නත්තල උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. නත්තලේ අරුත ගැන කියැවෙන ගීත කවි අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එමෙන්ම නත්තල නිමිති කරගෙන කිතු උපත සිහි ගන්නවමින් අපේ රටේ දැන් දැන් කිසිදු ආගම් භේදයකින් තොරව ගවලෙන්, නත්තල් සැරසිලි ආදිය නිර්මාණය වීම දැන් සාමාන්‍ය වෙමින් පවතී. අප බාල වියේදී එකල අසල්වැසි නිවෙස්වල කුඩා වුන් එකතු වී නත්තලට ගවලෙන් හැදූ අයුරුත් කැරොල් ගීතිකා ගයමින් ගෙයින් ගෙට ගිය අයුරුත් සිහි වේ.
නත්තල් උත්සවයට කතෝලික යහළු යෙහෙළියන් සමඟ ඒ දවස් ගෙවූ අප වෙසක් පොහොයට එක් වී පහන් කූඩු තනා වෙසක් උත්සවය සැමරීම ද කදිම සැමරුම්ය. එක එක විවිධ ආගම් අදහන විවිධ ජාතීන්වල අපට ඒ සමගිය එකමුතුකම කියා දුන්නේ වැඩිහිටියන් විසිනි. ජාති ආගම් භේදවලින් තොර වන තරමට අපට යා හැකි දුර බොහෝය. ලැබිය හැකි ජයග්‍රහණ ද බොහෝය.
එදා බෙත්ලෙහෙම්පුර දිළිඳු ගවලෙනකදි මෙලොව එළිය දුටු ජේසූ බිලිඳා ලොවටම අරන් ආවේ සාමයේ පණිවුඩයයි. දුගී දුප්පතුන්ගේ දුක නැති කරන්නට උන්වහන්සේ උත්සුක වූහ. ජාතීන් අතර යුද්ධයට විරුද්ධ වූ උන්වහන්සේ ලෝකයටම සාමයෙන් සිටින්න යැයි ඒ අගනා පණිවුඩය ගෙන ආවේය.
නමුදු එදා සිට අද දක්වා එන මේ මිනිසුන් එයට කන්දුන් බවක්, නොපෙනේ. අපට එය නොදැනේ. ලෝකයම සාමයෙන් අත්වැල් බැඳගන්නා දිනක ඒ ඒ සාමයේ හසරැලි දකින්නට අපි කවදා නම් වාසනාවන්ත වෙමුද?
ගී පද රචනයේ යෙදෙන යතිවරයාණන් වහන්සේ ද ලොවට කියන්නට හදන්නේ ඒ පණිවුඩයයි. ප්‍රවීණ ගී පද රචක රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් තමන් දුටු කතෝලික ආගමේ එන දර්ශනය කෙටියෙන් නිර්මාණාත්මකව දහම් පණිවුඩයක් ද සමඟ ලියන්නේ මෙලෙසිනි.
“නෙත කඳුළු පිරුණු දිළිඳුන් පිරි ලෝ දෙරණේ
දුක් කඳුළු නිවුනි නත්තල් දා බෙත්ලෙහෙමේ
ඒ කරුණා අමා සාගරේ
මහිමය වේ සදා ආදරේ…“
එය හරි අපූරු පද පෙළකි. ජේසුතුමන්ගේ මානව දයාව ගැන කියන්නට භාවිත කරන අපූරු වචන පෙළහරකි. වචනවලින් කවදත් පෙළහර පාන්නට සමත් සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ තමන් විසින් ලියූ ගීතය පිළිබඳ අදහස් දක්වන්නේ මෙලෙසිනි.
“දුප්පතුන්ගේ දුක් කඳුළු පිරුණ ලෝකයට යහපතක් වේවා කියන අදහසින් තමයි මම මේ පද ටික ලියුවේ. ජේසුස් වහන්සේගේ කරුණාව දයාව වගේම උන්වහන්සේගේ චින්තනය ලොවට කියන්නටයි අපට ඕනෑ. උන්වහන්සේ උතුම් මනුස්සයෙක්. ලොවේ කොයිකාටත් සතා සීපාවාටත් කරුණාව දයාව දැක්වූ කෙනෙක්. ඒ උතුම් ගුණ සිහිකරමින් ලියන්නට පුළුවන් උසස්ම අයුරින් මේ ගීතය ලියන්නටයි මට ඕනෑ වුණේ. ඒ සදහා මම භාවිත කළේ සරල වචන. නමුත් එහි අර්ථය ඒ වචන තරම් සරල නැහැ. අපේ සමාජය ජේසුස් වහන්සේ සිහි කරමින් විච්චූර්ණ උත්සව ගන්නවා. නමුත් ලෝකයේ කොයිම තැනක හෝ මේ මොහොතෙත් කුසගින්නේ ඉන්න, අනෙක් අයගෙන් පීඩාවට පත්වෙන අය එමටයි. අන්න ඒ මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන් අපට කරන්න හැකි දේ නොවළහා කරනවා නම් එය තමයි අපි අගය කළ යුත්තේ.
ජේසුස් වහන්සේගේ සතුට කියන්නේ දුකින් පීඩා විඳින මිනිසුන් නොදැකීම, සතුට පිරුණ සැනසිල්ල පිරුණ ලෝකයක් තමයි උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒ පණිවුඩය දෙන්නයි මට ඕනෑ වුණේ. ඒ වෙනුවෙනුයි මම මේ පද ගැළපුවේ. දර්ශන සොයුරාගේ අපූරු සංගීතයත් ඔහුගේ හඬත් වගේම දිස්නා අතපත්තුගේ අපූරු ගැයුම් විලාසයත් මේ ගීතයේ සාර්ථකත්වයට හේතුවක් කියලා මම විශ්වාස කරනවා“
නෙත කඳුළු පිරුණු දිළිඳුන් පිරි ලෝ දෙරණේ
දුක් කඳුළු නිවුනි නත්තල් දා බෙත්ලෙහෙමේ
ඒ කරුණා අමා සාගරේ…
මහිමය වේ සදා ආදරේ…
සතුටු සාදවල පල නෑ
දිළින්දන්ගෙ නෙත කඳුළින් පිරේ නම්
ජේසු සමිඳු දුක් වෙනවා
දුප්පතුන්ගෙ ලොව සුන්දර නොවේ නම්
වැරහැලි ලෝකය නොබලා
පාට කසී සළු පළඳා දිලේ නම්
ජේසු සමිඳු දුක් වෙනවා
දුප්පතුන්ගේ ලොව සුන්දර නොවේ නම්
පද රචනය – රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය – විශාරද දර්ශන වික්‍රමතුංග
ගායනය – දිස්නා අතපත්තු සහ
දර්ශන වික්‍රමතුංග