Home » දුම්රිය ප්‍රමාදයෙන් දුක් විඳින උතුරු දුම්රිය මගීන්

දුම්රිය ප්‍රමාදයෙන් දුක් විඳින උතුරු දුම්රිය මගීන්

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

මහව සිට කුරුණෑගල ආශ්‍රිතව දුම්රිය ස්ථානවලින් දෛනිකව අති විශාල මගීන් සංඛ්‍යාවක් කොළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රැකියා සඳහා පැමිණෙන අතර කාර්යාල වෙත පැමිණීමේදී සහ සේවා නිම වී නිවෙස් කරා ගමන් කිරීමේ දී සිදු වන දුම්රිය ප්‍රමාද වීම් හා නිසි පරිදි ධාවනය නොවීම හේතුවෙන් මේ වන විට ඔවුන් මහත් වූ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත.

මහව සංධියෙන් පෙ.ව. 4.50ට ගමන් ආරම්භ කර මොරටුව බලා ධාවනයවන කාර්යාල දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයට ළඟාවන විටත් මගීන්ගෙන් පිරී පවතින අතර, ඉන් අනතරුව කොළඹ බලා කුරුණෑගලින් පෙ.ව. 6.15ට ගමන් ආරම්භ කරන දුම්රිය බොහෝ දුම්රිය ස්ථානවල නතර කිරීම හේතුවෙන් එය කොටුවට ළඟා වන විට පෙ.ව. 9.00 පමණ වේ.

මේ හේතුවෙන් අපහසුතාවෙන් වුව ද මහව දුම්රියෙන් ගමන් කිරීමට මගීන්ට සිදු ව ඇත.

එමෙන් ම කොළඹ කොටුවෙන් ප.ව. 4.47 (සංශෝධනයට පෙර 4.40) ගමන් ආරම්භ කරන අංක 468 දරන කුරුණෑගල දුම්රිය ප.ව. 7.00 වන විට ගමනාන්තයට ළඟා වීමට නියමිතව තිබුණත් මේ වන විට එය කුරුණෑගලට ළඟා වන විට ප.ව. 8.00ට ආසන්න වේ.

දුම්රිය වේලාවන් සංශෝධනයෙන් අනතුරුව මීට පෙර ප.ව. 4.50ට කොටුවෙන් ගමන් ආරම්භ කළ රඹුක්කන දුම්රිය ප.ව. 4.40ට රඹුක්කන බලා පිටත්වන අතර ඒ හේතුවෙන් ද කුරුණෑගල දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාදව ධාවනය සිදු වේ.

නමුත් රඹුක්කන දක්වා ගමන් ගන්නා මගීන් හට එම කාල පරාසය තුළ ගමන් කිරීමට විකල්ප දුම්රිය ගණනාවක් (ප.ව.3.45, ප.ව. 4.35, ප.ව. 4.50, ප.ව. 5.15 ශීඝ්‍රගාමී) ඇත. මේ හේතුවෙන් ප.ව.5.15 / 5.35 රඹුක්කන හා මහනුවර බලා ධාවනය වන දුම්රියන් සඳහා ඉඩ දීමට කුරුණෑගල දුම්රිය බොහෝ වේලාවක් මග නවතාගෙන සිටීම ද කනගාටුදායක තත්ත්වයකි.

කුරුණෑගල දුම්රියෙහි මහව දක්වා ගමන් ගන්නා මගීන් හට කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් වෙනත් දුම්රියකට මාරු විය යුතු අතර, එය පිටත් වීමට නියමිත වේලාව ප.ව. 7.05 වුව ද එය ද නිසි වේලාවට ගමන් ආරම්භ කරන්නේ නැත. එයට හේතුව වී ඇත්තේ මහව සිට කුරුණෑගල අතර දුම්රිය හුවමාරු ස්ථාන ඇත්තේ වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම පමණක් වීම නිසාත්, ඒ කාලය තුළ ධාවනයවන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් හා අනෙකුත් දුම්රියන් සඳහා ඉඩදීම හේතුවෙන් කුරුණෑගල සිට මහව දක්වා ගමන් ගමන් කරන (බේබි) දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වේ.

මෙවැනි කරුණු හේතුවෙන් අගතියට පත් කුරුණෑගල මහව කාර්යාල මගීන් මේ සඳහා විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

පෙ.ව. 6.15ට කුරුණෑගල සිට කොටුව බලා ධාවනය වන දුම්රිය මහව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව වෙත සීමිත නැවතුම් කාල සැකසුමක් යටතේ පෙ.ව. 8.20 වන විට ළඟා කර වීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.

ප.ව. 4.47ට කොටුව සිට කුරුණෑගල බලා ධාවනය වන දුම්රිය නැවත පෙර පරිදි ප.ව. 4.40ට අවම දුම්රිය ස්ථානවල නවත්වමින් මහව සංධිය දක්වා ධාවනය කරවීම.

ප.ව. 4.15ට කොටුව සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වන දුම්රිය කුරුණෑගල සිට මහව දක්වා ඇති වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම දුම්රිය ස්ථානවල නැවැත් වීමට කටයුතු කිරීම.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසා අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අගතියට පත් දුම්රිය මගීන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division