උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ එනම් 2024.12.14 වන දිනයෙන් මෙවර සිරිපා වන්දනා සමය ඇරඹිණ. අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයට වැඩම කරවීමේ අසිරිමත් මහා පෙරහැර එම විහාරස්ථානයෙන් ගමනාරම්භ කර උඳුවප් පොහෝ දින අලුයම ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීමත් සමඟ සිරිපා වන්දනා සමය ආරම්භ විය. එතැන් සිට නන් දෙසින් දෙස් විදෙස් සැදැහැවත් ජනයා අඩ වසරක කාලයක් කොත් කැරැල්ලක හැඩයට සමාන සමනළ කන්ද මුදුනේ සිරිපා වන්දනාවට වැල නොකැඩී පැමිණෙති.
මාර්ග 4 ක්
ලංකාව ඇතුළත තමන් කළ සංචාර පිළිබඳ සටහන් ඉදිරිපත් කළ ආර්. එල්. බ්‍රෝහියර් එරත්න කුරුවිට මාර්ගය, දන්ඕවිට සිට දැරණියගල හරහා වැටී ඇති මාර්ගය, රත්නපුර සිට වේවැල්කැටිය හරහා අලුපොත මෝටර් රථ මාර්ගය සහ ශ්‍රී පාදයට විහිදෙන මාර්ග අතුරින් ඉතා ජනප්‍රිය මාර්ගය වූ ගිලීමලේ මාර්ගය යනුවෙන් එකල සමනළ කන්දට ළඟාවිය හැකි මාර්ග 4ක් පිළිබඳ සඳහන් කරයි. වර්තමානයේ සිරිපා වන්දනාවේ යන සැදැහැවතුන් හැටන් – නල්ලතන්නිය මාර්ගය, රත්නපුර – පලාබද්දල මාර්ගය සහ කුරුවිට – එරත්න මාර්ගය භාවිතා කරන අතර බොහෝ සැදැහැවතුහු හැටන්-නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ගමන් කරති. එම ගමන් මාර්ගය පහසු සහ දුරින් අඩුවීම ඊට හේතුව විය හැකි ය.
සමනළ කන්ද, සුමනගිරි, සුමනකූට, සුමනකූට පබ්බත, සුමනගිරි, සමනොළ, සමනොළකුළ, සමන්තකූට පර්වතය, ශ්‍රී පාද කන්ද, සිරිපාදය, ආදම්ගේ කන්ද හෙවත් ඇඩම්ස් පීක් (Adam’s Peak) යනුවෙන් හඳුන්වන මෙම පර්වතය අඩි 7360ක් හෙවත් මීටර් 2244ක් උසැති ශ්‍රී පාදස්ථානය පිහිටි කඳු වැටිය යි. ශ්‍රී පාදස්ථානයට හැටන් මාර්ගයෙන් සහ රත්නපුර මාර්ගයෙන්ද යා හැකි ය. එහෙත් මෙයින් බෙදී යන තවත් පාරවල් කිහිපයකි. කිරිඇල්ලේ ඤාණවිමල හිමි ‘සුමනකූට’ පිළිබඳ සබරගමුවේ පැරණි ලියවිලි කෘතියේ ‘සුමන නම් ඇති ඔහුගේ නිවාසස්ථානය වූ නිසා මේ පර්වතය සුමනකූට නම් වීද නැතහොත් හාත්පස පිහිටි පර්වත කූට අතුරින් මෙය අතිශය ප්‍රභාසම්පන්න කූටය නිසා දෝ අනාදිමත් කාලයක සිට පූජනීය ස්ථානයක් වශයෙන් ජනයන්ගේ මන පිනවන කූටයක් නිසාදෝ ඒ නම ලැබී එහි අධිපතියාද සුමන නාමයෙන් හැඳින්වීදැයි කිව නොහැක’ යනුවෙන් සඳහන් කරයි.
ශ්‍රී පාදය පිළිබඳ සාහිත්‍යයේ ලියැවෙන හැටි
සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙහි ශ්‍රී පාදස්ථානය සහ සමන් දේව සංකල්පය වර්ණනා කළ අවස්ථා හමුවේ. හංස සන්දේශයේ කැලණි ගඟ පිළිබඳ කරන විස්තරයේ දී සමනළ කන්දෙහි සිරිපා පිහිටුවීමේ මංගල්‍යය සඳහා වඩින බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේ සඳහා මාණික්‍ය අතුරන ලද මාර්ගයක් සේ කැලණි ගඟ හංසයාට දර්ශනය වන බව කතුවරයා කියයි. කැලණි ගඟ පිළිබඳ කරන වර්ණනයේ දී සමනළ කන්දෙන් පටන් ගන්නා කැලණි ගඟ සම්බන්ධ සෞන්දර්යාත්මක අදහසක් ඉදිරිපත් කිරීමට ශ්‍රී පාදය පිහිටුවීමේ ඓතිහාසික සිදුවීම ද මෙසේ ගලපයි. අහසින් පියාඹා යන හංසයාට ගංගාව දර්ශනය වන ආකාරය මෙසේ සිත්තම් කිරීමට කතුවරයා සමත් වී ඇත.
සමනොළ මුදුනැ සිරිපද ඔබන මඟුල ට
නිකසළ මහ සඟන ගෙන වඩින මුනිඳු ට
පැහැදුළ සුනිල් මැණිකෙන් කළ මඟ ලෙස ට
මනදොළ පිරෙයි ගඟ සිරිසර දුට තොප ට
(හංස සන්දේශය :77 කවිය)
සැළලිහිණි සන්දේශයෙහි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ශ්‍රී ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වා සන්දේශයක් ගෙන ගිය සැළලිහිණියාට නැඟෙනහිර දිශාවෙන් සමනොළ ගල දර්ශනය වන බව පවසයි. බුදුන්ගේ ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා සුමන සමන් දිව්‍ය රාජයා දෙවඟනන් පිරිවරා මදාරා පරසතු මල් රැගෙන පැමිණෙන බව කියන කවියා බටහිර වෙරළේ සිට නැඟෙනහිර බලන අයෙකුට සිරිපාදය දර්ශනය වන ආකාරය කවියට නගයි.
සුරරද සමන් සමගින් සුර‘ඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර
(සැළලිහිණි සන්දේශය: 25 කවිය)
සීතාවක සමයේ රචිත සැවුල් සන්දේශයෙහි ද බුදුන් වහන්සේගේ සිරිපතුල ප්‍රතිෂ්ඨාපිත සුමන දිව්‍ය රාජයා සහ දිව්‍යාංගනාවන් වසන සමන්ගිර නරඹන ලෙසට සැවුලිඳුට පවසයි.
මනරම් සුරඹ සමඟින් සුර රද සුමන
ගඳ දුම් මල් පහන් පුදකරැ නිති වඳින
නර දම් සැරි සිරිපද ලසිනි වොරඳන
විහිගුම් සමන්ගිර බල පෙර දෙස පෙනෙන
(සැවුල් සන්දේශය :126 කවිය)
පැරකුම්බා සිරිතෙහි ද සමනළ ගිර පිළිබඳ සඳහන් වන්නේ මේ ආකාරයෙනි.
කියග මැගිය එනු කොහි සිටැ?
දද සමනොළ ගොසි නා
නොය කියමුතු එදිගැ බමුණ සුමන සුරිඳු විසි නා
ගිය කලැ දෙදහස් පන්සිය රජෙක් එතැයි දිය නා
කිය විය තන්වැසිය එනම්? පැරකුම් රජ මෙදි නා
(පැරකුම්බා සිරිත :116 කවිය)
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගේ නිර්මාණ අතර ද ශ්‍රී පාදය පිළිබඳ නිර්මාණ හමුවේ.
මුනි සිරිපා සිඹිමින් නේ – සමනොළ ගල පෙදෙසින් නේ
මඳ සුළඟයි මේ එන් නේ – මගේ පුතා නැළවෙන් නේ
කොළඹ යුගයේ කවි නිර්මාණ අතර මහවැලි කඳු මුදුනින් ආරම්භ වන සතර මහා ගංගා පිළිබඳ සඳහන් කරමින් රචනා කළ පහත කවිය හමුවේ.
මහවැලි කැලණි කළු වළවේ යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණිකැට දිය යට හංගා
මේ හැරුණ විට ශ්‍රී පාද වන්දනා ගමනේ දී පමණක් නොව ගොයම් කැපීමේ දී ඔන්චිලි වාරම්වල දී සහ ඇතැම් ශාන්තිකර්මවල දී පවා ගායනා කරන තුන්සරණේ කවිවල ද මේ පිළිබඳ කියවේ.
සාම්ප්‍රදායික වත්පිළිවෙත්
සිරිපා වන්දනාව හා බැඳුණු සාම්ප්‍රදායික වත්පිළිවෙත් කිහිපයකි. ඒ අතර සිරිපා වන්දනාවට යන සැදැහැවත්හු තුන්සරණේ කවි ගායනා කරති. මුල්වරට වන්දනාවට සහභාගිවන්නේ ‘කෝඩුකාරයා‘ ය. එසේ මුල්වරට සිරිපා වන්දනා ගමනට එක්වන කුඩා දරුවෙකු හෝ දැරියක ‘කිරි කෝඩු‘ ලෙසින් ද ප්‍රථමවරට සිරිපා වන්දනා ගමනට එකතුවන වැඩිහිටියෙකු ‘දඬුකෝඩු‘ ලෙසින් ද හඳුන්වයි. ඔවුන් ‘සීත ගඟුල‘ යනුවෙන් හඳුන්වන ස්ථානයෙන් ස්නානය කළ යුතු ය. හිසේ දෙහි කැබැල්ලක් ගා, සීත ගඟුලෙන් නා, සුදු පිරුවටයක් ඇඳිය යුතු ය. ‘ඉඳිකටු පාන‘ යන නමින් හඳුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් දවටා යාම සිරිතකි. සිරිපා වන්දනාකරුවන් මකර තොරණ, ලිහිණි හෙල, කටුකිතුල වංගුව, ධර්මරාජගල, සීතගඟුල, ගෙත්තම්පාන, හැරමිටි පාන, අහස්ගව්ව, මහගිරිදඹ පසුකර සිරිපා මළුවට ළගා වෙයි. සිරිපා පද්මයේ සිරස තබමින් තුන්වරක් බැති සිරිත් වන්දනා කරති. පැමිණෙන ශ්‍රද්ධාවන්තයන්ට තමා සිරිපා වන්දනාවට පැමිණි වාර ගණන සනිටුහන් කරන ඝණ්ඨාරය සුවිශේෂි සංකේතයකි. එමෙන්ම මෙහි ඇති නොනිවී දැල්වෙන දොළොස් මහේ පහනින් රැස්කමින් ලබා ගන්නා තෙල් බිඳකින් නොයෙක් රෝ බිය සුවකර ගැනීමට හැකියැයි ඔවුහු විශ්වාස කරති. අලුයම නැඟෙනහිරින් හිරු උදාවීම සිරිපා උඩ මළුවේ දී හඳුන්වන්නේ ‘ඉර සේවය‘ යනුවෙනි. මෙම ස්වාභාවික සිදුවීමේ දී සිරිපා කන්දේ සෙවණැල්ල ත්‍රිකෝණාකාරව බටහිර ප්‍රදේශයට පතිත වෙයි.
ශ්‍රී පාදය ආශ්‍රිත කඳුකර වැසි වනාන්තරයට අවේණික ශාක විශේෂ මෙන් ම සත්ව විශේෂ ද වේ. ඒ අනුව ශ්‍රී පාද අඩවියට පරිසර විද්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ වටිනාකමක් ලැබේ. සිරිපා වන්දනාවට පැමිණෙන පිරිස් කැළි කසළ තැන තැන දමමින් මේ පරිසර පද්ධතියට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරීම ශෝචනීය තත්ත්වයක් බව කිව යුතු ය. කෙසේ වෙතත් මේ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගනිමින් වන්දනාවේ යෙදීම සැහැදැහැවතුන්ගේ යුතුකමක් බව පෙන්වාදීම අත්‍යවශ්‍ය ය.