ආණ්ඩුවේ ‘ජාතික පුනරුද දැක්ම’ පිළිබඳ ඔබ අර්ථ දක්වන්නේ කවරාකාරයටද?
20වන සියවස ආරම්භයේදී මේ රට තුළ ලොකු ප්‍රඥා තරංගයක් නිර්මාණය වුණා. අවාසනාවට ලංකාවේ මේ ප්‍රඥා තරංගයේ යෂ්ටිය අපෙන් ගිලිහුණා. අන්න ඒ ගිලිහුණ තැනින් අප නැවත පටන් ගන්නවා කියන අදහසයි මින් ගම්‍ය වන්නේ.
මේ රටේ අධ්‍යාපන, ඉංජිනේරු, වෛද්‍ය, සමාජ සංස්කෘතික, කලා හා ආගමික ආදී ක්ෂේත්‍ර ගණනාවක මේ ආකාරයේ බලපෑම් සහගත පුද්ගලයන් බිහි වුණා. ඒ අය විසින් ඉතාම බලපෑම් සහගත දැනුම් සම්පාදනයක් සහ සමාජ මැදිහත් වීමක් සිදු කළා. නිදසුනක් ලෙස ලංකාව මෙතෙක් බිහිකළ විශිෂ්ටතම ඉංජිනේරුවරයා ලෙස ඩී.ජේ. විමලසුරේන්ද්‍ර අවිවාදයෙන් නම් කරන්න පුළුවන්. නමුත් අපි ඔහු හඳුනගෙන හිටියේ ලංකාවට ජල විදුලිය හඳුන්වා දුන් “ජල විදුලියේ පියා” යන අර්ථයෙන් පමණයි. ඔහු අපට වැදගත් වෙන්නේ ඒ අර්ථයෙන් පමණක් නෙමෙයි. 1918 දී ඉංන්ජිනේරු සංසදයට ශ්‍රී ලාංකිකයකු විසින් ඉදිරිපත් කළ පළමු පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ ඔහු. කැලණි ගඟේ සහ මහවැලි ගඟේ ජලය මඟින් ජල විදුලිය නිපදවලා ඉතිරිවන බලශක්තියෙන් විදුලි දුම්රිය ධාවනය කළ හැකි බව සිය පර්යේෂණ පත්‍රිකාව මඟින් ඔහු පෙන්වා දී තිබෙනවා. ඉලෙක්ට්‍රික් ට්‍රේන් යන වචනය ඔහු 1918දී හඳුන්වාදී තිබෙනවා. මේ මහා ප්‍රඥා තරංගයක් අප අතට පත්වෙන්න තිබුණු මොහොතක්. නමුත් ඒ කාලේ අපව පාලනය කළ යටත්විජිතවාදීන් ඊට කැමති වන්නේ නැහැ. මේ ආකාරයට අපේ රට ඔසවා තැබිය හැකි ක්ෂේත්‍ර ගණනාවක ප්‍රඥා තරංග අපෙන් ගිලිහී ගියා. මේ ප්‍රඥා තරංගය නැවත උපද්දවා ලංකාව දේශපාලනික වශයෙන් පරිවර්තනීය තැනකට රැගෙන යෑමයි, අපේ අරමුණ වන්නේ.
පැවති ආණ්ඩුවලට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව වටහා ගැනීමට යාමත්; ඒ මත පිහිටා කරන චෝදනාත් කොතරම් දුරට සාධාරණද?
මේ ආණ්ඩුවේ 159 දෙනා දිහා පැරණි දේශපාලකයන් දිහා බලන දෘෂ්ටි කෝණයෙන් බලලා තේරුම් ගන්න බැහැ. ඒක වැරදි වටහා ගැනීමක්. අප කරන්නේ පුනරුද දේශපාලනයක්. අපගේ දේශපාලන භූමිකාව සංකල්පීයව වටහා ගැනීමට විපක්ෂයට තිබෙන නොහැකියාව නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව මේ දක්වා විපක්ෂය විසින් නැඟූ චෝදනාවලින්ම තේරුම් ගන්න පුළුවන්. විපක්ෂයට සියලු සටන් පාඨ අහිමි වී තිබෙනවා. අද ඔවුන්ට කියන්න කතාවක් නැහැ.
දිනපතා අපෙන් අහන ප්‍රශ්න ඔවුන් ඇසිය යුතු වන්නේ තමන් වරින් වර සාමාජිකයන්ව සිටි පැරණි ආණ්ඩුවලින්මයි. අප අද මේ භූක්ති විඳිමින් තිබෙන්නේ ඒ අය විසින් ගෙනගිය විකෘති ව්‍යාකූල රාජ්‍ය කළමනාකරණයෙහි ප්‍රතිවිපාක.
හාල්, පොල්, ලුණු. වගා හානි, වන්දි, පත්වීම්… මේ මොන දේ ගැන ඇහුව්වත් මේ අවුල හැදුවේ අපි නෙමෙයි; ඔවුන්. නමුත් එය එහෙමයි කියමින් මේ ප්‍රශ්න අතහරින්න අප සූදානම් නැහැ. ඒ සඳහා අප විසින් සකසා ගත් ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා නිශ්චිත වැඩපිළිවෙලක් තුළ විසඳුම් ලබාදීමයි අපේ අරමුුණ .
මෙහිදි අප විපක්ෂයට ආරාධනා කරන්නේ මොනව හරි කියන්න ඕනකමට ආණ්ඩුව ප්‍රශ්න කරන්නේ නැතිව වැදගත් තර්කයක් හැම අවස්ථාවකම කරන්න. එය ජනතාව පැත්තෙන් වඩාත් වැදගත් ප්‍රශ්න බවට පත්කර ගන්න. ආණ්ඩුවකට එවැනි සාධනීය ප්‍රශ්න නැඟීම ඉතාමත් වැදගත්. ආණ්ඩුවට අවශ්‍ය වන්නෙ එවැනි විචාරශීලි විපක්ෂයක්.
නමුත් විවිධ තනතුරු සඳහා ආණ්ඩුව විසින් පත් කළ දේශපාලඥයන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී තිබෙනවා.
අප අනුගමනය කරන ප්‍රතිපත්ති රාමුවේ හිඳිමින් තමන්ට නිවැරදි වෙන්න අවස්ථාවක් ඉතිරි කරගෙන හිටපු කථානායකවරයා සිය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වුණා. එතුමා මේ වන විට තම සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා ජපානයට ගොස් තිබෙනවා. ඔහු එම ගැටලුව නිරාකරණය කරගෙන ආපසු පැමිණේවි. ඒ වගේම අපේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි වාචිකව පිළිතුරු බැඳල ඔහුට එල්ලවෙලා තිබුණු චෝදනාව නිවැරදි කළා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහෝදරයට උපාධියක් නැති බවත්; ඔහු ඉංජිනේරුවෙක් නොවන බවත් චෝදනා නැඟුවා. ඔහු ඊට ප්‍රතිචාර වශයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් මුල් උපාධි සහතිකය රටටත් මාධ්‍යටත් ඉදිරිපත් කළා. මේ ආකාරයට අපේ අවංකභාවය ආරක්ෂා කරගන්න අප කටයුතු කර තිබෙනවා. දශක ගණනාවක මහන්සියෙන්, විශාල ජීවිත පරිත්‍යාගයකින් ගොඩනඟා ගත්ත මේ අවස්ථාව ආරක්ෂා කරගන්න අපි හැමෝම බැඳී සිටිනවා.
ආණ්ඩුවට ලැබී තිබෙන මේ ජනවරම විපක්ෂය විසින් නිවැරදිව කියවා නොගැනීමේ අර්බුදයක්ද මේ තිබෙන්නේ.
මේ ලැබුණු ජනවරම ඉතාම දුර්ලභ ජනවරමක්. ඒ ජනවරමේ බර අපට හොඳට දැනෙනවා. සිංහල දෙමළ මුස්ලිම් කියන ප්‍රධාන ජනවර්ග තුනම ලංකාවේ සිවු දිසාවෙන්ම ලබාදී තිබෙන පණිවිඩය මෙතෙක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලබාදුන් ආකාරයේ පණිවිඩයක් නෙමෙයි. විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් කියන අපේ සහෝදර ජනවර්ග දෙක අප කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තුව සහ විශ්වාසය විශාල එකක්. ඒ ජනතාව ජීවත් වූ උතුර සහ නැඟෙනහිර පලාත්වල තිබුණු ඔවුන්ගේ කේන්ද්‍රීය දේශපාලන පක්ෂ පසෙකට දමමින් ජාජබ ඔවුන්ගේ කේන්ද්‍රීය දේශපාලන පක්ෂය ලෙස තෝරාගෙන තිබෙනවා. අපි තමයි ඔවුන්ගේ ආරක්ෂකයා වෙන්නේ. මේ බව විපක්ෂය තේරුම් ගන්න අවශ්‍යයි. උතුරත් පසුකර ඉන්දියාවත් පසුකර මේ ජනවරමේ ගැබ්ව තිබෙන අදහස වන්නේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන්න කියන සාරාර්ථ පණිවිඩයයි. අප ජාතිවාදයට ආගම්වාදයට නැවත හිස ඔසවන්න නොදෙන බව තරයේ ප්‍රකාශ කර සිටියදී පවා ඇතැමුන් මේ රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් අවුළුවන්න උත්සාහ ගනිමින් තිබෙනවා. ආණ්ඩුවටත් විපක්ෂයටත් ලැබී තිබෙන මේ රමණීය මොහොත මින් පෙර කිසිම දිනක ලැබී නැහැ. මේ දේ විපක්ෂය විසින් තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. ඔවුන් මේ අවකාශය විනාශ නොකර රැකිය යුතුයි. ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ඒ අනුව බව ඔවුන් හොඳින් තේරුම්ගෙන කටයුතු කළයුතු වෙනවා.
පසුගිය දශක ගණනාවක් තිස්සේ ඔබ නියෝජනය කරන අමාත්‍යාංශය පැවැතියේ ජාතික උත්සව පැවත්වීමට කටයුතු කරන අමාත්‍යාංශයක් ලෙස පටු වෙලයි. නමුත් මෙය ඊට එහා යා යුතු වඩා වගකීම් සහගත අමාත්‍යාංශයක්.
මීට ලබාදී තිබෙන අඩු තක්සේරුව තේරුම් ගන්න පසුගිය කාලයේ එක්තරා මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශම ප්‍රමාණවත්. ඔහු පවසා සිටියේ “
අඩුම තරමින් මට සංස්කෘතික අමාත්‍යංශයවත් නැද්ද කියලා” මේ වාක්‍ය කෙතරම් ඛේදජනකද? සංස්කෘතික අමාත්‍යාංශය හිමිවෙන්න ඕන අඩුම තරමින් නෙමෙයි වැඩිම තරමින්. ඒ බර තේරුම් නොගත්ත දේශපාලන අතීතයක් අපට තිබුණේ. මෙහි ප්‍රධාන කාර්යය බවට පත්ව තිබුණේ රාජ්‍ය නිදහස් උත්සවය, රාජ්‍ය නාට්‍ය උලෙළ, රාජ්‍ය සාහිත්‍ය උලෙළ, රාජ්‍ය නර්තන උලෙළ , පාසල් සහ සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍රකරගත් සාහිත්‍ය උත්සව පවත්වා සහතික පත් ප්‍රදානය කිරීම, කලා භූෂණ සම්මාන පිරිනැමීම ආදීය නිශ්චිත දින වකවානුවල ක්‍රියාත්මක කිරීමට පමණයි. මගේ අවංක අරමුණ වන්නේ ඊට එහා ගිය ජාතික වැදගත්කමකින් යුතු විෂය පථයක් මීට හඳුන්වා දීමයි.
මෙයට වසර 30-40ට පෙර කවුරුන් හෝ මෙහි වැදගත්කම ප්‍රමාණිකව හඳුනගෙන කටයුතු කර තිබුණා නම්; ඔහු නතර කළ තැනින් මෙය ඉදිරියට රැගෙන යාමේ වගකීමයි මට පැවරෙන්නේ. නමුත් එහෙම හඳුන ගන්න කිසිදු ප්‍රතිපත්තියක් ඉතිරි වී නැහැ. ඒ නිසා අලුතින් එන කෙනාට ප්‍රතිපත්ති හදලා එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය විශිෂ්ටයන් තෝරා බේරාගෙන කටයුතු කිරීමට සිදුව තිබෙනවා. මේ දේවල් සිදු කරන්න ඇතැම් විට මේ ලැබී තිබෙන කාලයම වැයවෙන්න පුළුවන්. මේ අමාත්‍යංශය යටතේ අයතන 26ක් පවතිනවා. මේ ටිකේ තමයි ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතය තිබෙන්නේ. ඒ නිසා මගේ පළමු ප්‍රයත්නය වන්නේ මේ සඳහා තිරසර ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමයි.
ඒ අනුව ජාජබ විදියට මේ සියල්ල තේරුම් ගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ රටට ඉදිරිපත් කළ ප්‍රතිපති මාලාව ක්‍රියාවට නැඟීමයි මගේ අරමුණ වන්නේ.
ඡායාරූප – නිශ්ශංක විජේරත්න