩ් සලිත් ද සිය බිරිය, දරුවන් ඇතුළු ඥාතීන් සොයා දිව ගියේය.
“මම මුලින්ම පල්ලියට දිව්වා. එතැන දහම් පාසල් ගිය මගෙ දරුවො දෙන්නයි බිරියගේ නංගිගේ දරුවොයි ආරක්ෂිතව හිටියා. වතුරට අහුවුණු මගේ බිරියයි චූටි දුවයි කරාපිටියට ගෙනිච්චා කියලා ආරංචියක් ලැබුණා. ගිහින් බලද්දි ඒ දෙන්නා මාව දාලා සදහටම යන්න ගිහින්. ඒ වේදනාව, කම්පාව දරාගෙන මම රෝහලෙන් මරණ දෙක නිදහස් කරගෙන ඇවිත් එදා හවසම අවසන් කටයුතු සිදු කළා. මුහුද ගොඩගලන වෙලාවේ මගේ බිරියගේ අම්මයි නංගි කෙනෙකුයි ගෙදර නිදාගෙන ඉඳලා තියෙන්නේ. වතුර දාද්දි කට්ටියම දුවලා ගියාට මගේ බිරිය අම්මා ගැන හිත හිතා පරක්කු වෙලා තියෙනවා. ඒ නිසා තමයි එයයි චූටි දුවටයි බේරෙන්න බැරිවෙලා තිබුණේ. එයාට කලින් ගිය හැම දෙනාගේම ජීවිත බේරුණා.”
රුදුරු උදම් රළ සිය ජීවිතය සුනුවිසුනු කළ ද ජීවතුන් අතර සිටි සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් ජීවත් වන්නට මොහොමඩ් සලිත්ට සිදු විය.
” ඒක පුදුමාකාර කඩාවැටීමක්. අපි හැම අතින්ම කඩා වැටුණා. ඒත් අපේම අය අපිට කන්න බොන්න ඉන්න හිටින්න දීලා බලා ගත්තා. මාස තුනක් විතර මම මුහුදු රස්සාවට ගියෙත් නැහැ. ආයෙ රස්සාව පටන් ගන්න රාජ්‍ය නොවන සංවිධානයක් දැල්, ආම්පන්න අරන් දීලා මට උදව් කළා. ඒ අතරේ රට ඉන්න මගේ මාමා කෙනෙක් ගෙයක් කුලියට ගන්න මුදලින් උදව් කළා. මමයි දරුවො දෙන්නයි එක්ක බිරියගේ අම්මත් අපි එක්ක ඒ ගෙදරට ආවා. මාස කීපෙකට පස්සේ දරුවො ආයේ පාසල් යන්න පටන් ගත්තා. මේ සිදුවීම වෙලා අවුරුද්දකට විතර පස්සේ මම නැවත විවාහ වුණා. මම ඒ තීරණය ගත්තේ දරුවන් රැකබලාගෙන රැකියාවත් කරන්න ඕන නිසා එයාලගේ අනාගතය ගැන හිතලා. මම විවාහ වුණු කෙනාටත් දරුවෙක් හිටියා. එයා මගේ දරුවන්ටත් අම්මා කෙනෙක් වුණා. මේ වෙද්දි මගේ දුවයි පුතයි විවාහ වෙලා ඔවුන්ටත් දරුවො ඉන්නවා. ඒත් සුනාමියෙන් අපට වෙච්ච විපත, ඒ වේදනාව කවදාවත් නැති වෙන්නේ නැහැ. මම මුහුදු රස්සාව පටන් ගත්තෙ අවුරුදු 18න්. මගේ ජීවිතේ රැකපු, මගේ දරු පවුල පෝෂණය කරපු මුහුද නිසාම අපිට කරදරවලට මුහුණ දෙන්න වුණා. මගේම අය 9ක් එක්ක එක ගමේ ජීවත් වුණු දුක සැප බෙදාගත්ත 96 දෙනෙක්ම මහමුහුද බිලි ගත්තා. ඒක කවදාවත් අමතක නොවන මහා වේදනාවක්. සුනාමියෙන් අපිට හැමදේම නැති වුණානේ. ඒ නිසා බිරියගෙයි දරුවගෙයි මූණ බලා ගන්න එයාලාගේ ෆොටෝ එකක්වත් ඉතිරි වුණේ නැහැ. ඒ හැමදේම සුනාමියට ගියා. ඒත් එයාලා හැමදාම අපේ හිත්වල ජීවත් වෙනවා.”
ඒ හඬ වේදනාබරිත වුවද අදටත් ඔහු ජීවත් වන්නේ මහමුහුද සමඟය. සුනාමියෙන් විපතට පත් වින්දිතයන් වෙනුවෙන් කටුගොඩ සුනාමි වත්තේ ඉදි කළ නිවෙසක ජීවත් වන මොහොමඩ් සලිත් දෙවට ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපතිත්වය ද දරයි.
“සුනාමිය ඇවිත් අපේ අයව බිලි අරගෙන ගියා කියලා මහ මුහුද එක්ක තරහා වෙන්න බෑ. අපේ ගොඩක් අය ජීවත් වෙන්නේ මුහුදු රස්සාවෙන්. සුනාමියක් ඇති වෙන එක අපිට වළක්වන්න බැහැ. ඒක සොබාදහමින් එන දෙයක්. නමුත් මිනිස්සු මුහුද ඇතුළු පරිසරයට කරන හානිය ගොඩක් වැඩියි. මුහුද යටට ගියාම අපි දකිනවා, පොලිතීන්, ප්ලාස්ටික් වගේම විවිධ කැළිකසළ ගොඩගැහිලා. ඒවාත් පරිසර විනාශයට වෙරළ විනාශයට බලපානවා. සුනාමියක් ඇතිවීම අපට වළක්වන්න බැරි වුණත් මිනිස්සු විදිහට අපි මුහුදට, පරිසරයට හිතාමතාම කරන විනාශකාරි වැඩවලින් වැළකිලා ඉන්න බැරිකමක් නෑනේ. සුනාමියට අවුරුදු 20ක් පිරෙන දවසක මට හැම දෙනාගෙන්ම ඉල්ලන්න තියෙන්නේ ඒ ඉල්ලීම. අපි අපේ පරිසරය ආරක්ෂා කළොත් ඒ පරිසරය, සොබාදහමම අපිවත් ආරක්ෂා කරයි. ”
මොහොමඩ් සලිත්ගේ කොපුලේ දැන් ඇත්තේ කඳුළු පැල්ලම්ය. ඔහුගේ උපේක්ෂා සහගත බැල්ම මඟහැර මම මහසමුදුර දෙස බැලීමි. මොහොතකට පෙර මහ රළ පෙරළමින් හිතුවක්කාර වූ සයුරෙහි දැන් ඒ කලබලය නැත. වසර විස්සකට පෙර සිදුවූ තම උමතු වියරුව සයුරට ද දැන් අමතකව ඇති සෙයකි. එය සදහටම අමතක වෙනවා නම් හොඳය. එසේ වුවහොත් යළි කවරදාකවත් සුනාමියක් නිසා අපට හඬන්නට සිදු නොවනු ඇත.
ඡායාරූප- දිනූෂා වීරරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්